1953 හර්තාලය හෙවත් අතැර දැමූ ලාංකීය විප්ලවය…

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි

අගෝස්තු 12 හර්තාල් සමරු දිනයයි. 1948 නිදහස ලැබීමෙන් පසු මේ දක්වා ලංකාව දේශපාලන අරගල ගණනාවක් හරහා ගමන් කොට ඇත. 1953 හර්තාලය ඉන් පළමුවැන්නයි. 1971 නැගිටීම, 1987-89 සටන්, 70 දශකයේ මැද භාගයේ පමණ සිට 2009 දක්වා පැවතුන උතුරු නැගෙනහිර සිවිල් යුද්ධය හා වර්තමාන ජන අරගලය අනෙක් ප්‍රධාන දේශපාලන අරගලයන්ය. 1953 හර්තාලයට මෙරට දේශපාලන අරගල අතර වැදගත් ස්ථානයක් හිමිව ඇත්තේ එය ලංකාව නිදහස ලැබීමෙන් පසු ඇති වූ පළමු විශාල පරිමාණයේ දේශපාලන අරගලය නිසා පමණක් නොව එය විසින් ඇතිකළ සමාජ දේශපාලන බලපෑම නිසාය. එය දෙවැනි වන්නේ මේ වනවිටත් ගමන් කරමින් ඇති ජන අරගලයට පමණි.

1952 මැයි මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් හිමිකර ගත් UNP ආණ්ඩුවට වැඩි කල් නොගොස් ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවිය. කොරියන් යුද්ධය අවසන් වීමත් සමග, එවකට තිබූ රටේ ප්‍රධානම අපනයනයනවල මිළ සීඝ්‍රයෙන් පහත වැටුණි. රබර් මිල 36% කින්ද, තේ මිල 10% කින්ද, පොල් මිල 40% කින්ද පහත වැටුනි. ප්‍රතිඵලය වූයේ 1950දී ලංකාව සතුව තිබූ රුපියල් මිලියන 951ක වෙළෙඳ අතිරික්තය, 1951දී රුපියල් මිලියන 345ක් දක්වා අඩුවී, 1953 වන විට රුපියල් මිලියන 200ක වෙළෙඳ හිඟයක් බවට පත් පරිවර්තනය වීමයි. 1952 ජනවාරි වන විට රුපියල් මිලියන 1,209ක්ව පැවති ලංකාව සතු විදේශ වත්කම් ප්‍රමාණය 1953 ජූලි වන විට රුපියල් මිලියන 676ක් දක්වා පහත වැටී තිබුණි. ඒ වන විට ලෝක වෙළදපොලේ සහල් මිල ඉහළ යමින් පැවතුනි. ඒ නිසා සහල් ආනයනය සඳහා ලංකාවට දැරීමට සිදු වූ වියදමද ඉහළ ගියේය.

ලංකාව 1950දී ලෝක බැංකුවේ සාමාජිකත්වය ලබාගැනීමෙන් පසු පළමු වරට එහි උපදෙස් ලබාගෙන තිබුණේ මෙම අර්බුදය අවස්ථාවේදී බව කියවේ. මහජන සුභසාධන කපාහැරීම, සමාජ ආරක්ෂණයක් නවතාලීම ආදිය ලෝක බැංකුව විසින් ලබාදුන් උපදෙස් අතර විය. 1552-53 අයවැය මගින් එවක මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන විසින් පළමු වරට ලංකාව තුළ ලෝක බැංකු උපදෙස් ක්‍රියාත්මක කරන යෝජනා ඉදිරිපත් කර තිබුණි.

