රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි
මේ වනවිට රටේ පවතින අර්බුදයට විසඳුමක් ලෙස මහ මැතිවරණයකට යාමට යෝජනා කරන පිරිස් බොහෝය. ඒ අතර පවතින රාජ්‍ය ආරක්ෂා කරගත යුතු යයි මොරගාන හඬක්ද අපට ඇසුණි. ධනපති පාලකයන්ගේ පසුපස ලෙවකන අවස්ථාවාදී තක්කඩියන්ට පිළිතුරු දීමට අප තුළ කිසියම්ම හෝ වුවමනාවක් නැතත් රාජ්‍ය, මහා මැතිවරණය වැනි දේ පාලන ක්‍රමයක අනිවාර්‍ය අංග ලෙසට, වත්මන් අධ්‍යාපන ක්‍රමය විසින් ජනතාව තුළට කාවද්දා ඇති මිත්‍යාව නිසා මෙවැනි ගංකබර කතාවලින් ව්‍යාකූලත්වයට පත්වන කොටස්ද අප අතර සිටී. එම නිසා රටේ පවතින පාලන ව්‍යුහය කුමක්ද? එය ගොඩනඟා ඇත්තේ කුමක් වෙනුවෙන්ද? පාලකයින් හා ඔවුන්ගේ ආරක්ෂකයින් විසින් මිත්‍යා ප්‍රචාරයන් ගෙන යන්නේ ඇයිද යන කරුණු අප විසින් පැහැදිලි කළ යුතුව ඇත.
අද ලංකාව තුළත් ලෝක පරිමාණවත් ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ ගනු ලබන්නේ ජනතා අවශ්‍යතා අනුව නොව ලාභ ඉපයීම මත පදනම්වය. පුද්ගලික දේපළ ක්‍රමය පවත්වා ගැනීම, රිසි සේ ප්‍රාග්ධනය ආයෝජනයට ඉඩ ලබාදීම, එම ආයෝජනවලින් ලාභ ලබා ගැනීම්ට ඉඩ ප්‍රස්ථා සැළසීම, එසේ ලාභ ලබා ගැනීම වෙනුවෙන් අඩු මිලට ශ්‍රමය ලබා ගැනීමටත්, අවශ්‍ය පරිදි ශ්‍රමය සූරා කෑමටත් පහසුකම් සැපයීම, රටේ සම්පත්වල පාලනය වෙළඳපොල බලවේග වලට නතු කිරීම යන ඒවා වත්මන් සමාජ ක්‍රමයේ මූලික ලක්ෂණ වේ. ඕනෑම රටක ආණ්ඩු විසින් සිදු කරන්නේ ඉහත කරුණු වෙනුවෙන් වුවමනා නෛතික හා පරිපාලන ව්‍යුහය සැකසීමයි.
මේ වනවිට ගෝලීය ප්‍රාග්ධනයේ පාලනය ලෝකයේ බලගතුම මූල්‍යයතන හා සමාගම් අතළොස්සක් අතට පත්ව ඇති අතර ලෝකය පුරා ආර්ථික ප්‍රතිපත්ති සැකසෙන්නේ එකී ගෝලීය සමාගම්වල හා ඒවා අයත් අධිරාජ්‍යවාදී රටවල අවශ්‍යතා අනුවය. ලෝක බංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු අන් කිසිවක් නොව මෙකී ගෝලීය සමාගම්වල හා අධිරාජ්‍යවාදී රටවල ආර්ථික අවශ්‍යතා වෙනුවෙන් අනෙකුත් රටවල සම්පත් කොල්ලකෑමට පිහිටුවා ඇති ආයතනයි. පසුගිය ආණ්ඩු විසින් ගනු ලබූ, අද ලංකාව මුහුණ දෙන ව්‍යසනයට හේතු වූ ක්‍රියාමාර්ග එනම්, රුපියල අවප්‍රමාණය කිරීම, වෙළඳාම සම්බන්ධයෙන් ඇති නියාමනයන් ඉවත් කිරීම, මිල පාලන සහ සහනාධාර අවසන් කිරීම, අපනයන මූලික ආර්ථික ප්‍රතිපත්ති ඇති කිරීම, පෞද්ගලීකරණය සහ නිදහස් සෞඛ්‍ය සේවය සහ නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීම ආදී සියල්ල සිදු කළේ එකී ආයතන වල නිර්දේශ අනුවය.
