රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි
මේ වන විට ජනතාවට අත්කර දී ඇති ව්‍යසනයට කිසිඳු පිළිතුරක් නොමැති පාලකයින්, IMF ඉදිරියේ වැද වැටෙමින්, එහි කොන්දේසි නොපිරිහෙළා ඉටු කිරීම වෙනුවෙන් කළ හැකි සියල්ල ඉටු කරමින් සිටී.
IMF කොන්දේසි හෙළි කිරීමට නොහැකි බවත්, එසේ හෙළිකළ හොත් වෙළඳපොල කමපනයට පත්විය හැකි බවත්, මහබැංකු අධිපති විසින් කියා සිටීමෙන්ම, එකී කොන්දේසි කෙතරම් රටට අහිතකරද යන්න වටහා ගත හැකිය. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සමන්තා පවර් මහත්මිය කියා සිටියේ ශ්‍රී ලංකාව දැනට IMF කාර්ය මණ්ඩලය සමග ඇතිකරගත් එකගත්වය සම්පූර්ණ ගිවිසුමක් කරා ගෙන යා යුතු බවත් එහිදී ශ්‍රී ලංකාවට දැඩි කැප කිරීම් කිරීමට සිදුවන බවත්ය. ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් වසන් කරන බොහෝ කරුණු අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සමන්තා පවර් මහත්මිය දැන සිටින බව එයින්ම පැහැදිලිය. රනිල් රාජපක්ෂ රෙජීමය හුදු රූකඩයක් පමණක් බවත් සැබෑ ලෙසින් ලංකාව පිළිබඳ තීන්දු තීරණ ගන්නේ කවුරුන් විසින්ද යන්නත් එම ප්‍රකාශය විසින් පෙන්වා ඇත.
මේ දක්වා දැන ගැනීමට ඇති තොරතුරු අනුව දැනට රජය සතු ආයතන විශාල ප්‍රමාණයක් පුද්ගලීකරණය කිරීම IMF කොන්දේසි වලට අයත් බව අපි දනිමු. වත්මන් රෙජීමය තම හෙන්චයියන් යොදා ගනිමින් රාජ්‍ය ආයතන පාඩු ලබන බවත්, ඒවා පුද්ගලීකරණය කළ යුතු බවත් කියමින් සමාජ මාධ්‍ය තුළ විශාල ප්‍රචාරයක් ගෙන යන්නේ මෙම කොන්දේසිය ඉටු කිරීමට උවමනා ජනතා මානසිකත්වය ගොඩනැගීමටය.
රනිල් රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් කුලියට ලියන මහත්ම මහත්මීන්ගෙන් එක් අයෙකු හෝ එම ආයතන රජය සතු ආයතන දෙස ලෙස පවත්වාගෙන යාමට සිදුවූයේ මක් නිසාද යන්න ගැන හෝ මෙම රාජ්‍ය ආයතන පාඩු ලබන්නේ ඇයිද යන්න ගැන හෝ වචනයක් හෝ කතා නොකරයි.
රාජ්‍ය ව්‍යවසාය ඇති වන්නේම ධනපති ක්රමයේ නොහැකියාව නිසාය
ධනපති ක්රමයේ මුල් කාලය තුල ක්‍රියාත්මක වූයේ රාජ්‍ය නිර්බාධවාදයයි. රාජ්‍යයන් ආර්ථික කටයුතුවලට හෝ ආර්ථික කටයුතු නියාමනයට හෝ මැදිහත් වූයේ අවම වශයෙනි. එහෙත් ඉතාම ඉක්මනින් ලාභය මත පමණක් පදනම්ව ක්‍රියාත්මක වන ධනපති ක්‍රමය විසින් කම්කරුවන්ගේ වැඩ කාලය වැඩි කිරීමටත්, ඔවුන්ගේ වැටුප් පහත හෙළීමටත්, අනාරක්ෂිත තත්ත්වයන් යටතේ ඔවුන්ව සේවයේ යෙදවීමටත් පියවර ගත් අතර බහුතර ජනයාගේ ජීවන මට්ටම් වඩ වඩාත් පහළ වැටෙන්නට විය. මෙම තත්ත්වයන්ට එරෙහිව කම්කරුවන් ගෙනගිය විවිධාකාර සටන් හේතුවෙන්, ආණ්ඩුවලට ව්‍යාපාරික කටයුතු නියාමනය කිරීමටත්, ජනයාට අත්‍යාවශ්‍යය ඇතැම් සේවාවන් රජයේ මැදිහත් වීමෙන් ලබා දීමටත් පියවර ගැනීමට සිදුවිය.
20 වන සියවස මුල භාගයේදී, ධනපති ක්‍රමය විසින් මුළු සමස්ත ලෝකය ව්‍යසනයකට ඇද දැමීය. එම කාලය තුළ ධනපති ක්‍රමය විසින් ලෝක යුද්ධ දෙකක්, 1929 මහා අවපාතය, ඉතාලිය, ජර්මනිය වැනි රටවල ෆැසිස්ට් පාලනයන්, මිලියන ගණනින් සිදුවූ සමූලඝාතන හරහා මුළු මහත් ලෝකයම රැගෙන ගියේය.
මෙම අර්බුද කාලය තුළ ලාභය මුල්කර ගත් ක්‍රමයට ජනතා අවශ්‍යතා සපුරාලීමට නොහැකි වූ බැවින් යුරෝපියානු රජයන් ඇතැම් කර්මාන්ත රජයට පවරාගෙන පවත්වාගෙන යන්නට විය. මෙය බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය වැනි රටවල දැකිය හැකි විය. පසුව මෙය යුරෝපයේ අනෙක් රටවලත් යටත් විජිත තුළත් අනුගමනය කරන්නට විය.