ආණ්ඩුව ඉදිරි අයවැයෙන් දැඩි සහනාධාර කප්පාදුවකට යන බව 1953 ජූලි මුල වන විට පැහැදිලි විය. ජූලි 4 දින Ceylon Daily News පුවත්පතේ සිරස්තලයක් වූයේ “හාල් සහනාධාරය කැපෙයි. එහෙත් සලාකය දෙගුණ වේ” යන්නයි. සලාකයට දෙන හාල් සේරුවක් ශත 25 සිට 70 දක්වා වැඩි වනු ඇති බවද එහි දක්වා තිබුණි. ජූලි 10 දින Ceylon Daily News පුවත්පතේ දක්වා තිබුණේ පාසැල් දරුවන්ට දෙන ආහාර වේල එම පාසැල් වාරයෙන් අවසන් වන බවත් එය දරුවන් 750,000කට පමණ බලපාන බවත්ය.

අයවැයට කලින්ම ජූලි 21 දින හාල් මිල ඉහළ දමා තිබුණි. හාල් මිල ශත 25 සිට 70 දක්වා, එනම් තුන් ගුණයකින් පමණ වැඩි කෙරිණි. ඊට එරෙහිව, කොළඹ වරාය කම්කරුවන් ජුලි 21 දිනම පැය තුනක වැඩ නැවැත්වීමත් සිදු කළේය. එදිනම ප්‍රදේශ ගණනාවක දැවැන්ත මහජන විරෝධයක් හොඩ නැඟුණි. ඒ ගැන හර්තාලයේ නායකයෙකු වූ කොල්වින් ආර්. ද සිල්වා ලියා තිබුණේ “බලපිටිය හා අම්බලන්ගොඩ අතර රන්දොඹේ නම් ගමේ ස්ත්‍රී පුරුෂ සමූහයක් හාල් මිල වැඩි කිරීමට විරුද්ධත්වය පළ කිරීමක් වශයෙන් පාර හරහා වැතිරගෙන සියලුම රථවාහන අවහිර කළහ. ඔවුන් තර්ජනයෙන් විසුරුවා හැරීමට පොලීසියට හැකි නොවීය” යනුවෙනි.

ජුනි 22 වන විට මාදම්පේ, අකුරල, තොටගමුව යන ප්‍රදේශ වලටද ජුනි 23 දින බලපිටියටද ජූලි 24 දින කරන්දෙණිය, ඌරගහ සහ අහුන්ගල්ල යන ප්‍රදේශවලටද ජනතා විරෝධයන් පැතිරෙන්නට විය. වැල්ලවත්ත රෙදි මෝලේ කම්කරුවෝ ජූලි 23 දින වරුවක වැඩ නැවැත්වීමක් කළහ.

1953 වන විට ලංකාවේ වමේ පක්ෂ තුනක් විය. ඒ ලංකා සමසමාජ පක්ෂය (ලසසප), කොමියුනිස්ට් පක්ෂය (කොප) හා පිලිප් ගුණවර්ධන නායකත්වය දුන් විප්ලවකාරී සමසමාජ පක්ෂය (විසසප) යි. කොප හා විසසප ඒ වනවිට වෙනම සන්ධානගතව සිටිය. ලසසප විසින් හාල් මිල ඉහළ දැමීමට එරෙහිව ඒකාබද්ධ විරෝධයක් වෙනුවෙන් අනෙකුත් වමේ පක්ෂ හා වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කළ අතර එය අයවැය දින එනම් ජූලි 23 දින ඔවුන්ගේ පුවත්පත මගින් ප්‍රසිද්ධ කොට තිබුණි. එමඟින් කියා තිබුනේ වැඩවර්ජනයක් හා හර්තාලයක් සැලසුම් කොට ඇති බවත්, පොදු එකඟතාවයකින් ඉදිරියේදී දිනය තීරණය කරන බවත්ය. එම පුවත්පතේම කතු වැකියෙන් කියා තිබුණේ “මෙම අර්බුදයෙන් ගැලවීම වෙනුවෙන් රට තුළ මෙම ආණ්ඩුව වෙනුවට ධනපති විරෝධී ආණ්ඩුවක් ස්ථාපිත කළ යුතු යැයි ලංකා සමසමාජ පක්ෂය කියා සිටී. මේ වෙනුවෙන් කොමියුනිස්ට්  හා විප්ලවකාරී සමසමාජ පක්ෂ පෙරමුණට ශ්‍රී ලංකා සමසමාජ පක්ෂය සමඟ එක්සත් පෙරමුණකට එන ලෙස අපි ඉල්ලා සිටිමු” යනුවෙනි. එම අවස්ථාවේ ජනතාව තුළ තිබූ කැකෑරෙන විරෝධය හමුවේ එම ඉල්ලීම් මග හැර යාමට කොමියුනිස්ට් හා විප්ලවකාරී සමසමාජ පක්ෂ පෙරමුණට නොහැකි විය.

