චාල්ස් දයානන්ද විසිනි
“..මට කිසිම යාලුවෙක් නැත..
මට එවැන්නෙක් උවමනාද නැත “
(මයිකල් ඇන්ජිලෝ )
: අව්‍යාජ කලාකරුවකුගේ අවසන් පැතුම එයයි.එනම් මමත්වය ද අතහැරීමයි.
සැබෑ කලා කරුවා අව්‍යාජ ප්‍රේමවන්තයෙකි. ඔහු ප්‍රේම කරන්නේ සකල මානව වර්ගයාට හා සොබාදහමටයි. දෙවියන් වහන්සේ යනු ඒ ප්‍රේමයේ සදාකාලික සංකේතයයි .!
” චිත්‍රයට හෝ මූර්තියට
දැන් මගේ ආත්මය
සනසාලිය නොහැක ..
එය දැන් ඇදීයන්නේ
ඉහළ අහසේ දිස්වන
එතුමන්ගේ
මහා ප්‍රේමය වෙතටයි..”
මයිකල් ඇන්ජිලෝ අවසන් කාලයේ දී සියල්ල අතහැර තවුසකු මෙන් හුදකලාව ජීවත් වෙමින් තම හැඟීම් අප්‍රකටව කවි මෙන් සටහන් කර තිබුනි .
කලාකරුවෙකුට ලඟාවිය හැකි උත්තරීතර තත්වයට ඔහු ලඟාවී තිබුනි .එනම් සියල්ල අතහැරීමයි .මිලමුදල්,ඉඩකඩම්,කීර්ති ප්‍රසංශා පමණක් නොව යාලුමිත්‍රකම් පවා අතහැර මහා ප්‍රේමයෙන් හදවත පුරවාගෙන චිත්තසංතුෂ්ටියෙන් දිවිගෙවා මියයාම ඔහු පැතූ මෝක්ෂය නොවේද..
සැබෑ කලාකරුවා තම ඇතුලාන්තයෙන් එන කලා නිර්මාණ ලොවට දායාද කරමින් ජීවිතය ඒ වෙනුවෙන් ගෙවා දමන්නේ කිසිවක් අපේක්ෂාවෙන් නොවේ .අපේක්ෂිත එකම දෙය උතුම් පරමාර්ථයක් වෙනුවෙන් තම ජීවිතය කැප කිරීමෙන් ලැබෙන චිත්තසංතුෂ්ටිය පමණි .ඒ ඉදිරියේ ලාභසත්කාර මිලමුදල් කීර්ති ප්‍රසංශා සියල්ල නොවැදගත් දේය…
සමාජය කෙතරම් ගර්හිතදැයි ඔහුට වැටහේ.බොරුව ,කුහකකම,
අවස්ථාවාදිත්වය පිරුණු මුලු සමාජයම අතහැර කලා නිර්මාණයක් තුළ ජීවත්වීම කෙතරම් සතුටක්ද..කෙතරම් සැනසීමක්ද…සැබෑ කලාකරුවා එය අපූරුවට විඳගනී.ඔහු තම කලා නිර්මාණ තුලින් මවන්නේ මුලු ලොවවෙත තමාතුල ඇති අසීමිත දයාවයි…..
සිස්ටයින් දෙව්මැදුරේ සිවිලිමේ දෙවියන් වහන්සේ ලෙස ඔහු මැව්වේ එයයි…
අවුකන පිළිමය නෙලූ නිර්නාමික කලාකරුවා මුලු ජීවිතයම ගෙවා දැම්මේද එම අරමුණ වෙනුවෙන් මය.අඩි හතලිස් දෙකක් උස දැවැන්ත පිහිටි කලුගල මහා බුදුරුවක් බවට පත්කර මුලු ලොවටම අශීර්වාද කරන බුදුන්වහන්සේ මවා ඔහු මුදාහලේද ඒ දයාව හා මහා කරුණාවමය…එසේ කොට නිර්නාමිකව පරලොව ගියේ අපමණ චිත්තසංතුෂ්ටියක් හිතේ දරාගෙනය ..ඔහු ලැබූ නිර්වාණ සුවය එයයි.
සොයිලියස් මැන්දිස් ජීවිතයෙන් වසර දහ අටක් පලංචියක නැගී බුදුන්වහන්සේ ගේ මහාකරුණාව සිතුවම් කළේද එලෙසින්මය.එසේකොට සියල්ල අතහැර ගමට ගිය ඔහු තම සියලු ධනය අහිංසක දරුවන් පිරිසක් වෙනුවෙන් කැප කොට මියයන තුරුම චිත්තසංතුෂ්ටියෙන් අප්‍රකටව ජීවත්විය.නිර්වාණ සුවය ජීවිතය තුළින්ම වින්දේය….
නිර්ව්‍යාජ කලාකරුවන් ගේ ගමන් මග හා ජීවිතය එයයි..!!
සැබෑ කලාකරුවා යනු විශ්ව මිනිසෙකි…!!!