දෙවන ලෝක යුද්ධයෙන් පසු මෙම ප්‍රවණතාවය වඩාත් ශක්තිමත් වන්නට විය. දෙවන ලෝක යුද්ධයෙන් පසු ධනපති ක්‍රමය යළිත් හිස එසවීම වෙනුවෙන් කේන්සියානුවාදය ලෙසින් හඳුන්වන ආර්ථික මොඩලය කරා ගමන් කිරීම ඊට හේතුවයි. එහි මූලික ලක්ෂණයක් වූයේ රජය මැදිහත් වී ආරම්භ කරන ව්‍යාපෘතීන් හරහා ඉල්ලුමක් ජනනය කොට නිශ්පාදනය වර්ධනය කිරීමට මඟ පෑදීමයි. මේ නිසා දියුණු ධනපති රටවල පවා මෙම කාලය තුළ විශාල ලෙසින් රාජ්‍ය ව්‍යවසායන් දැකගත හැකිවිය.
1980 දශකයේ මුල භාගය වනවිට දළ වශයෙන් රාජ්‍ය ව්‍යවසායන් දියුණු රටවලදී 8%ක්ද, දියුණු වෙමින් පැවති රටවලදී 15%ක්ද ලෙසින්, නිශ්පාදන සඳහා දායකත්වය ලබාදී තිබුණි. අදටද ලෝකයේ (බොහෝවිට තෙල්, ගෑස්, විදුලිය, දුම්රිය වැනි ක්ෂෙත්රවල) ඇති අති දැවැන්ත ව්‍යවසායන් විශාල ප්‍රමාණයක් රාජ්‍ය ව්‍යවසායන්ය. සවුදි අරාබියානු තෙල් සමාගම, ජර්මනියේ වෝක්ස්වාගන්, චීනයේ පෙට්රො කෙමිකල් එවැනි යෝධ රාජ්‍ය ව්‍යවසායන්ය.
ලංකාව තුළ රාජ්‍ය ව්‍යවසාය
ලංකාව තුළ රාජ්‍ය ව්‍යවසායන් ආරම්භ වන්නේ බ්‍රිතාන්‍යන් පාලනයේ සිටි කාලයේමය. පළමුව බ්‍රිතාන්‍ය වැවිලිකරුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම වෙනුවෙන් දුම්රිය, මහාමාර්ග, තැපැල් වැනි සේවාවන් රජය විසින් අරම්භ කිරීමට බ්‍රිතාන්‍ය පාලනය කටයුතු කළේ එදා පැවති තත්ත්වයන් අනුව ඒවා වාණිජ මට්ටමකින් පවත්වාගෙන යාමට නොහැකි වූ නිසාත්, එනිසාම එම සේවාවන් වෙනුවෙන් කිසිවකු හෝ ආයෝජනය නොකරන නිසාත්ය.
ධනපති ක්‍රමය නිරන්තරයෙන් යුද්ධ හා ව්‍යසනයන් ඇති ඇති කරන නමුදු ඒවාට මුහුණ දීමේ ශක්තියක් එයට නැත. දෙවන ලෝක යුද්ධය තුල සිදු වූයේද මෙයයි. එම අවස්ථාවේදී ලංකාව තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා පවත්වා ගැනීම වෙනුවෙන් බ්‍රිතාන්‍යයන්ට තවත් රාජ්‍ය ආයතන කිහිපයක් ඇති කිරීම හැර වෙනත් විකල්පයක් නැති විය.
නිදහස ලබා ගැනීමෙන් පසු, ලංකාවට අවශ්‍ය බැර කර්මාන්ත ආරම්භ කිරීමට හෝ අත්‍යාවශ්‍ය සේවා ජනතා වුවමනාවන්ට සරිලන අන්දමින් පවත්වා ගැනීමට තරම් ශක්තියක් තිබූ ධනපති පන්තියක් මෙරට තුළ නොවීය. මේ නිසා අවුල් සහගත ලෙස පවත්වාගෙන ගිය ප්‍රවාහනය වැනි අංශ රජයට පවරා ගැනීමටත්, අනෙක් අතින් ධනපති පන්තිය මුළුමනින්ම අසමත්ව සිටි රටට අවශ්‍ය වූ සිමෙන්ති, යකඩ, ටයර්, පිඟන් මැටි නිශ්පාදන වැනි බැර කර්මාන්ත රජය මැදිහත්ව ආරම්භ කිරීමටත් එවක පාලනයන්ට සිදුවිය. අනෙක් අතට රජයේ පාලනය යටතේ, උපායමාර්ගික ලෙසින් රටට ඉතාම වැදගත් විදුලිය, ඉන්ධන, වරාය, ගුවන් සේවා මෙන්ම මූල්‍ය ක්ෂෙත්රයේ බැංකු කිහිපයක් හා රක්ෂණ ආයතන පවත්වා ගැනීමටත්, තොග වෙළඳාමට මැදිහත් වීමටත්, ලංකාවේ ප්‍රධානම භෝගය වන වී වගා කරන ගොවීන්ගේ නිශ්පාදන වලට යම් සහතික මිළක් ලබාදුන් වී අලෙවි මණ්ඩලය වැනි ආයතන පවත්වා ගන්නටත් සිදු විය. ඒවා එසේ අරඹන ලද්දේ හෝ පවත්වාගෙන ගියේ එම පාලකයින් තුළ තිබූ ප්රගතිශීලී බවක් නිසා නොව, ලංකාවේ සිටි දුර්වල ධනපති පන්තියට ඒවා පවත්වාගෙන යාමේ හැකියාවක් නොතිබීමත්, කේන්සියානුවාදය ක්‍රියාත්මකව තිබූ එම වකවානුව තුළ රජය විසින් එවැනි ව්‍යවසායන් පවත්වාගෙන යාම ලෝක ධනපති ක්‍රමය විසින් පිළි ගැනීමට යෙදී තිබීමත් නිසාය.
