සිවිල් පුරවැසියන්ට අහිමි වී ඇති ව්‍යවස්ථාපිත හිමිකම සම්බන්ධයෙන් කරන බලවත් ඉල්ලීමයි.

(ලියාපදිංචි තැපෑලෙනි)

සන්ධ්‍යා එක්නැලිගොඩ .

අංක 136/2,

සුහද මාවත,

හිරිපිටිය පාර,

පන්නිපිටිය.

Prasan136@gmail.com

03.11.2022.

ගරු ජයන්ත ජයසුරිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමා ,

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු අග්‍රවිනිශ්චයකාර තුමා,

උපරිමාධිකරණ සංකීර්ණය, 

කොළඹ 12. 

සිවිල් පුරවැසියන්ට අහිමි වී ඇති ව්‍යවස්ථාපිත හිමිකම සම්බන්ධයෙන් කරන බලවත් ඉල්ලීමයි.

ගරු අගවිනිසුරුතුමනි,

ඉහත නම් සඳහන්, ඉහත ලිපිනයෙහි පදිංචි මම මාධ්‍යවේදී ,කාටූන් ශිල්පී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වෙමි.මාගේ සැමියා  2010.01.24 දින බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් , මරා දමා ඇති බවට අපරාධ චෝදනා ගොණු කොට ඇති අංක HC (TAB )725/2019 යන නඩුව මේ වන විට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වෙමින් පවතී.

මම මගේ සැමියාගේ අතුරුදහන් වීම වෙනුවෙන් 2010 දී හෙබියස් කෝපස්(රිට්) පෙත්සමක් ගොණු කළ අතර, ඊට පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණු කළ තවත් නඩු ගණනාවක්ද ඇත.මෙම නඩුවල නඩු විභාගයන්ට කැඳවන දිනවල අධිකරණ ශාලාවලට ගොස් නඩු විභාගයන් සිදුකරන ආකාරය දැක බලා ගත්තෙමි.එහෙත්  2010-2020 තෙක් ලැබුණු එම අවස්ථාව 2020 සිට මේ වන තෙක් අහිමි වී ඇත.

2020 දී කොරෝනා ව්‍යසන තත්වය හේතුවෙන් ප්‍රථම වතාවට රට වැසීමෙන්(lock down) පසු  සිවිල් පුරවැසියන්ට උපරිමාධිකරණ සංකීර්ණයේ ඇති අධිකරණ ශාලාවට තම අනන්‍යතාව මත නිදහසේ ඇතුල්වීම නවතා ඇති බව දැනගන්නට ලැබුණි.මේ වන විට කොරෝනා ව්‍යසනය මත රටේ  (lock down) කාර්යයන් නවතා තිබු ආයතන  සාමාන්‍ය පරිදි කටයුතු ආරම්භ කර තිබුණත්,උපරිමාධිකරණ සංකීර්ණයේ ඇති අධිකරණ වලට නිදහසේ තම අනන්‍යතාවය මත තමන්ගේම නඩුවට වුවත් සිවිල් පුරවැසියන්ට තවමත් ඇතුල්විය නොහැක .

ඒ පිළිබද  මාගේ ආසන්නතම අත්දැකීම නම් SC FR126/2021 යන  මාගේ නඩුවට සහභාගී වීම සඳහා ගිය මා 2022.03.25 දින ඇතුල්වන දොරටුව අසලදී ද, 2022.10.25 දින ගේට්ටුව අසල මුර කුටිය ළගදි ද නවත්වන ලදී.ඔවුන් කීවේ “සිවිල් අයට යන්න දෙන්න බැහැ” කියාය. ආරක්ෂක නිලධාරීන් මා මෙන්ම තවත් නඩුවලට පැමිණි පැමිණිලිකරුවන්,පාර්ශවකරුවන්  එදින මුර කුටිය ළගින් ආපසු හරවා යැවුහ.

 “ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටුවන ලද නැතහොත් පාර්ලිමේන්තුව විසින් නියමකොට පිහිටුවන ලද සෑම අධිකරණයකම , සෑම විනිශ්චය අධිකාරයකම හෝ වෙනත් සෑම ආයතනයකම නඩු විභාග , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව ප්‍රසිද්ධියේ පැවැත්විය යුත්තේ ය. සියලු තැනැත්තන්ට, ඒ නඩු විභාගවලට නිදහසේ පැමිණ සිටීමට හිමිකම් ඇත්තේය”

යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106(1) ව්‍යවස්ථාවට අනුවට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සිවිල් පුරවැසියන්ට නඩු විභාග වල නිදහසේ යාමට හිමි අයිතිය ඉහත ක්‍රියාව තුලින් උල්ලංඝනය වී ඇත.

ලෝකයේ යහපත් ශක්තිමත් අධිකරණ පද්ධතියක් හිමි කිසිදු රටක මෙසේ නඩුවල පාර්ශවකරුවන්ට පවා තම නඩු විභාග වන ආකාරය දැක බලා ගැනීම අහිමි කර ඇති බවක් මා අසා නැත.

නඩුවල පාර්ශවකරුවන්ට හා සිවිල් පුරවැසියන්ට නඩු විභාග වලට පෙර තිබු ආකාරයට නිදහසේ පැමිණ නඩු විභාග වන ආකාරය  දැක බලා ගැනීමේ අවස්ථාව ලබා දෙන ලෙසත්  සිවිල් පුරවැසියන් වන අපගේ ව්‍යවස්ථාපිත අයිතිය සුරක්ෂිත කර දෙන ලෙසත් මම ඔබතුමාගෙන් මහත් ගෞරවයෙන් හා කෘතඥපූර්වකව ඉල්ලා සිටිමි.

ස්තුතියි,

මෙයට,

විශ්වාසී,

සන්ධ්‍යා එක්නැලිගොඩ.

(සියලු පුරවැසියන් වෙනුවෙන්)

පිටපත් :-  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

                ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංවිධානය

                මානව හිමිකම සංවිධාන 

                සියලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය

Loading