බලාපොරොත්තු වූ ලෙසම, ජූලි 23 අයවැය මගින් දුම්රිය ගාස්තු, තැපැල් ගාස්තු වැඩි කෙරිණි පාසල් දිවා ආහාරය නවතා තිබුනි. අනාථාධාරය අඩු කෙරුණි. ආහාර සහනාධාරයද 50%කින් පමණ අඩු කළේය. ජේ. ආර්. ජයවර්ධනට ජූලි 23 දින පාර්ලිමේන්තුව තුළ එම අයවැය කියවීමට සිදු වුයේ පාර්ලිමේන්තුවෙන් පිටත ගෝල්ෆේස් පිටියේ එම අයවැය යෝජනාවලට එරෙහිව අති දැවැන්ත රැලියක් පැවැත්වෙද්දීය. එන්. එම්. පෙරේරා, පීටර් කේනමන්, චෙල්වනායගම් මෙන්ම විපක්ෂ නායක බණ්ඩාරනායක හා ඉන්දියානු දෙමළ කොංග්‍රසය වෙනුවෙන් රාමලිංගම් යන අය එම රැලිය අමතා ඇත. එය කම්කරු බලය, ජාතික සමගිය හා විපක්ෂයේ එක්සත් කම ප්‍රදර්ශනය කරමින් UNPයට අභියෝග කළ දැවැන්ත රැළියක් විය. රැළිය අවසන් වීමෙන් පසු ඊට සහ සහභාගි වූ පිරිස් පාර්ලිමේන්තුව දෙසට යාමට උත්සාහ කරද්දී පොලීසිය එම පිරිස්වලට පහරදී විසුරුවා හැර තිබුණි. එම අවස්ථාවේදී ජනතාව පොලීසිය සමග ගැටී තිබුණි.

ඊළඟ සති අන්තයේ රටේ විවිධ ප්‍රදේශවල විරෝධතා රැලි පැවැත්වුණි. ජූලි 25 දින බදුල්ල, ජූලි 26 දින යාපනයේ චුන්නාකම්, කෝපායි, කළුතර, නුවර, රුවන්වැල්ල ආදී වශයෙන් එම විරෝධතා සංවිධානය කොට තිබුණි.

ජූලි 25 දින රැස්වූ සමසමාජ වෘත්තීය සමිති අගෝස්තු 6 දිනට වැඩවර්ජනයක් සඳහා දින නියම කොට තිබුණි. පසුව ජූලි 29 දින, කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති ගනු ලැබු තීරණයක් අනුව මෙම දිනය අගෝස්තු 12 ලෙස යොදා ගනු ලැබුණි. ශ්‍රීලනිප හා ඉන්දියානු දෙමළ කොංග්‍රසය වැඩ වර්ජනයට සහාය දීමෙන් වැළකුණි. විරෝධතාවය කැඳවීමට අත්සන් තැබුවේ ලංකාවේ වමේ පක්ෂ හා ඒවාට සම්බන්ධ වෘ ත්තීය සමිති පමණි. සමසමාජය වෙනුවෙන් ලෙස්ලි ගුණවර්ධන, කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් දොස්තර වික්‍රමසිංහ, විසසප වෙනුවෙන් පිලිප් ගුණවර්ධන යන තිදෙනාද, මෙම පක්ෂ තුනේ වෘත්තීය සමිති සම්මේලන වල සභාපතිවරුන් වූ එන්. එම්. පෙරේරා (ලසසප), පිටර් කෙනමන් (කොප), සී. හික්කඩුවගේ (විසසප) ද, ලංකා කම්කරු සංගමයේ ඒ. ඊ. ගුණසිංහ (කණිෂ්ඨ) සහ ලංකා වෙළෙඳ සේවක සංගමයේ බාලා තම්පෝ යන අය එයට අත්සන් කරමින් මෙම දිනය ජාතික විරෝධතා දිනයක් ලෙස සලකන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටිය.