කෙසේ වුවද, 1970 දශකයේ මැද වනවිට රාජ්‍ය ව්‍යවසායන් ලංකාවේ ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් ලබා දී තිබුණි. 1970 ගණන් මැද වනවිට රටේ කාර්මික නිශ්පාදන වලින් 55%ක්ම පැමිණියේ රාජ්‍ය ව්‍යවසාය වලිනි. 1950 මුල වන විට එය 15%ක් පමණි. 1970 ගණන් මැද වනවිට රටේ මුළු රැකියා වලින් 17% ලබා දී තිබුණේ රාජ්‍ය අංශයයි. 1950 මුල වන විට එය පැවතියේ 8%ක මට්ටමකය.
මේ අනුව රාජ්‍ය ව්‍යවසායන් ආරම්භ වන්නේම ධනපති ක්රමයේ නොහැකියාව තාවකාලිකව හෝ වසා ගැනීම වෙනුවෙනි. මෙයට දශක හතකට කලින් ධනපති ක්‍රමයට පැවති නොහැකියාව නිසාම ඇති කිරීමට යෙදුණු රාජ්‍ය ව්‍යවසාය, එදා තම නොහැකියාව පෙන්නුම් කළ ක්‍රමය කරාම ආපසු ගෙනයාමට යෝජනා කිරීම කුමන නම් මුග්ධ කමක්ද?
නව ලිබරල්වාදය
කුමන ආකාරයකින් වුවද ධනපති ක්‍රමයට එහි නිසඟ ලක්ෂණයක් වන ආර්ථික අර්බුදවලින් ගැලවී ගත නොහැකිය. මේ නිසාම 1970 දශකය වනවිට ලෝකය නැවත ආර්ථික අර්බුද මාලාවක් කරා ඇදී ගිය අතර ඒ සමඟම ධනපති ක්‍රමය විසින් කේන්සියානුවාදය ඉවත ලා නව ලිබරලවාදය වැළඳ ගන්නට විය. නව ලිබරල්වාදය යනු අන් කිසිවක් නොව කලින් සියවස් දෙකක් පුරා අසාර්ථක වූ ලිබරල් වැඩ පිළිවෙල කරා නව ආකාරයකින් ප්‍රවේශ වීමයි.
නව ලිබරල්වාදය විසින් රජය ව්‍යාපාර කටයුතු වලින් ඉවත් විය යුතු බව දැඩි ලෙස කියා සිටියේ එමඟින් ජනතාවට කිසියම් සුගතියක් අත්වන නිසා නොව කලක් පුරා ජනතා (බදු) මුදල් වලින් ගොඩ නැඟුණ දැවැන්ත ව්‍යවසායන් කුණු කොල්ලයට තමන් සතුකර ගැනීමටත් එමඟින් ලැබෙන දැවැන්ත ලාභ වලින් තම මඩිය තරකර ගැනීමටත් ධනපතියන්ට අවස්ථාවක් ලැබෙන බැවිනි.
ලංකාව තුළ පුද්ගලීකරණය
ලංකාව නව ලිබරල්වාදය වැළඳ ගැනීමෙන් පසු, 1980 දශකයේදී පුද්ගලීකරණය රාජ්‍ය ප්‍රතිපත්තිය ලෙසින් පිළි ගැනීමට යෙදුණි. 1994 මැද වන විට එවක පැවති UNP පාලනය යටතේ ආයතන 43ක් හා රජය සතුව තිබූ මධ්‍යම ගමනාගමන මණ්ඩලය පුද්ගලීකරණය කර තිබුණි. 1994දී බලයට පැමිණි චන්ද්‍රිකා පාලනය එම පුද්ගලීකරණ ක්‍රියාවලිය වේගවත් කළේය. 1995දී පුත්තලම් සිමෙන්ති, කොළඹ ගෑස් සමාගම, 1996දී ටෙලිකොම්, වානේ සංස්ථාව හා මුළු වැවිලි කර්මාන්තයම ආදී වශයෙන් ඉතා අධික ලාභ ඉපයූ ව්‍යවසායන් එම යුගය තුළ පෞද්ගලීකරණයට ලක් විය.
අද පාඩු ලබන නිසා පෞද්ගලීකරණය කළ යුතු යයි හඬ නඟන මහත්ම මහත්මීන්ට එදා පෞද්ගලීකරණය කළේ පාඩු ලැබූ ආයතන නොව අධික ලෙස ලාභ ලැබූ ආයතන බව අමතකය. ඒ හරහා රාජ්‍ය ආදායමට බලපෑමක් සිදුවූ බවත් උපාය මාර්ගික වැදගත්කමක් ඇති ආයතන පවත්වාගෙන යාම රජයට බරක් වී ඇත්තේ ඒ නිසා බවත් ඔවුන් ජනතාවගෙන් සඟවා සිටී.
ඇත්තෙන්ම මෙම පුද්ගලීකරණ ක්‍රියාවලීන් බොහොමයක් IMF, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ණය ලබා ගැනීමේදී ලබාදුන් කොන්දේසි සැපිරීම වෙනුවෙන් සිදු කරන ලද බවද සඳහන් කළ යුතුමය.
රාජ්‍ය ව්‍යවසාය, අකාර්යක්ෂමතාවය හා අලාභ ලැබීම
රාජ්‍ය ව්‍යවසායවල ඉහළ තනතුරු සියල්ලම පාහේ පත්කරනුයේ දේශපාලන අධිකාරිය විසිනි. බහුල වශයෙන්ම මෙවැනි තනතුරු සඳහා පත් කරනුයේ ඒ වෙනුවෙන් සුදුසුකම් හා කුසලතා ඇති අය නොව පවත්නා ආණ්ඩුව බලයට ගෙන ඒම වෙනුවෙන් කඩේ ගිය අයය. ඔවුන් විසින් ගනු ලබන වැරදි තීරණ හා කරනු ලබන අක්‍රමිකතා නිසා සිදුවන අලාභයන් එම ව්‍යවසායන් රජය යටතේ පැවතීමේ වරදක් නොව ආණ්ඩුවල අදූරදර්ශි ක්‍රියා මාර්ග නිසා ඇති වූවකි. එම තනතුරුවලට නිසි අය පත්කළ හැකිවන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම වැනි ඉතා සරල ක්රියාමාර්ගයකින් මෙම තත්ත්වය නිවරැදි කළ හැකිය.
