විජේවීර ඝාතනය කළ නොවැම්බර් 13…

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි

1989 නොවැම්බර් 13 දින රාජ්‍ය සන්නද්ධ අංශ විසින් ඊට පෙරදින රාත්‍රියේ අත් අඩංගුවට ගනු ලැබූ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සමාරම්භක නායකයා වූ රෝහණ විජේවීර ඉතාම අමානුෂික අන්දමින් ඝාතනය කොට තිබුණි. ඊට පසු දිනම එවකට ජවිපෙ නියෝජ්‍ය නායකයා ලෙසින් සැළකූ එවක පක්ෂයේ ලේකම් උපතිස්ස ගමනායකද අත් අඩංගුවට ගෙන ඝාතනය කෙරිණි. මෙයට සමගාමීව එවකට ජවිපෙ නායකත්වයේ සිටි තවත් කිහිප දෙනෙක්ද අත් අඩංගුවට ගෙන ඝාතනය කෙරිණි. ජවිපෙ දේශපාලනය සමඟ අපට කිසියම්ම සම්බන්ධයක් නොපැවතියද, රාජ්‍ය සන්නද්ධ අංශවල අත් අඩංගුවට පත් සැකකරුවන් මෙසේ තිරශ්චීන ලෙස ඝාතනය කිරීම පළමු කොට අපි ඉතා පිළිකුල් සහගත ලෙසින් හෙළා දකිමු.

විජේවීර ඝාතනය කළ නොවැම්බර් 13 ජ.වි.පෙ. විසින් විරුවන් සිහි කිරීමක් ලෙසින් සමරන අන්දම අප දැක ඇත්තෙමු.

අත් අඩංගුවේ සිටියදී සිදුවූ විජේවීරගේ මරණය ගැන පරීක්ෂණයක් පැවැත්වීද යන්න ගැන නොබෝදා පාර්ලිමේන්තුවේදී නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති කියා සිටියේ ඒ සම්බන්ධ කිසිඳු ලේඛණගත තොරතුරක් නොමැති බවයි.

එහෙත් 2001 සිට ජවිපෙ චන්ද්‍රිකා පාලනයේ කොටස් කරුවන්ව සිටියදී හෝ 2004 සිට චන්ද්‍රිකා යටතේම කැබිනට් ඇමති ධුර දරමින් සිටියදී හෝ ජවිපෙ විජේවීර ඇතුළු තම නායකයන්ගේ මරණ සම්බන්ධයෙන් වූ දේ හෙළි දරව් කර ගැනීමටත්, එහිදී අනීතිකව ක්‍රියාකළ නිළධාරීන් නීතිය හමුවට ගෙන ඒමටත් කිසිඳු හඬක් නොනැඟීය. ඒ අවස්ථාවේ ඔවුන්ට පාර්ලිමේන්තුව තුළ ආසන 42ක් පැවතීම නිසා ඔවුන්ට ඒ වෙනුවෙන් එවක රජයට ප්‍රබල බලපෑමක් කිරීමේ හැකියාවක්ද තිබුණි.

මේ නිසා ජවිපෙ විසින් විජේවීර ඇතුළු ඝාතනය වූ නායකයන් සැමරීම කරනුයේ හුදු ප්‍රචාරක වාසියක් ලබා ගැනීමේ අරමුණින් පමණක් බව පැහැදිලිය.  ඒ සමඟම, 1987න් පසු ජවිපෙ ගෙනගිය සන්නද්ධ වැඩ පිළිවෙල පිළිබඳව කිසිඳු ආකාරයක පසු විපරමක් ඔවුන් විසින් කර නොමැති අතර එම වැඩ පිළිවෙලේ අසාර්ථකත්වය තුළින් ඔවුන් උගත් පාඩම් මොනවාද යන්න ගැනද ඔවුන් විසින් කිසිඳු සඳහනක් කර නොමැත.

ජවිපෙ බිහිවූයේ 60 දශකයේ මැද භාගයේදීය. එය ලංකාවේ ධනේශ්වරයට රට සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙලක් නොතිබීම නිසා තරුණ අසහනය ඉහළ යමින් පැවති කාලයක් විය. ඒ අතරම ධනේශ්වර ක්‍රමය පෙරළා දමා විකල්පයක් ඇති කිරීමට හැකියාවක් ඇතැයි රටේ තරුණ කොටස් විශ්වාසය තබා සිටි පැරණි වම 1964දී තම ස්වාධීන වැඩ පිළිවෙල අත්හැර ශ්‍රී.ල.නි.ප.ය සමඟ සභාගයකට යමින් තම ප්‍රතිපත්ති පාවා දෙනු ලැබ තිබුණි. මෙම තත්ත්වය තුළ ධනේශවර පීඩනයට එරෙහිව උතුරේත් දකුණේත් තරුණ කොටස් වෙනම සංවිධානය වීම කරා ගමන් කරන්නට විය. ජවිපෙ යනු දකුණේ සිංහළ ගැමි කොටස් පදනම් කර ගනිමින් එසේ බිහිවූ සංවිධානයකි.