එතැන් සිට වූ සිදුවීම් ගැන කොල්වින් ආර්. ද සිල්වා ලියා ඇත්තේ මෙසේය.

“සටනේ බුර බුරා නැගෙන උණුසුම වටපිටාවෙන් දක්නට ලැබුණේ 10 වනදාත් 11 වනදාත්ය. එක් ලක්ෂණයක් වූයේ පවත්වන ලද රැස්වීම් වල විශාලකමය. අනෙක වාම පක්ෂ වලින් ප්‍රසිද්ධියට පමුණුවන ලද පත්තර අධික ලෙස විකිණී යාමයි. …එම සතිය තුළ අපගේ පත්තර පිටපත් ලක්ෂයක පමණ සංඛ්‍යාවක් ජනතාව හමුවට පැමිණියේය.

“අගෝස්තු 11 වනදාම සවස නුවර පොලීසියත් පේරාදෙණිය විශ්වවිද්‍යාල ශිෂ්‍යනුත් අතර ඝට්ටනයක් ඇති විය. …අගෝස්තු 11 වනදා ජනතාවගේ සටන පිළිබඳ තවත් ජයග්‍රහණයක් අසන්නට ලැබුණි. සවුත් වෙස්ටර්න් කොම්පැනියේ කම්කරුවෝ පසුදා වැඩට නොයාමට තීරණය කළහ. …ලංකාවේ ලොකුම බස් අධිපතියාට අගෝස්තු 12 වනදා බස් ගමනාගමනය කරවීමට නොහැකි බව ඒකාන්ත සත්‍යයක් විය. එදිනම මධ්‍යම රාත්‍රියේ ජනතාවගේ ඊළඟ විශාල ජයග්‍රහණය අසන්නට ලැබුණි. දෙමටගොඩ රනින් ෂෙඩ් සේවකයෝ වැඩ නැවැත්වූහ. මෙය 1947 දීවත් සිදු නොවූවකි.

“අගෝස්තු 12 වනදා උදාවිය. …වරායේ වැඩ නැවතුණි. රත්මලාන දුම්රිය වැඩපළේ වැඩ නැවතුණි. විදුලි රථ සේවය නැවතුණි. කොළොන්නාව ෆැක්ටරියේ වැඩ නැවතුණි. ඩී. අයි. වඩු කර්මාන්තශාලාවල වැඩ නැවතුණි. වැල්ලවත්ත රෙදි මෝලේ වැඩ නැවතුණි. වෝකර් කර්මාන්තශාලාවල වැඩ නැවතුණි. …ගිනිකූරු කර්මාන්තශාලාවල වැඩ නැවතුණි. …ටකර් කොම්පැණියේ සහ තවත් වැඩපොළවල වැඩ නැවතුණි. මෙම වැඩ නැවැත්වීමේ සටන් වේගය පෙරළීගෙන යන තරංග මාලාවක් මෙන් විය.

“එකෙනෙහිම කඩ සාප්පු සහ අනෙක් ආයතන වැසෙන්නට විය. රත්මලානේ සිට පිටකොටුව දක්වාත්, පිටකොටුවේ සිට ග්‍රෑන්ඩ්පාස් දක්වාත්,  ග්‍රෑන්ඩ්පාස් සිට බොරැල්ල දක්වාත්, බොරැල්ල සිට පාමංකඩ දක්වාත් විවෘත වුණ එකද කඩයක්, එකද සපුවක් නොවීය. …වැසීමට මැලි වූ කඩ යෝධ පෙළපාලි මගින් වැසිණි.