2004දී ලෝක බැංකුව නිකුත්කළ පර්යේෂණ වාර්තාවක් විසින් Rozana Salih (2000) උපුටා දක්වමින් කියා තිබුණේ සාමාන්‍ය වශයෙන් ලංකාවේ විශාලතම රාජ්‍ය ව්‍යවසායන් (8) තුළ 53%ක අතිරික්ත සේවක පිරිසක් සිටින බවයි. මෙයද පැහැදිලිවම පෙන්වා සිටින්නේ දේශපාලන අධිකාරීන්ගේ මුග්ධ බවයි. ආණ්ඩුවල බලවතුන් තම දේශපාලන බලය භාවිතා කරමින් තම දේශපාලන හිතවතුන්ට රාජ්‍ය ව්‍යවසායන් තුළ තොග ගණනින් රැකියා දීම බහුලව දැකිය හැක.
COPE වාර්තාවන්ගෙන් ගත් කරුණු උපුටා දක්වමින් The State of State Enterprises in Sri Lanka – 2019 වාර්තාව විසින් පෙන්වා දෙන්නේ 2015දී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට නිසි බඳවා ගැනීමේ ක්‍රමවේදයෙන් පිට යමින් 1490ක් පමණ බඳවාගෙන තිබූ බවයි.
මෙම අක්රමිකතාවයද රැකියාවලට බංදවා ගැනීමේ නිසි ක්‍රමවේදයක් ස්ථාපනය කිරීම මඟින් විසඳිය හැකි එකකි.
Salihගේ වාර්තාවට අනුව, ඒ වනවිට ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරික්ත සේවක ප්‍රමාණය 51%කි. එහෙත් එම සේවකයින් ඵලදායී ලෙස සේවයේ යොදවනු වෙනුවට බලධාරීන් කළේ කලින් මණ්ඩලයේ සේවකයින් ඉටුකළ කටයුතු පවා කොන්ත්‍රාත්කරුවන් වෙත ලබා දීමයි. විදුලි රැහැන්වලට බාධාවිය හැකි මඟ දෙපස අතු කැපීමේ සිට නව සම්බන්ධතා ලබාදීම, රැහැන් ඇදීම ආදී බොහෝ කටයුතු මේ වනවිට කොන්ත්‍රාත්කරුවන්ට ලබා දී ඇත. එම කොන්ත්‍රාත්කරුවන්ගේ වැඩ අධීක්ෂණය කිරීමේ මුවාවෙන් එහි නිලධාරීන්ට අකටයුතුකම්වල යෙදීමටද ඉන් ඉඩකඩ විවරව ඇත. අනෙක් අතට ඉහළ නිලධාරීන් හිතුමතේ තම වැටුප් වැඩිකර ගනී. 2015දී එලෙස නිසි ක්‍රමවේදය අනුගමනය කිරීමකින් තොරව ඉහළ නිලධාරීන්ගේ වැටුප් පමණක් වැඩිකර ගැනීම අනීතික බවට රීට් පෙත්සම් විභාගයකින් අනතුරුව අභියාචනාධිකරණය තීන්දු කළද එය මේ දක්වා නිවරැදි කිරීමක් සිදුකොට නැත.
ලංකා විදුලිබල මණ්ඩලයට අනුබද්ධිත සමාගමක් වන ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගම විසින් 2009-16 කාලය තුළ ගල් අඟුරු ගෙන්වීමේදී සිදුව ඇති පාඩුව රු. බිලියන 4ක් බව විගණකාධිපති විසින් වාර්තා කොට තිබුණි. මෙය පැහැදිලිවම අයථා ගණුදෙනුවක් නිසා වූ අලාභයකි.
පසුගිය කාලය තුළ සිදුවූ සුදුළූණු වංචාව නිසා සතොසට වූ පාඩුව රුපියල් කෝටියකට අධිකය.
මේ ආකාරයම පසුගිය කාලය තුළ අපට මාධ්‍ය මඟින් දක්නට ලැබුණු Air Lanka ආයතනයට Air Bus ගණුදෙනුවෙන් සිදුවූ අලාභය, දුම්රිය දෙපාර්තමේන්තුවට එන්ජින් මිළදී ගැනීමේදී වූ අලාභය ආදියද මේ වනවිට බැරව ඇත්තේ ඒවායේ “අකාර්යක්ෂමතාවය”ටය. එහෙත් මේවා සියල්ල දේශපාලනඥයින්ගේ අනුග්‍රයෙන් සිදුවූ දේශපාලන අධිකාරිය වගකිවයුතු අක්‍රමිකතා බව නොකිවමනාය.
පැහැදිලිවම පාලකයින් විසින් මෙකී රාජ්‍ය ව්‍යවසායන් පළමුව පාඩු ලබන තත්ත්වයකට පත්කොට පසුව ඒවා කුණු කොල්ලයට පෞද්ගලීකරණය කිරීමටත් එම ක්‍රියාවලිය තුළ පාලකයින් තම මඩිය තර කර ගැනීමටත් ක්‍රියාකරන ආකාරය මනාව දැකිය හැක. ලංකා වානේ සංස්ථාව පළමුව කොරියාවේ Hanjung Steel වෙතත් පසුව එය ඩුබායිහි සිටින නන්දන ලොකුලියන නම් අයෙක් හරහා කපුටු ග්රහණයටත් නතු වීම මෙකී පුද්ගලීකරණ ක්‍රියාවලියට පාලකයින් මෙතරම් පෙළඹීමට හේතුව මනාව පෙන්වා දෙයි.
