රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි
“මිලියන 6.3 ක ජනතාවකට ආහාර සුරක්ෂිතතාවයක් නොමැත. අර්බුදය ඉදිරියට ගමන් කරන විට මෙය තවත් පිරිහීමට ඉඩ ඇත.
“මිලියන 6.7 ක ජනතාවක් පිළිගත හැකි මට්ටමේ ආහාර අනුභව නොකරයි.
“WFP සහ FAO හි මෑත කාලීන භෝග සහ ආහාර සුරක්ෂිතතා තක්සේරු මෙහෙයුමට අනුව, අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙසින් ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ තත්ත්වය පිරිහීමට නියමිතය.
“ජාතික වශයෙන්, මිලියන 6.3 ක ජනතාවක් ආහාර සුරක්ෂිතතාවයෙන් තොර බව සොයා ගන්නා ලදී (සියයට 28.3). මෙයින් අවම වශයෙන් පුද්ගලයින් 65,600 ක් දැඩි ලෙස ආහාර සුරක්ෂිතතාවයෙන් තොර. ක්ෂණික මැදිහත්වීමක් නොවුනහොත් මෙම සංඛ්‍යා විශාල ලෙස වැඩි වීමට හැකිය.
“අහස උසට නැඟෙන ආහාර වියදම් ජනයාට ඔවුන්ගේ ආහාර අවශ්‍යතා සපුරාලීම දුෂ්කර කරයි. මිලියන 6.7 ක් පමණ ජනතාව ප්‍රමාණවත් මට්ටමින් ආහාර අනුභව නොකරන අතර මිලියන 5.3 ක ජනතාව අනුභව කරන ආහාර වේල් ගණන අඩු කර ඇත.
“පසුගිය මාස තුන තුළ ආදායම් සීග්‍රයෙන් පහත වැටී ඇත. නිවාස පහකින් දෙකක් පමණ තම ආදායම අඩකින් අඩුවී ඇතිබව වාර්තා කළේය.
“ආහාර හිඟයට මුහුණ දීම සඳහා, මිලියන 5ක ජනතාවක් ආපදා උපායමාර්ග වලට යොමුව ඇති අතර එය ඔවුන්ගේ මධ්‍යම හා දිගු කාලීන ආදායම් ඉපයීමේ හැකියාවට හා ආහාර සුරක්ෂිතතාවයට බලපෑම් ඇති කරයි.
“ගොවීන්ට බීජ, වෙනත් යෙදවුම් සහ මුල්‍ය ආධාර ලබා ගැනීමට නොහැකි වුවහොත්, එළඹෙන මහ කන්නයේදී වී වගා කරන ප්‍රදේශවල 50% ක වගා කිරීමේ අඩුවීමක් ඇතිවිය හැකි අතර, ධීවර හා පශු සම්පත් ක්ෂේත්‍ර යථා තත්ත්වයට පත් වීමට ඇති ඉඩකඩ අඩුවීම නිසා, ආනයන මත යැපීම සහ ආහාර මිල තවදුරටත් ඉහළ යාම දැකගත හැකි වනු ඇත.
“2022 ජූනි මාසයේදී ආහාර උද්ධමනය විශ්මයජනක ලෙස 80% කරා ළඟා විය. ජීවන මාර්ග බිඳවැටීම් සමඟින්, මෙය තවදුරටත් පවුල්වල මිලදී ගැනීමේ හැකියාව සීමා කරයි.”
ඉහතින් දක්වා ඇත්තේ ලෝක ආහාර වැඩපිළිවෙල (WFO) විසින් ජූලි 6 දින ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවෙන් උපුටා ගත් කරුණු කිහිපයකි.
මීට කලින් අප උපුටා දක්වූ Save the Children ආයතනය විසින් 2022 මැයි – ජූනි කාලය තුළ කරන ලද සමීක්ෂණයකින් පසු 2022 ජූලි 6 දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින්ද මීට සමාන කරුණු දක්වා තිබුණි. එහිදී කියා තිබුණේ ශ්‍රී ලංකාවේ පවුල් තුනකින් දෙකකට වඩා වැඩි ගණනකට ආහාර සපයා ගැනීමට නොහැකි වී ඇති බවත්. රටෙහි පවතින ආර්ථික අර්බුදය සීඝ්‍රයෙන් පරිපූර්ණ මානුෂීය ආපදාවක් බවට පත්වෙමින් ඇති බවට එම ආයතනය අනතුරු අඟවන බවත්ය. ඔවුන් මෙසේද කියා තිබුණි
“රටේ පවුල් 2,300කට අධික සංඛ්‍යාවක් සහභාගි කරගත් සමීක්ෂණයෙන් හෙළි වූයේ ආර්ථික අර්බුදය ආරම්භයේ සිටම පවුල් 85%කට ආදායම් අහිමි වී ඇති බවත්, අඩකට වැඩි පිරිසකට තම ආදායමෙන් වැඩි ප්‍රමාණයක් අහිමි වී ඇති බවත්, 10න් 1කට මුළු ආදායමම අහිමි වී ඇති බවත්ය.