“දවස ගෙවී යත්ම තත්වය වෙනස් විය. …මහජනයාගේ නොසන්සුන් බව ද වෙනස් විය. විසිර යාමට කැමැත්තවුන්ට විසිරී යාමට නොහැකි වූ නිසාත්, විසිරී යාමට නොකැමැත්තවුන් ඉඩ තිබියදීත් විසිරී නොගිය නිසාත් පිටකොටුවේ බැටන් පහර දීමක් සිදුවිය. අවසානයේදී පදික වේදිකාවේ වූ කොන්ක්‍රීට් කඩා ගනිමින් හා අවට තිබුණු ගඩොල් කැට අහුලා ගනිමින් මහජනයා පොලිසියට ආපසු පහර දුන්හ. ජනතාව කිසි බියක් නොදක්වා පහරට පහර ගැසීම මෙදින සැලකිය යුතු ලක්ෂණයක් විය. පදික වේදිකාවෙන් ඉවත්වීමට මැළි වූ එඩ්වින් වෙඩි උණ්ඩයට ළය දුන්නේ මෙහිදීය. …කිරුළපන පාලමට නුදුරින් පාර හරහා තනාගත් බැරිහේඩ් එකකට පිටුපසින් සිටි ජනතාව අවිගත් පොලිස් භටයන් අසූ දෙනකු සමඟ සටනක යෙදුණි. කොළඹ නගරයට ඇතුළු වන සෑම දොරටුවක්ම අහුරා තිබුණි. කොළඹත් අනෙක් ප්‍රදේශත් අතර තිබුණු සෑම පණිවිඩ හුවමාරුවක්ම කපා හැර තිබුණි. මෙයට ඉලක්ක වූයේ ගුවන් විදුලිය පමණි.

“කොළඹින් බැහැරද මෙයට වඩා වෙනස් නොවීය. දුම්රිය හා බස් සේවය ක්‍රියා විරහිත විය එකද ලොරියක් නාවේය. ජනතාව වීදිවල පෙලපාලි දැක්වූහ. ඔවුහු පොලීසිය සමග පොර ඇල්ලූහ. නොවසා තිබූ සියලූ කඩසාප්පු වැස්සූහ. බස්නාහිර හා නිරිතදිග පළාත්වල මුහුදු තීරයේ දකුණේ ගිංතොට සිට මීගමුව දක්වාද, උතුරින් වෙන්නප්පුව දක්වාද, කොලඹ සිට අවිස්සාවේල්ල හරහා රත්නපුරය තෙක් ඇති ප්‍රදේශවලද හර්තාල් සටන සාර්ථක අන්දමින් ජයග්‍රහණය කළේය. උතුරු පළාතේ යාපනය අර්ධද්වීපයේද මෙබඳුම තත්ත්වයක් ඇතිවිය.

“දවසේ අවසානය වන විට, ඇති වූ ගැටුම් නිසා 61 දෙනකු තුවාල ලබා, 9 දෙනකු තම ජීවිත පූජා කොට තිබුණි. එම නවදෙනා හර්තාල් විරුවන් ලෙස ඉතිහාසයට එක්ව ඇත.”

“කටමැත දෙඩූ යූඑන්පී ආණ්ඩුව බලාපොරොත්තු නොවූ පරාජයකට මුහුණ පෑවේය. ධනපති යූඑන්පී ආණ්ඩුව කලබල විය. මෙදින කැබිනට් මණ්ඩලය රැස්වූයේ කොළඹ වරායේ නවතා තිබුණු බ්‍රිතාන්‍ය යුධ නෞකාවක් වන එච්. එම්. එස්. නිව්ෆ්වුන්ඩ්ලන්ඩ් හිය” යනුවෙන් හර්තාලයේ සාර්ථකත්වය ගැන කොල්වින් ආර්. ද සිල්වා ලියා ඇත.