පුද්ගලීකරණය මුල සිටම දූෂිතය
ශ්‍රී ලංකාව තුළ සිදු වූ පෞද්ගලීකරණ ක්‍රියාවලීන් බොහොමයක් මුල පටන්ම දූෂිතය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ශ්‍රී ලංකා වරාය නැව් තෙල් අංශය පෞද්ගලීකරණය කිරීම ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කරනු ලැබීය. ඒවා එපමණටම අක්‍රමවත් විය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පුද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් වූ FR 158/2007 නඩුවේ තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ එය වැරදි සහගත, නොකළ යුතු වූ, අනීතික ක්‍රියාවක් බවයි. එම තීන්දුවේ මෙසේ දක්වා තිබුණි. “මේ රටේ ජනතාවට අයිති රජයේ ප්‍රධාන වත්කමක් විකිණීමේදී රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කටයුතු කර තිබූ ආකාරය මෙම අධිකරණයේ හෘද සාක්ෂිය තිගැස්මට ලක්කර ඇත යනුවෙන් කීම සෑහේ.”
පුත්තලම සිමෙන්ති කම්හල මිලදී ගත් තවක්කාල් සමාගම විසින් එකී කොටස් සඳහා ගෙවිය යුතු මුදල සොයාගෙන තිබුණේ පුත්තලම් සිමෙන්ති පාලනය භාරගත් පසු නිකුත්කළ ණයවර (debentures) මඟිනි. මෙයද අධිකරණය ඉදිරියේ ප්‍රශ්නගත වූ අතර, අධිකරණය තවක්කාල් සමාගමට නියෝග කර සිටියේ එකී ණය මුදල සහ එහි පොළිය ලෙස රු. බිලියන 1.355ක් පුත්තලම සිමෙන්ති සමාගමට ගෙවන ලෙසය.
ටෙලිකොම් පුද්ගලීකරණය කළ අවස්ථාවේ 35% පමණක් කොටස් මිළදී ගත් ජපානයේ NTT සමාගමට කළමනාකරණ අයිතිය ලබාදී තිබුණේ ටෙලිකොම්හි ආදායමින් 1.2%කට සමාන වාර්ෂික ගාස්තුවක්ද ගෙවමිනි. ටෙලිකොම්හි වටිනාකම තක්සේරු කිරීමේදී ඉදිරි මුදල් ප්‍රවාහය (cash flow) ගණනය කර තිබුණේ වසරකට දුරකථන ගාස්තු 10%කින් වැඩිවන බවත්, ගෙවිය යුතු බද්ද 40%ක් ලෙසත්, අනාගත ඉපැයීම් වර්තමානයට ගැනීමේදී භාවිතා කළ යුතු අනුපාතිකය 18%ක් ලෙසත් සළකමිනි. එහෙත් NTT යෝජනාවට අනුව ඉදිරි වසර 5 සඳහා පිළිවෙලින් 25%, 25%, 20%, 15%, 15% ලෙසින් දුරකථන ගාස්තු වැඩි කිරීමට PERC ආයතනය එකඟ වී තිබුණි. එය ඔවුන් තක්සේරු කිරීමේදී උපකල්පනය කළ 10%ක වාර්ෂික වැඩිවීමට වඩා බෙහෙවින් වැඩි තත්ත්වයකි. අනෙක් අතට කොටස් වෙළෙඳපොලේ ලයිස්තුගත පොදු සමාගම් සඳහා පැවති බදු අනුපාතිකය වූයේ 30%කි. ඒ දිනවල රටේ පොළී අනුපාතිකය පැවතියේ 12-14% අගයකය. ඒ අනුව ලබාදී තිබුණේ අඩු තක්සේරු වටිනාකමකි.
මේ ආකාරයටම වානේ සංස්ථාවද අඩු තක්සේරුවක් සහිතව කොරියානු සමාගමට ලබාදුන් බවට වාර්තා පළව තිබුණි.
කොළඹ ගෑස් සමාගම ෂෙල් සමාගමට විකිණීමේදී ඔවුනට වසර 5කට ලංකාව තුළ ගෑස් සඳහා ඒකාධිකාරී බලයක් හා සෑම වසරකම ගෑස් මිළ වැඩි කිරීමේ බලයක් ලබාදී තිබුණි.
මෙහිලා සඳහන් කළේ සිදුවූ අක්‍රමිකතා වලින් කිහිපයක් පමණි. බොහෝ පුද්ගලීකරණ ක්‍රියාවලීන් තුළ අක්‍රමිකතා හා දූෂණ සිදුවූ බවට වූ වාර්තා මාධ්‍ය තුළින් ඕනෑ තරම් දැකගත හැකිය.
පුද්ගලීකරණය සැමවිටම සාර්ථක වී නැත
2004දී ලෝක බැංකුව නිකුත්කළ පර්යේෂණ වාර්තාවක් විසින් දක්වා තිබුණේ “රජයේ හෝ නව පුද්ගලික අයිතිකරුවන් හෝ කරන ප්‍රතිසංස්කරණ වලදී වියදම් අඩු කිරීම වෙනුවෙන් කරන පළමු සළකා බැලීම වන්නේ වැඩිපුර ඇති ශ්‍රමය ඉවත් කිරීමයි. මෑතකදී ආයතන 308 ක් යොදා ගනිමින් කළ සමීක්ෂණයකින් හෙළි වූයේ පුද්ගලීකරණයෙන් පසු සියයට අසූවක් පමණ ආයතන සේවකයින් අඩු කළ බවයි” යනුවෙනි. මෙයින් අදහස් කරන්නේ අඩු සේවකයින් ගණනකගෙන් වැඩි වැඩ ප්‍රමාණයක් ගැනීමය. එනම් සූරාකෑම වඩ වඩාත් තීව්ර කිරීමය.