“මිල වැඩිවීම්, ඉන්ධන හිඟය සහ ආහාර හිඟය නිසා පවුල්වල දරුවන් තම දරුවන්ට පෝෂණය කිරීමට අපහසු වී ඇත. පවුල්වලින් තුනෙන් එකකට (35%) වැඩි ප්‍රමාණයක් පසුගිය සති දෙක තුළ තම දරුවන්ට දෙන ආහාර අඩු කිරීමට බලකෙරුණු බව පැවසූ අතර 30%ක් කියා සිටියේ තමන් දිනකට ගන්නා කෑම වේල් අඩු කළ බවයි. තම ගෘහස්ථ ආහාර අවශ්‍යතා සපුරාලීමට හැකි වූ බව කියා සිටියේ තුනෙන් එකක් (31%) පමණි.”
මේ අනුව වත්මන් පාලකයින් විසින් ආසන්න වශයෙන් ජනයාගෙන් තුනෙන් දෙකක්ම නිසි පෝෂණයක් නොලැබෙන තැනකට ඇද දමා ඇත. ජනයා කුස ගින්නේ ඉඳීම ගැන තුට්ටුවකට හෝ මායිම් නොකර මොවුන් මෙම අර්බුදය තුළ පවා තම මඩිය තරකර ගැනීම වෙනුවෙන් රාජ්‍ය සම්පත් කොල්ල කෑමට සියළු පියවර ගනිමින් සිටී.
මහින්ද රාජපක්ෂ හිතවතුන්ට 2019ට කලින් පැවති ආණ්ඩුව යටතේ ඔවුන් දේශපාලන පලිගැනීම්වලට ලක්වූ බව කියමින් රුපියල් මිලියන 117කට අධික වන්දියක් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියකට සූදානම බවත් ඒ වෙනුවෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් අගමැතිටත් බලපෑම කර ඇති බවත් විවිධ මාධ්‍යයන් විසින් වාර්තා කොට තිබුණි. ඒ හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ට මිලියන 24ක්, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට මිලියන 15ක්, අමාත්‍යාංශ ලේකම් වරයෙකුව සිටි අනුෂ පැල්පිටට මිලියන 14, කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේට මිලියන 6ක්, රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩට. මිලියන 4.2ක් ආදී වශයෙන් බව එම මාධ්‍ය විසින් අනාවරණය කොට තිබුණි.
මේ අතර අර්බුදය තුළ තෙල් ගෙන්වීමේදීද එක තෙල් නැවකින් ඩොලර් මිලියන හතර බැගින් ගසාකෑමේ පුවතක්ද මේ වනවිට ප්‍රසිද්ධියට පත්ව ඇත.
ආණ්ඩුව විසින් මේ පෙන්වා ඇත්තේ ඔවුන්ගේ ඇත්ත ස්වාභාවයයි. ඔවුන්ට ජනතාව ජීවත් කරවීමේ වුවමනාවක් හෝ හැකියාවක් හෝ නැත. ඔවුන් කරනුයේ ගෝලීය ව්‍යාපාරික වුවමනා ආරක්ෂා කර දෙමින්, තමන්ද සියළු ආකාරයේ වංචා හා දූෂණවල යෙදෙමින් ජනතා ධනය ගසා කෑමයි. මෙය පවතින ධනපති ක්‍රමයේ නිසඟ ලක්ෂණයයි. මෙම දුර්දාන්ත පාලකයින් අප විසින් පිටු දැකිය යුතුමය. එහෙත් ඒ තවත් එවැනි දුර්දාන්තයින් පිරිසකට ජනතාව තවත් අගාධයට දමීමට ඉඩ ඉතුරු කර නොවේ. ජනතාව ජීවත් කරවීම වෙනුවෙන් පවතින ආර්ථික දේශපාලන ක්‍රමයම වෙනස් කිරීමේ වගකීම අප හමුවේ ඇත.