පැහැදිලිවම ආණ්ඩුව බිඳ වැටීමට ආසන්නව තිබුණි. මියගිය සහෝදරවරුන්ගෙන් පන්නරය ලබා ගනිමින් ජනතාව වඩ වඩාත් අධිෂ්ඨාන සහගතව පෙරට එමින් සිටියහ. කම්කරුවන්ට හා ජනතාවට වුවමනා වූයේ ජූලි 23 දින සමසමාජය විසින් තම පුවත්පතෙන් කියා තිබූ පරිදි ධනපති විරෝධී ආණ්ඩුවක් ස්ථාපිත කිරීමටය. තව දිනක් හෝ දෙකක් එම හර්තාලය පෙරට ගියේ නම් ආණ්ඩුව පමණක් නොව ධනපති ක්‍රමයම බිඳ වැටීම වැළැක්විය නොහැකි විය. එහෙත් නැඟ එන ජන බලය හමුවේ යූඑන්පී ආණ්ඩුව මෙන්ම වාමාංශික නායකයින්ද බියට පත්ව තිබුණි.

මෙය ඕනෑම ප්‍රතිසංස්කරණවාදී නායකත්වයක ලක්ෂණයයි. කොමියුනිස්ට් හා විප්ලවකාරී සමසමාජ පක්ෂ පෙරමුණ ඒ වනවිටත් ශ්‍රීලනිප වටා කැරකෙමින් තිබුණි. 1952දී සමසමාජය හා ශ්‍රීලනිප දෙකටම පාර්ලිමේන්තුවේ තිබුණේ සමාන ආසන ගණනකි. එහෙත් විපක්ෂ නායකයා තෝරා ගැනීමේදී කොමියුනිස්ට් පක්ෂය තම ඡන්ද බණ්ඩාරණායකට ලබාදීම නිසා බණ්ඩාරණායකට 1952 විපක්ෂ නායක වීමට හැකි විය. යම් පමණකට හෝ විප්ලවවාදී වචන උච්ඡාරණය කළ  සමසමාජයද 1953 වන විට ප්‍රතිසංස්කරණවාදී මාවතට පිවිස තිබුණි.

තමන් විසින් කැඳවූයේ එක් දින විරෝධතාවයක් පමණක් බව කියමින් ආපසු කම්කරුවන්ට ආපසු වැඩට යන ලෙසත්, ජනයාට විරෝධය අවසන් කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටීය. ජනතාව අන්දමන්ද විය. ජීවිත පරිත්‍යාගයෙන් ඔවුන් සටන් වැදුනේ රටේ ධනපති විරෝධී පාලනයක් ඇති කිරීමටය. කොල්වින් ආර්. ද සිල්වා විසින්ම මෙසේ කියා තිබුණි: “1953 අගෝස්තු නැගිටීම ධනේශ්වර පාලනයට එරෙහිව ලංකා ඉතිහාසයේ ඇතිවූ පළමු මහජන නැගිටීමයි. එය ලංංකික ජාතික විමුක්තියේ සහ සමාජ විමුක්තියේ මෙවලම වන කම්කරු-ගොවි සන්ධානයේ මුද්‍රාව දරයි. එය ජනතාව විසින් බලය අල්ලා ගැනීමට සහ කම්කරු ගොවි ආන්ඩුවක් ඇති කිරීමට මග පෙන්වන ලංකාවේ පළමු මහා නැගිටීමයි.”

එසේ ලියූ නායකයින්ම හර්තාලය නවතන ලෙස ඉල්ලා සිටීම කෙතරම් ඛේදාන්තයක්ද? එවක සමසමාජයේම නායකයෙක්ව සිටි එඩ්මන්ඩ් සමරක්කොඩිට අනුව: “අරගලයට බට කම්කරුවන් හා ජනතාව බලාපොරොත්තු වූයේ හුදු එක් දින විරෝධතාවයකින් පසු, පසුදින ආපසු වැඩට යාමක් නොවේ. ඔවුන් තම වෛරයට ලක් වූ යූඑන්පී රජය පෙරලා දැමීමට සූදානමින් සිටියෝය. ජනතාවගේ මෙම සෘජු ක්‍රියාකාරීත්වය පසු දිනද පැවතුණි. අරගලය තව දින කිහිපයක් පවත්වා ගැනීමට සියලු හැකියාවන් පැවැතුනි. එහෙත් කම්කරුවන් හා අනෙක් ජන කොටස් තුළ නිසැක ලෙස තිබූ උවමනාවන් නොතකමින් සමසමාජ නායකත්වය එය එක් දිනකට පමණක් සීමා කිරීමට තීරණය කළ අතර, එමගින් අරගලය ඉදිරියට ගෙන යාම වැළකී ගියේය.” ඉදිරියට යමින් තිබූ ලාංකීය විප්ලවය නවතා දැමුණි.