දේශපාලන වශයෙන් ගත්කල ආරම්භයේ සිටම ජවිපෙ පන්ති පදනම මුළුමනින්ම සුළු ධනේශ්වර විය. 1971දී එයට කම්කරු පදනමක් පැවතියේම නැත. ඔවුන්ට එකම හෝ වෘත්තීය සමිතියක් නොතිබුණි. ඔවුන් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් හැඳින්වූයේ “කැඳ කෝප්ප සටන්කරුවන්” ලෙසිනි. කෑගල්ල, හම්බන්තොට, ගාල්ල, කුරුණෑගල හා අනුරාධපුරය වැනි නාගරික කම්කරු පන්තියෙන් දුරස්ථ සිංහළ, ගැමි ගොවි, ප්‍රදේශ ජවිපෙ තහවුරු වූ ප්‍රදේශ විය.

සුළු ධනේශ්වරය යනුද පීඩනයට හා සුරා කෑමට ලක්වන කොටසක් බවට සැකයක් නැත. එහෙත් ඔවුන් නිෂ්පාදන බලවේග සමඟ නිශ්චිත සම්බන්ධතාවක් නොදක්වන නිසාම ඔවුන්ට දේශපාලන වශයෙන් කිසිදු කරුණක් ගැන ස්ථිර ප්‍රතිපත්තියක් පවත්වා ගත නොහැකිය.

මුල් කාලයේදී ජවිපෙ සමාජවාදයේ හා මාක්ස්වාදයේ වචන උච්ඡාරණය කළද ඔවුන්ට මාක්ස්වාදය හෝ සමාජවාදයවාදය සමග කිසිදු සම්බන්ධයක් නොවීය. ඔවුන්ගේ පංති පහ ඒ බව මනාව විදහා දක්වයි. 71 නැගිටීමට සම්බන්ධ වූ ජවිපෙ නායකයින් පවා මාක්ස්වාදය ගැන කියවනු ලැබුවේ අත්අඩංගුවට පත්වීමෙන් පසු නොයෙකුත් දෙනා ලබා දුන් පොත පත හරහා බව ඔවුන්ම කියා ඇත. ඔවුන් අනුගමනය කළ සංවිධාන විධියද මාක්ස්වාදී සංවිධාන විධිය නොවීය. ආරම්භක නායකත්වයේ කිහිපදෙනෙක් පමණක් ඉතා කෙටි කලක් කොමියුනිස්ට් පක්ෂවල තරුණ අංශ තුළ වැඩ කොට ලබා ගත් ඉතාම සීමිත අත්දැකීම්වලින් පමණක් ඔවුන්ගේ දැනුම සමන්විතව තිබුණි. ඔවුන්ගෙන් සැමවිටම ප්‍රකාශ වූයේ පැවති පාලනයට දැක්වූ විරෝධයත්, පැවති වාමාංශික ව්‍යාපාරය ගෙන ගිය ස්වාධීන ගමන් මග අතහැරීම පිළිබඳ ඔවුන් තුළ වූ වෛරයත් පමණි.

කම්කරු පන්තික නැගිටීමක් මැදි කර ගත් ජනතා අරගලයක් වෙනුවට ජනතාවගෙන් වියෝ වූ කැරලිකාරීත්වයක් හරහා ඉතා ඉක්මනින් බලය ලබා ගනිමින් සමාජවාදී (ඔවුන්ට අනුව) සමාජයක් ගොඩ නැඟීම 89ට කලින් විජේවීර නායකත්වය දුන් ජවිපෙ අභිප්‍රාය විය.

අප මෙම විධි ක්‍රමයට විරුද්ධ වන්නේ මාක්ස්වාදී දෘෂ්ඨි කෝණයකිණි. මේ ගැන ට්‍රොට්ස්කි විසින් 1911 ලියූ “මාක්ස්වාදීන් පුද්ගලික ත්‍රස්තවාදයට විරුද්ධ වන්නේ ඇයි” යන ලිපියේදී මෙසේ දක්වා ඇත.