පුද්ගලීකරණය කිරීමෙන් පසු සේවකයින් අඩු කිරීමත්, සූරාකෑම වැඩිකිරීමත්, තම ලාභ විශාල ලෙසින් ඉහළ දමා ගැනීමත් දැකිය හැක. ආයෝජකයින් මෙම ආයතන මිලදී ගන්නේ මේ වෙනුවෙනි.
ලංකාව තුළ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පුද්ගලීකරණයේ සාර්ථකත්වයට ආදර්ශයක් ලෙසින් පෙන්වා සිටී. එහෙත් 2021 වාර්ෂික වාර්තාවට අනුව ටෙලිකොම් සිටින්නේ රුපියල් බිලියන 37.8ක දැවැන්ත දිගු කාලීන ණය බරක් සමඟය. අමතරව ඔවුන් විසින් පසුගිය කාලයේ සේවාවන් ලබාගත් කොන්ත්‍රාත්කරුවන්ට සිදුකල යුතු ගෙවීම් ආදියද ඇතුළත් කෙටිකාලීන වගකීම් ප්‍රමාණය බිලියන 54කි. ඒ ඔවුන්ගේ මෙහෙයුම් කාර්යක්ෂමතාවයයි.
අනෙක් අතට ටෙලිකොමිහි ඉහළ නිලධාරීන්ගේ වැටුප් අසාමාන්‍ය අන්දමින් ඉහළ දමා ගෙන තිබුණද පහළ මට්ටමේ සේවකයින්ගේ බඳවා ගැනීමේ වැටුප් පසුගිය වසර ගණනාව තුලම පහළ දමා ඇත. සේවක වැටුප් අඩු කිරිම හා සූරාකෑම තීව්ර කිරීම වෙනුවෙන් ටෙලිකොම් සමාගමට අනුබද්ධ මෑන්පවර් ආයතනයක් ඇති කරමින් පසුගිය කාලය තුළ ඔවුන් තම මුළු සේවක සංඛ්‍යාවෙන් 1/3ක් පමණ සේවක පිරිසක් මෑන්පවර් පදනම මත අඩු වැටුප් හා අඩු වරප්‍රසාද යටතේ සේවයේ යොදවා තිබූ අන්දම අපට මතකය. දශකයක පමණ කාලයක් වෘත්තීය සමිති විසින් ගෙනගිය සටන් නිසාවෙන්ම ටෙලිකොම් පාලකයිනට එම මෑන්පවර් ක්‍රමය අකුලා ගැනීමට සිදු විය.
ලංකාව තුළද පුද්ගලීකරණය කළ ආයතන ගණනාවක් අපේක්ෂිත වර්ධනයන් නොපෙන්වීම නිසා ඒවා අපසු පවරා ගැනීමට පවා සිදුවූ බව අපි දනිමු..
ලංකාව තුළ පමණක් නොව, ගෝලීය වශයෙන්ම මෙසේ පුද්ගලීකරණය කිරීමෙන් සේවා තත්ත්වයන් පහළ ගිය ආයතන නැවත පවරා ගැනීම දැකිය හැකිය. පුද්ගලීකරණය කිරීමෙන් පසු බොහෝ ආයතන විසින් සූරාකෑම තීව්ර කරන නමුත් ඔවුන් සපයන සේවාවල ගුණාත්මකභාවය හා උපයෝගීතාවය බොහෝවිට පහළ වැටීම මෙයට හේතුවයි.
ඇමස්ටර්ඩෑම්හි ඇති The Transnational Institute විසින් 2019 දෙසැම්බර් නිකුත්කළ ‘The Future is Public’ වාර්තාවෙන් දක්වා ඇති අන්දමට 2000 සිට 2019 දක්වා ලෝකය පුරා නැවත පොදු පරිපාලනයට පත්කළ අවස්ථාවන් 1400ක් හඳුනාගෙන ඇති බවත් මෙය රටවල් 58ක නගර 2400කට බලපා ඇත. මෙම නැවත පවරාගැනීම් වලට ජලය බෙදාහැරීමේ ආයතන 311ක්, බල ශක්ති සැපයීමේ ආයතන 374ක්, විදුලි සංදේශ සේවා 192ක්, ප්‍රවාහන ආයතන 47ක්, සෞඛ්‍යය පහසුකම් සැපයීමේ ආයතන 138ක්, අධ්‍යාපන ආයතන 38ක් හා කසල එකතු කිරීමේ ආයතන 85ක්ද ඇතුළත්ව තිබුණි.
2000 සිට ප්‍රංශයේ පමණක් ජලය බෙදාහැරීම හා මලාපවහන ආශ්රිත සේවා 110ක් පමණ නැවත පවරාගෙන ඇත. 2008දී එහි අග නගරයේ ජලය බෙදාහැරීමේ සේවාව නැවත පවරා ගනු ලැබූ අතර ඉන් පසු පැමිණි පළමු වසරේදීම යුරෝ මිලියන 35ක් ඉතිරි කොට ගාස්තු 8%කින් පහළ දමා ඇත.
මේවා පෙන්වා සිටින්නේ දශක ගණනාවක් පුරා ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් පටවනු ලැබූ පුද්ගලීකරණය කෙතරම් විහිළුවක්ද යන්නයි.
වැදගත් යයි සිතූ උපුටා ගැනීමක් පහතින් දක්වමු.
