ළමා චිත්‍ර හා නිවහල් චින්තනය

චාල්ස් දයානන්ද විසිනි

     නිවහල් චින්තනය ගොඩ නැගෙන්නේ නිදහස් සිතීම හා නිදහස් ප්‍රකාශනය තුළිනි .

     එක් පෙරපාසලක දරුවන් ට “ගවයෝ තණකොළ කන හැටි ” අඳින්නට ගුරුවරිය විසින් යොමු කරන ලදී.සියලු දෙනා අඳිද්දී එක් දරුවෙක් කඩදාසිය දෙස බලාගෙන කරබා සිටින අයුරු දුටු ගුරුවරිය ..”..ඇයි පුතේ අඳින්නෙ නැද්ද ..”කියා ඇසීය .එවිට දරුවා    “..ඇඳල ඉවරයි ..”කියා පිලිතුරු දුනි.
   “..කෝ මොකවත් නෑ නේ..කෝ හරක්..” කියා ඇසීය .
   එවිට දරුවා “..හරක් තණකොළ  කාල ගිහිල්ලා ..” කියා පිළිතුරු දුනි.
  ගුරුවරියට කට උත්තර නැතිවිය…” ඔව් නේ.. තණකොළ කාල ඒ ගොල්ලො යනවා නේ..ඉතින් තණකොළ අඳින්නකො…” කියා ගුරුවරිය කීවේය .
  ” තණකොළ ඔක්කොම කාල නේ..” දරුවාගේ ක්ෂණික පිළිතුර විය .
   මෙය සත්‍ය සිද්ධියකි.මේ තුළ මහා ගැඹුරක් ඇත .හිස් කඩදාසිය තුළ විශාල ප්‍රකාශනයක් ඇත .ඒ නිදහස් තර්කානුකූල සිතීමයි.

   තවත් දිනක මෙවන් අත්දැකීමක් ලැබීමට අපට හැකි විය .එක් ළමා වැඩසටහනකදී මාතෘකා කීපයක් දී දරුවන් චිත්‍ර නිර්මාණයට යොමු කලෙමු .
  ” නාන මිනිස්සු කට්ටියක් ” යන මාතෘකාව තෝරාගත් එක් දරුවෙක් මුලු කොලය පුරා නිල් පාට ගා ඇඳ අවසන් යයි කීවේය .
එවිට අපි ..” කෝ නාන මිනිස්සු..” යයි ඇසුවෙමු.
   ” ඒ ගොල්ලො ඔක්කොම වතුර යට එබිලා..” දරුවාගේ පිළිතුර විය .
” ..ඒ ගොල්ලො ඔක්කොම එකසැරේම එබුනද..” කියා  ඇසූ විට දරුවාගේ පිළිතුර වූයේ …”
“..ඔව්..එකසැරේම එබුනා..”කියාය.

   දරුවන්ගේ නිදහස් සිතීමට ,තර්කානුකූල ප්‍රකාශනය ට ළමා චිත්‍ර තුළ කෙතරම් ඉඩක් තිබේද කියා ඉහත උදාහරණ දෙකෙන් පැහැදිලි වේ.

  අපගේ වගකීම වන්නේ නිදහස් ප්‍රකාශන ශක්තිය නොමරා ඉහළට ඔසවා තැබීමයි .නමුත් පාසල් වල කෙරෙන්නේ නිර්නායක ,සිද්ධාන්ත වලට අනුව  “..ඕක ඔහොම නෙවෙයි ..” කියමින් දරුවා අපට අවශ්‍ය ලෙස  තලා මිරිකා නිදහස් චින්තනය මරා දැමීමයි .
    පාසලේ අරමුණ විභාගයයි.ඒ සඳහා ලකුණු ලැබෙන්නේ සිද්ධාන්ත වලට අනුව සැකසූ නිර්නායක අනුවයි .එයින් බිහි වන්නේ නිර්මාණාත්මකව සිතන නිවහල් චින්තනයක් ඇති දරුවෙක් නොව යාන්ත්‍රික අතහුරු අනුකාරකයෙකි.

    චිත්‍ර ඇඳීම හා චිත්‍ර නිර්මාණය යනු එකක් නොව දෙකකි.ඇඳීම අතේ වැඩකි..නිර්මාණය සිතේ වැඩකි ..
      අත් හුරු කිරීමෙන් බිහි වන්නේ යාන්ත්‍රික රොබෝ ශිල්පියෙකි .දුටු දේ එලෙසම ඇඳිය හැකි අනුකාරකයෙකි .
   සිත හුරු කිරීමෙන් බිහි වන්නේ නිර්මාණාත්මකව සිතන නිවහල් චින්තනයක් ඇති අදීන මිනිසෙකි .
   මේ කාර්‍යය පාසලේ විභාග ක්‍රමය තුලින් සිදුනොවේ. මේ යල්පැනගිය අධ්‍යාපන ක්‍රමය තුලින් එවැන්නක් බලාපොරොත්තු විය නොහැක .

  ඒ නිසා පාසලට පිටින් දරුවන්ට නිදහසේ සිතන්නට හා ප්‍රකාශ කරන්නට හැකි නිවහල් වේදිකාවක් සකසා දියයුතුයයි අපි සිතමු…..!!

“..ළමා චිත්‍රයෙන් නිවහල් චින්තනයක් ..”

“..කලාව තුලින් විශ්ව මිනිසෙක් ..”

Loading