“සාර්ථක” ත්‍රස්තවාදී උත්සාහයක් පවා පාලක පන්තිය ව්‍යාකූලත්වයට ඇද දමන්නේ පවතින සං‍යුක්ත දේශපාලන තත්ත්වය අනුවය. කෙසේ වෙතත්, එම ව්‍යාකූලත්වය කෙටි කලකට පමණක් සීමා විය හැකිය; ධනේශ්වර රාජ්‍යය එහි ඇමතිවරුන් මත පදනම් නොවන අතර ඔවුන් ඉවත් කිරීමෙන් ක්‍රමය ඉවත්කළ නොහැක. එය සේවය කරන පන්තිය සෑම විටම නව පුද්ගලයින් සොයා ගනු ඇත; යාන්ත්‍රණය නොවෙනස්ව පවතින අතර අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

“එහෙත් ත්‍රස්තවාදී උත්සාහයන් මඟින් වැඩකරන ජනතාව අතරට ගෙනයන ව්‍යාකූලත්වය වඩාත් ගැඹුරුය. පිස්තෝලයකින් සන්නද්ධ වීම කෙනෙකුගේ ඉලක්කය සපුරා ගැනීම සඳහා ප්‍රමාණවත් නම්, පන්ති අරගලය වෙනුවෙන් උත්සාහ ගන්නේ ඇයි? වෙඩි බෙහෙත් සහ ඊයම් ටිකක් සතුරාගේ බෙල්ල හරහා යන ලෙසට වෙඩි තැබීම ප්‍රමාණවත් නම්, පන්ති සංවිධානයක අවශ්‍යතාවය කුමක්ද? පිපිරුම් ඝෝෂාවකින් ඉහළින් සිටින පුද්ගලයින් බිය ගැන්වීම අර්ථවත් දෙයක් වේ නම්, පක්ෂයක ඇති අවශ්‍යතාවය කුමක්ද? පාර්ලිමේන්තු ගැලරියේ සිට ලෙහෙසියෙන් අමාත්‍යවරුන් ඉලක්ක කර ගැනීමට හැකි නම් රැස්වීම්, දැවැන්ත උද්ඝෝෂණ සහ මැතිවරණ කුමකටද?

“ඇස් පනාපිට පෙනෙන ලෙසින්, නිශ්චිතවම පුද්ගල ත්‍රස්තවාදය අනුමත කළ නොහැකි වන්නේ එය ජනතාවගේ කාර්යභාරය ඔවුන්ගේම විඥානය තුළ හෑල්ලුවට ලක් කරමින්, ඔවුන් බල රහිත බවට පත්කරන නිසාත්, යම් දිනක ඔහුගේ මෙහෙවර ඉටු කිරීම වෙනුවෙන් පැමිණෙන විමුක්තිදායකයෙකු කෙරෙහි ඔවුන්ගේ දෑස් යොමු කරවන නිසාත්ය. අරාජිකවාදයේ ශාස්තෲන් විසින් ත‍්‍රස්තවාදී ක්‍රියාකාරකම් හරහා ජනයාට උත්තේජනයක් ලබා දීමත් ඔවුන් ඉහළ තලයකට ගෙන ඒමත් ගැන තර්ක කරයි. එහෙත් න්‍යායාත්මක කරුණු සහ දේශපාලන අත්දැකීම් තහවුරු කරන්නේ එහි අනෙක් පැත්තයි. ඒවායේ බලපෑම වැඩි වන තරමට ත්‍රස්තවාදී ක්‍රියා විසින් ස්වයං සංවිධානය හා ස්වයං අධ්‍යාපනය සඳහා ජනතාවගේ ඇති උනන්දුව අඩු කරලයි. එහෙත් ව්‍යාකූලත්වයේ දුම ඉවත් වී, භීතිය අතුරුදහන් වී, ඝාතනයට ලක්වූ ඇමතිවරයාගේ අනුප්‍රාප්තිකයා වැඩ භාර ගනියි; ජීවිතය යළිත් පැරණි ආකාරයටම ගමන් කරයි; ධනේශ්වර සූරාකෑමේ රෝදය පෙර මෙන්ම කැරකීමට ගනී; පොලිස් මර්ධනය පමණක් වැඩි ම්ලේච්ඡත්වයකින් හා නිර්ලජ්ජිත භාවයකින් යුතුව වර්ධනය වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, (ජනතාව තුළ) වැඩිකළ බලාපොරොත්තු සහ කෘතිමව සිදුකළ උද්දීපනය වෙනුවට කලකිරීම හා උදාසීනත්වය ජනිත කරයි.