“පසුගිය දශක දෙක තුළ, රාජ්‍ය ව්‍යවසායන්, විශාලතම සහ වේගයෙන් ව්‍යාප්ත වන බහුජාතික සමාගම් අතර සිටී. IMF අධ්‍යයනයකට අනුව, පසුගිය වසර 10 තුළ, රාජ්‍ය ව්‍යවසායන් ලෝකයේ විශාලතම සමාගම් අතර තම වැදගත්කම වැඩි කරගෙන ඇත. ….ඒවා බොහෝ ආර්ථිකයන් තුළ විශාල කාර්යභාරයක් ඉටු කරයි. බොහෝ රටවල් රැකියා පවත්වාගෙන යාම සහ ඔවුන්ගේ ආර්ථිකයන් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් රාජ්‍ය ව්‍යවසායන් මත යැපේ. මේ නිසා, ආණ්ඩුවලට රාජ්‍ය ව්‍යවසායන් අසාර්ථක වීමට තව දුරටත් ඉඩදිය නොහැකි අතර ඒවා ආතතියකට ලක් වූ විට ඉක්මණින්ම ඒවාට උපකාර කරයි…..
“සෘජුව සහ වක්‍රව COVID වලට එරෙහි සටනට රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධ වී, ventilators, මුහුණු ආවරණ සහ එන්නත් පවා නිෂ්පාදනය කිරීමට දායක විය…. ඉන්දුනීසියාවේ විදුලි ජනක ආයතනය රජයේ ඉල්ලීම පරිදි පාරිභෝගිකයින් මිලියන 30 කට සහනදායි පදනමකට විදුලිය සැපයීය. ඇල්බේනියාව, බොස්නියාව සහ හර්සගොවිනා, උතුරු මැසිඩෝනියාව සහ සර්බියාවේ, ආණ්ඩු අවදානම් අඩියක සිටින ජනයාට උපයෝගිතා සේවා සඳහා කළ යුතු ගෙවීම් කපා හැරීය (ILO 2020). අප්‍රිකාවේ, නයිජීරියාවේ සහ ඇන්ගෝලාවේ රජයන් බිල් නොගෙවීම හේතුවෙන් බලශක්ති සැපයුම් විසන්ධි නොකිරීමට එම සමාගම් සමඟ සාකච්ඡා කර ඇත…
“මෑත කාලීන ලෝක බැංකු සටහනක් මගින්, ජනගහනයට සහන ලබා දීම, කම්පනවලට ඔරොත්තු දීම, විපතට පත් ආර්ථිකයන්ට සහාය වීම සහ රැකියා සැපයීම මගින් රාජ්‍ය ව්‍යවසායන්ට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි ආකාරය විස්තර කරයි. එම සටහන රාජ්‍ය ව්‍යවසායන්ට අර්බුදකාරී අවස්ථාවක වේගවත් හා ඉලක්කගත ප්‍රතිචාරයක කොටසක් වීමත්, පසුව එළඹෙන නැවත ගොඩනැඟීමේ කාලයේදී සහායකයින් වීමත් සහතික කිරීම සඳහා රජයන්ට කළ හැකි දේ පිළිබඳ අනුක්‍රමික යෝජනා ඉදිරිපත් කරයි. එය මහා පරිමාණ අර්බුදවල අවදානම් තක්සේරු කිරීමත්, ඒවා පාලනය කිරීමත් වෙනුවෙන් මධ්‍යම රජයන් විසින් රාජ්‍ය ව්‍යවසායන් වඩා හොඳින් සන්නද්ධ කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග විස්තර කරයි.”
මේ උපුටා ගැනීම මාක්ස්වාදී වෙබ් අඩවියකින් හෝ වාමාංශික පුවත්පතකින් හෝ නොව ලෝක බැංකු blog අඩවියකිනි. අවසානයේ යක්ෂ භවනයෙන්ම සත්‍ය පිටවී ඇත.
පුද්ගලික සමාගම් අසාර්ථක නොවන්නේද?
රනිල්ගේ සට්ටැඹියන් පෙන්වා සිටින්නේ පුද්ගලික සමාගම් යනු පට්ට කාර්යක්ෂම ආයතන විශේසයක් ලෙසටය. එහෙත් ලෝකයේ රාජය සංවිධාන වලට වඩා වැඩියෙන් බංකොලොත් භාවයට පත්වන්නේත් විවිධ අක්‍රමිකතා හේතුවෙන් වසා දැමෙන්නේත් පුද්ගලික අංශයේ ආයතනයන්ය. විකිපීඩියා අනුව 2000 සිට මේ දක්වා සිදුව ඇති මහා පරිමාන ගෝලීය සමාගම්වල කඩා වැටීම් ගණන 41කි. මේ අතර 2001දී කඩා වැටුණු, ඩොලර් බිලියන 67.5ක වත්කම් තිබූ විදුලිය හා බලශක්ති ක්ෂෙත්රයේ ඉහළින්ම වැජඹුණු, අමෙරිකාවේ 18වන විශාලතම සමාගම වූ Enron සමාගමද, 2002දී කඩා වැටුණු ඩොලර් බිලියන 91ක වත්කම් තිබූ සන්නිවේදන ක්ෂෙත්රයේ ඉහළින්ම වැජඹුණු, අමෙරිකාවේ 25වන විශාලතම සමාගම වූ Worldcom සමාගමද විය.
පෞද්ගලික සමාගම් තම ලාභ ඉහළ දමා ගැනීම වෙනුවෙන් නොකරන තක්කඩිකමක් නැත. දැවැන්ත සමාගම් වූ Enron හා Worldcom ආයතන දෙකම ඇද වැටුනේ එවැනි අක්‍රමිකතා නිසාය.