1953 හර්තාලය හා වර්තමාන ජන අරගලය අතර සමානකම් මෙන්ම අසමානකම්ද පවතී. අවස්ථා දෙකේදීම අරගලයට හේතු වූයේ ධනපති ආර්ථික අර්බුදයන් නිසා ජනතාව පීඩාවට පත්වීමයි. අවස්ථා දෙකේදීම ධනපති පාලකයින් විසින් අර්බුදයේ මුළු බර ජනතාව පිට පවවාලීය. අවස්ථා දෙකේදීම එම අර්බුදයන්ට මූලික හේතුව වී තිබුණේ අධිරාජ්‍ය මූල්‍යායතන හෙවත් ලෝක බැංකුව හා IMF ලබාදෙන උපදෙස් ක්‍රියාවට නැංවීම නිසා ඇතිවූ විපාකයන්ය. 1953දී එය ආර්ම්භ වූවා පමණි. මේ වනවිට 1977 සිට දශක හතරහමාරක් පුරා ඒවා අඛණ්ඩව ක්‍රියාවට යොදවමින් තිබුණි.

ප්‍රධානතම අසමානකම නම්  1953 හර්තාලය කම්කරු පන්තිය පෙරටු කරගත් අරගලයක් වීමයි. එය ආරම්භ වූයේම පන්ති ව්‍යාපාරය තුළිනි. ඒ පිළිබඳ ප්‍රකාශය කරනු ලැබුවේද ප්‍රධාන කොටම ප්‍රධාන වෘත්තීය සමිති මධ්‍යස්ථානවල නායකයින්ගේ අත්සන් වලිනි. අරගලය උත්කර්ශයට නංවනු ලැබුවේ වැඩ නවත්වා එයට සහභාගි වූ කම්කරුවන් විසිනි. එදා හර්තාලයේ ජයග්‍රහණයට හේතු වූයේද කම්කරු පන්තියේ එම දායකත්වයයි. රාජ්‍ය යන්ත්‍රය මුළුමණීන්ම නැවතී තිබීම එයට හේතුවයි. එහෙත් මෙවර සිදුවූයේ එහි ප්‍රතිවිරුද්ධයයි. පන්ති ව්‍යාපාරය වැඩ වර්ජනය කොට එය සහභාගි වීමක් දක්නට නොලැබුණි. 1953දී ප්‍රතිසංස්කරණවාදී නායකයන් වැඩ වැරූ කම්කරුවන්ගෙන් පසු දින ආපසු වැඩට යන ලෙස ඉල්ලා සිටීය. මෙවර ව්‍යවස්ථා රාමුව තුළට කොටුවී සිටි ‘වාමාංශික’ නායකයෝ වැඩවර්ජනයක් ඇතිවීමම වළකා දැමූහ. මේ නිසා ජනතාව මාස ගණනක් පාරේ අරගල කළද රාජ්‍ය යන්ත්‍රය ඇණහිටීමක් සිදු නොවීය.