“…..ශාරීරිකව විනාශ කිරීමේදීත් හා යාන්ත්‍රිකව මර්ධනය කිරීමේදීත් රජය කුඩා ත්‍රස්තවාදී කණ්ඩායම්වලට වඩා බොහෝ පොහොසත් බව අරාජිකවාදීන්ගේ සෑම ක්‍රියාවකදීම පෙන්නුම් කර ඇත.”

1971 මෙන්ම 1987-89 සමය තුළ වූ සිදුවීම් විසින්ද ට්‍රොට්ස්කි එදා කියූ දේ කොතරම් නිවරැදිද යන්න පෙන්වා ඇත. ට්‍රොට්ස්කි එම ලිපියේම වැඩිදුරටත් මෙසේද ලිවීය.

“විප්ලවය පැන නගින්නේ පන්ති අරගලය මුවහත් කිරීමෙන් පමණක් වන අතර, එහි ජයග්‍රහණය පිළිබඳ සහතිකයක් පවතින්නේ නිර්ධන පංතියේ සමාජ ක්‍රියාකාරකම් තුළ පමණි. මහා දේශපාලන වැඩ වර්ජන, සන්නද්ධ නැඟිටීම, රාජ්‍ය බලය අත්පත් කර ගැනීම යන මේ සියල්ල තීරණය වන්නේ නිෂ්පාදනය සංවර්ධනය වී ඇති මට්ටම, පන්ති බලවේග පෙළගැස්වීම, නිර්ධන පංතියට ඇති සමාජ බර සහ අවසානයේ විප්ලවය සිදුවන අවස්ථාවේ රාජ්‍ය බලයේ ඉරණම තීරණය කරන සාධකය සන්නද්ධ හමුදාව වන බැවින් හමුදාවේ සමාජ සංයුතිය යන කරුණු අනුවය.”

ජවිපෙ ආරම්භයේ සිට 1989 දක්වා ගෙනගිය අරාජිකවාදී ක්‍රියා මුල්කරගත් දේශපාලනය අප ප්‍රතික්ශේප කර සිටින්නේ ඉහතින් දැක්වූ මාක්ස්වාදී පදනම මත පිහිටමිනි.

කෙසේ වුවද 1989න් පසුව ජ.වි.පෙ. දේශපාලනය අංශක 180 කින් වෙනස් වී ඇති බව පැහැදිලිය. 1989දී එල්ලවූ දැඩි රාජ්‍ය මර්ධනයත්, 1989-91 කාලයේ සිදුවූ නගෙනහිර යුරෝපයේ හා සෝවියට් දේශයේ කඩා වැටීමත්, ඒවා ගැන නිසි මාක්ස්වාදී විග්‍රහයක් කර ගැනීමට අපොහොසත් වීමත් ඒ වෙනුවෙන් දැඩි බලපෑමක් කළ බව පැහැදිලිය.

කලින් සන්නද්ධ අරගලයක් තුළින් බලය ලබා ගනිමින් සමාජවාදී සමාජයක් ගොඩ නැඟීම ගැන කතා කළ ජවිපෙ. මේ වනවිට මුළුමණින්ම පාර්ලිමේන්තුවාදය දෙසට ගමන් කොට ඇත. ඔවුන්ගේ අවසන් වැඩ පිළිවලවල් කිසිවක හෝ සමාජවාදය, මාක්ස්වාදය පිළිබඳ කිසියම්ම හෝ සඳහනක් නොමැත. ඒ කිසිවක් මොනම ආකාරයකින් හෝ සමාජවාදය දෙසට හෝ වන වැඩ පිළිවෙලවල්ද නොවේ. අද ඔවුන් පෙනී සිටින එකම දෙය නම් ව්‍යවස්ථාවට අනුව පවත්වන ඡන්දයක් තුළින් බලය ගෙන වංචා හා දූෂණ වලින් තොරව පවතින ක්‍රමය එලෙසම ඉදිරියට ගෙනයාමයි. මේ වනවිට අධිරාජ්‍යවාදී රටවල තානාපතිවරුන්ට ඔවුන් සමඟ එකට සාකච්ඡා කළ හැකි මට්ටමට ඔවුන් ධනවාදී වැඩ පිළිවෙල වැළඳගෙන ඇත.