බැංකු, විශ්‍රාමික අරමුදල් සහ මූල්‍ය සේවා ක්ෂෙත්රයේ විෂමාචාර පිළිබඳ සොයාබලා වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු රජය විසින් 2017 දෙසැම්බර් 14 දින පිහිටුවන ලද රාජකීය කොමිෂන් සභාවක් විසින් එහි අතුරු වාර්තාව 2018 සැප්තැම්බර් 28 වැනි දින ඔස්ට්‍රේලියාවේ ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කර තිබූ අතර එහිදී එම වාර්තාව විසින් ප්‍රධාන කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමු කර තිබුණි; එනම්, ඒවා සිදු වූයේ ඇයි සහ ඒවා නැවත සිදු නොවීමට කුමක් කළ යුතුද? යන ඒවායි. ඉන් ‘ඇයි’ යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කොමසාරිස්වරයා මෙසේ කියා තිබුණි
“…..පිළිතුර තණ්හාව බව පෙනේ – අවංකභාවයේ මූලික ප්රමිතීන් උල්ලංඝනය කරමින් කෙටි කාලීන ලාභය ලුහුබැඳීම….. විධායක මණ්ඩලයේ සිට ඉදිරි පෙළ දක්වා කාර්ය මණ්ඩලය අගයනු ලැබුවේත්, ඔවුන්ට ප්රතිලාභ ලබාදෙනු ලැබුවේත් විකිණීම් හා ලාභයට යොමු වෙමින්ය….. විෂමාචාර හෙළිදරව් වූ විට, ඒවාට දඬුවම් ලැබුණේ නැත, නැතහොත් එහි ප්‍රතිවිපාක සිදු කළ දෙයෙහි බරපතලකමට සරිලන්නේ නැත.”
මෙය ඕනෑම පුද්ගලික සමාගමක සාමාන්‍ය ස්වාභාවයයි. රට පත්ව ඇති අර්බුදය හමුවේ රටේ ප්‍රදානම ක්ෂෙත්ර මෙම මූලධර්මය මත ක්‍රියාත්මක වන පුද්ගලික ආයෝජකයින් වෙත පවරනු ලැබුවහොත් සිදුවන දේ පැහැදිලිය.
ලංකාව තුළද පුද්ගලික ආයතන රජයේ ඉඩම් බදුගෙන ඒවා භාවිතා නොකර හෝ ඒවා ගැන කිසිඳු තොරතුරක් නොමැතිව සිටීම නිසා රජයට 2011 අංක 43 දරන ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම පනත (2019දී රනිල් පාලනය විසින් මෙම පනත අහෝසි කරන ලදී) පනවා රජයේ ඉඩම් බදුගත් එහෙත් ඒවායින් නිසි ප්‍රයෝජනයක් නොගන්නා සමාගම් 36ක දේපළ ආපසු පවරා ගැනීම අපට මතකය.
විසඳුම කම්කරු පාලනයට නතු කිරීමයි.
පුද්ගලීකරණය රාජ්‍ය ව්‍යවසායන්හි දැනට ඇති ගැටළුවලට කිසිඳු ආකාරයක විසඳුමක් ලබා නොදේ. ඒ වෙනුවට එය ජනතාව අගාධයේ තවත් පතුලට ඇද දැමීමට අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය කිරීම පමණක් සිදු කරයි.
මේ වනවිටත් වී අලෙවි මණ්ඩලයේ සම්පත් මුදලාලිලාට පැවරීමත්, ලංකා පොහොර සංස්තාවේ හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ මෙහෙයුම් පුද්ගලික අංශයට ලබා දීමත් නිසා කෘෂිකර්මාන්තය පත්ව ඇති තත්ත්වයෙන් හෝ අප පාඩම් ඉගෙන ගත යුතුය. මේ වනවිට බීජවල සිට පොහොර, කෘමිනාශක ඇතුළු සියළි කෘෂි යෙදවුම්වල මිල තීරණය කරන්නේ රටේ ගොවිතැන වෙනුවට තම ලාභය මුල් කරගත් සමාගම්ය. අනෙක් අතට කෘෂි නිෂ්පාදනවල මිළ තීරණය කරන්නේද ලාභය මුල්කර ගත් මුදලාලිලාය. මේ නිසා අද රටේ 1/3කට ආහාර සුරක්ෂිතතාවය අහිමිව ඇත.
යෝජිත පුද්ගලීකරණ විසින් අනාගතයේදී අනෙකුත් ක්ෂෙත්රවලටත් අත්කර දෙනු ඇත්තේ එම ඉරණමයි.
රාජ්‍ය ව්‍යවසායන්ට දේශපාලනඥයන් විසින් කරන්නා වූ අලාභයන් වළකාලමින්, දේශපාලනඥයන් හා ඔවුන්ගේ ඇම්බැට්ටයන් විසින් ඒවා තුළ කරනු ලබන වංචා හා දූෂණ පිටුදකිමින් සැලසුමක් සහිතව එම ආයතන නඟා සිටුවිය හැක්කේ ඒවා කම්කරු පාලනයකට නතු කිරීමෙන් පමණි.
එම ආයතන වල ක්‍රියාකාරීත්වය, ඒවායේ දුර්වල කම්, ඒවායේ ශක්තිමත් බව, ඒවායේ හැකියාවන් පිළිබඳ මනා අවබෝධයක් ඇත්තේ ඒවායේ සේවය කරන කම්කරුවන්ටය. එමනිසා මෙම ආයතන මෙකී කම්කරු පාලනයට නතු කිරීම අද ඒවා මුහුණ දී ඇති තත්වයෙන් මුදාගෙන ජනතාවට අවශ්‍ය ගුණාත්මක සේවාවක් දැරිය හැකි මිළකට ලබාදීම වෙනුවෙන් ඇති එකම විකල්පයයි.
එහෙත් පවතින ධනපති ක්‍රමය තම ලාභය අත් හැර, මෙම ආයතන කම්කරු පාලනයකට නතු කිරීමට කිසිඳු ලෙසකින් ඉඩ නොදෙනු ඇත. එම නිසා ඒ වෙනුවෙන් ධනපති ක්‍රමය පළවා හැරීම අද දවසේ ප්රමුඛ කාර්ය ලෙසින් අප ඉදිරියේ පවතී.