1953දී ජනතාව වීදි බසිනුයේ දේශපාලන නායකත්වයක් සහිතව ධනපති ප්‍රමයට විකල්ප දේශපාලන අදහස් දරා ගනිමිනි. හර්තාලයට කලින් සතියේ වාමාංශික පුවත්පත් ලක්ෂ ගණන් අලෙවි වීම පෙන්නුම් කළේ එයයි. එකී නායකයන් ජනයාගේ බලපොරොත්තු පාවා දීම තිබියදී එදා කම්කරුවන් හා ජනතාව විකල්ප දේශපාලන අදහස්වලින් ස්න්නද්ධව සිටි බව බැහැර කළ නොහැකිය.  එහෙත් මෙවර අරගලය විසින් දිගින් දිගටම දේශපාලන නායකත්වයන් මෙන්ම දේශපාලන අදහස්ද ප්‍රතික්ශේප කළේය. තරුණයන්ට පිළිගත හැකි හෝ ආකර්ශණීය හෝ වන විකල්ප දේශපාලන පක්ෂයක් දක්නට නොලැබීම එයට හේතුවක් විය හැකිය. එහෙත් එම බරපතල දුර්වලකම විසින් ව්‍යවස්ථා රාමුවට අරගලය සිර කරමින් ධනපති ක්‍රමය පවත්වා ගැනීම වෙනුවෙන් හුස්ම ගැනීමේ පහසුකම ඇති කර ගන්නට ධනපති ක්‍රමයට හැකි විය.

1953 හර්තාලය ජාතික මට්ටමේ විරෝධතාවයකි. එයට උතුරත් දකුණත් එකසේ එයට සහභාගි විය. මෙවර අරගලය උතුරු දකුණු සමඟිය ගැන කතා කිරීම හා ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහිව කතාකිරීම ඉතා ධනාත්මක වුවද. උතුරු නැගෙනහිර හෝ වතුකරයේ ජනයාගේ සැළකිය යුතු සහභාගීත්වයක් එයට ලබාගත නොහැකි විය.

1953 හර්තාලය යනු පැහැදිලි පන්ති සටනක් විය. ධනපති පන්තිය මුළුමණින්ම හර්තාලයෙන් ඉවත්ව සිටියේය. වාම වෙස් මුහුණු පැළඳ සිටි බණ්ඩාරණායකට පවා ඉන් පළා යාමට සිදු විය. එහෙත් මෙවර අරගලය තුළ පන්ති විඥානයක් දක්නට නොතිබුණි. ඒ තුළ ධනපති පන්තියට සම්බන්ධ විවිඩ කොටස් ධනපති පන්‍තියේ වුවමනාවන් රැක ගැනීම වෙනුවෙන් එයට සහභාගි වී සිටීය.

1953 හර්තාලය පන්ති සටනක් ලෙස හඳුනාගෙන තිබුණෙන්, පන්ති සතුරා විසින් තම අරගලය මර්ධනය කිරීමට ප්‍රචණ්ඩත්වය භාවිතා කරන විට ඉන් ආරක්ෂාවීමට පියවර ගත යුතු බව ඔවුන් දැන සිටීය. හර්තාලය (එක් දිනක්) තුළ මිය ගිය 9 දෙනා හර්තාල් විරුවන් ලෙසට ඉතිහාස ගත වන්නේ ඒ නිසාය. එහෙත් මෙවර අවිහිංසාවාදී අරගලයක් බව කියමින් පන්ති සතුරාට නිදහසේ මර්ධනය දියත් කිරීමට දොරටු විවර කොට තිබුණි.

වර්තමානයේ දිග හැරෙන අරගලය නව අවධියකට එළඹෙමින් ඇති මේ මොහොතේ 1953 හර්තාලය පිළිබඳ අධ්‍යයනය කිරීමත්, ඉන් ගත යුතු පාඩම් ඉගෙන ගැනීමත් අරගපයේ සැබෑ ක්‍රියාකාරීන්ට බෙහෙවින්ම වැදගත් වේ. මෙම අරගල දෙකම විසින් පෙන්වා දෙන පොදු පාඩම නම්, ධනපති ක්‍රමය විසින් නැතිකර දමන ජනතා වුවමනාවන් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් මෙම ක්‍රමය පෙරළා දැමීමට නායකත්වය දිය හැකි සැබෑ විප්ලවවාදී පක්ෂයක අවශ්‍යතාවයයි. එවැන්නක් ගොඩනැඟීම වෙනුවෙන් පියවර ගැනීම අප ඕනෑම අයෙකුගේ දවසේ වගකීමයි.

Loading