මුල්කාලීන ජර්මන් මාක්ස්වාදියෙකු වූ ඔගස්ට් බෙබෙල් වරක් පැවසුවේ “ඔබේ විරුද්ධවාදියා ඔබට ප්‍රශංසා කරන්නේ නම්: පරෙස්සම් වන්න! නමුත් ඔවුන් ඔබට එරෙහි වේ නම්, ඔබ සාමාන්‍යයෙන් නිවැරදි මාර්ගයේ ගමන් කරයි” යනුවෙනි. එහෙත් අද ධනපති නායකයන්ගේ හමුවීම්වලින් හා ඔවුන් කරන ප්‍රශංසාවලින් ජ.වි.පෙ.  අමන්දානන්දයට පත්වී සිටී.

මේ වනවිට ජවිපෙ සමාජවාදයේ හා මාක්ස්වාදයේ වචන උච්ඡාරණය කිරීම පවා නවතා දමා ඇත. ජවිපෙ ජනවාර්ගික ගැටළුව සම්බන්ධ ස්ථාවරයද මුළුමනින්ම නිර්මාක්ස්වාදී විය. 2005න් පසු මහින්ද පාලනය විසින් වර්ගවාදී යුද්ධය පෙර නොවූ විරූ අයුරින් පෙරට ගනිද්දී එහි කසකරුවන්ව සිටියේ ජනතා විමුක්ති පෙරමුණයි. 2001 සිට පැරණි වම ගමන්කළ සභාග දේශපාලන මඩ ගොහොරුවටම ඔවුන්ද අවතීර්ණ විය.

ජවිපෙට පසුගිය කාලය තුළ විවිධ බෙදීම් හරහා ගමන් කිරීමට සිදු වූයේද ඔවුන් මුළුමණින්ම ධනපති ව්‍යවස්ථාදායක රාමුව තුළ හිරවීමත්, ධනපති පාලකයින් වෙනුවෙන් තැරැව්කරුවන් වීමේත් ස්වාභාවික ප්‍රතිඵලයක් ලෙසිනි.

ට්‍රොට්ස්කි විසින් පෙන්වා දී ඇති අන්දමට, සුලු ධනේශ්වරය යනු ස්වාධීන හා ස්ථිරසාර දේශපාලන ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට අසමත් කොටසකි. ඔවුන්ගේ වැනෙන සුළු බවට හේතුව එය අතරමැදි සමාජ ස්ථරයක් ලෙසින් පැවතීමයි. මේ නිසා ඔවුන් සමාජ බලවේගවල පැවැත්ම මත ඒ අතටත් මේ අතටත් දෝලනය වෙයි. 89ට කලින් සන්නද්ධ අරගලයක් තුළින් බලය ලබා ගැනීම වෙනුවෙන් ක්‍රියා කළ මොවුන් මේ වනවිට මුළුමණින්ම ව්‍යවස්ථාපිත ක්‍රම අනුව ධනපති ක්‍රමයට පිළිගත හැකි පාලනයක් ගොඩ නැඟීම කරා තල්ලු වී ඇත්තේ ඒ අනුවය. එහෙත් ඉදිරියේදී ධනපති ක්‍රමයේ අර්බුදය වේගයෙන් වර්ධනය වීමත් ඊට සමාන්තරව මර්ධනය උත්සන්න වීමත් වැනි තත්ත්වයන් තුළ යළිත් මොවුන් අරාජික ක්‍රම කරා තල්ලු වීමට ඇති ඉඩ කඩද බැහැර කළ නොහැකිය.

ජවිපෙ. සමාරම්භක නායකයා ඇතුළු 89 සමයේ සිටි සියළු ප්‍රධාන නායකයන් මරා දැමීම සැමරෙන මෙම කාලය තුළ එම මියගිය සටන් කරුවන්ට කළ හැකි උපරිම උපහාරය නම් එම සිදුවීම් වලින් පාඩම් ඉගෙනීමත්, එදා සිදුවූ වැරදි නැවත සිදුවීමට ඉඩ නොදීමත්, ඒ සමඟම පාර්ලිමේන්තුවාදය වැනි තවත් මඩගොහොරුවල නොවැටීමත්, ඒ වෙනුවෙන් එකී සිදුවීම් මාක්ස්වාදී පදනමකින් විශ්ලේෂණය කරමින් ධනපති ක්‍රමය පළවා හැරිය හැකි නිවරැදි මාක්ස්වාදී පදනමකින් යුත් විප්ලවවාදී පක්ෂය ගොඩනැඟීමයි.

Loading