මේ වනවිට ලංකාව බංකොලොත්භාවයට ඇද දමා ඇති ණය අර්බුදය නිර්මාණය වූයේද මෙකී ප්‍රතිපත්ති හේතුවෙනි. ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමට කියමින් ණය ගැනීම වෙනුවෙන් දියුණු වෙමින් පවතින රටවල් තල්ලු කරනු ලැබුවේ මෙම ආයතන විසිනි. ලංකාව වැනි සංවර්ධනය වෙමින් පැවති රටවල් විශාල වශයෙන් ණය ලබා ගැනීම සඳහා පෙළඹවීමට ඔවුන් මුලින් අඩු පොලී අනුපාතයකට ණය ලබා දෙන ලදී. දේශපාලනඥයන් තම සුඛ විහරණයට හා සුදු අලි ව්‍යාපෘති සඳහා මුදල් නාස්ති කළද මෙම ආයතන ඒ ගැන ගැන තැකීමක් නොකරන ලදී. මෙම ව්‍යාපෘති වලට වුවමනා භාණ්ඩ, තාක්ෂණය හා අනෙකුත් සේවාවන් ලබා ගනු ලැබුවේද දියුණු රටවලිනි. ඒ හරහා ලබදුන් ණය මුදලින් 80%-90% පමණ දියුණු රටවලටම ආපසු ගිය අතර ණය ලබාගත් රටවලට මුළු ණය මුදල වෙනුවෙන්ම වාරික හා පොලී ගෙවීමට සිදුවිය. පසුව ණය ගෙවීම වෙනුවෙන් තවත් ණය ලබා ගැනීම වෙනුවෙන්ද සංවර්ධනය වෙමින් පැවති රටවල් තල්ලු කර දමනු ලැබීය. ලංකාව අද මුහුණ දෙන අර්බුදයට ඇද දමා ඇත්තේද එම ක්‍රියාවලියයි.
මේ සියළු කරුණු අනුව වත්මන් අර්බුදය ඉතා පැහැදිලිවම රටේ ආර්ථික දේශපාලන ක්‍රමය නිසා ඇති වුවක් බව සක්සුදක් සේ පැහැදිලිය. වත්මන් පාලක නඩය අනිවාර්‍යයෙන්ම එළවා දැමිය යුතුය. ඒ පිළිබඳ විවාදයක් නොමැත. ඒ සමඟම හුදු පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් පාලනයෙන් ඉවත් කිරීමෙන් පමණක් අද මෙරට මුහුණ දෙන දැවැන්ත ව්‍යසනයට විසඳුමක් ලබාගත නොහැකි බව අප සිහි තබා ගත යුතුය. මක් නිසාදයත් පාලකයන් නිර්මාණය කරන්නේ පවතින ආර්ථික දේශපාලන ක්‍රමය වීම නිසා, එක් මුහුණක් හෝ කිහිපයක් ඉවත් කරන විට මෙම ක්‍රමය විසින් ඔවුන්ට ගැලපෙන තවත් මුහුණු සොයා ගන්නා නිසාය. පවතින ක්‍රමය වෙනස් නොකරන තාක් කල් දැන් සිටිනවාක් වැනිම ජනතා ද්‍රෝහී රැලක් රටේ බලයට පැමිණීම වලක්වා ලිය නොහැකිය.
පවතින අර්බුදය ආර්ථික දේශපාලන ක්‍රමය නිසා ඇති වූවක් බැවින් එම ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් අප ස්ථිරසාරව පෙනී සිටිය යුතු වෙමු. පවතින ක්‍රමය වෙනස් කොට ඒ වෙනුවට අප ගොඩනැගිය යුතු ක්‍රමය කුමක්ද යන්න සාකච්ඡා කළ යුත්තේ මෙතැනදීය
ඕනෑම පාලන ව්‍යුහයක් ගොඩ නැඟෙන්නේ එම ක්‍රමයේ ඇති වුවමනාවන් සපුරාලීමටය. ඉතිහාසයේ විවිධ යුගවලදී විවිධ පාලන ක්‍රම තිබී ඇත්තේ එම යුගයේ අවශ්‍යතාවයන් මත පදනම්වය. ධනපති ක්‍රමය ස්ථාපිත වීමෙන් අනතුරුව එහි උවමනාවන්ට ගැලපෙන සේ විකාශනය වූ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හඳුන්වන වත්මන් පාලන ක්‍රමය ලොව පුරා තහවුරු කරන ලදී. අද ලංකාවේ ඇති පාර්ලිමේන්තුව, විධායක ජනාධිපති ධුරය ඇතුළු ආයතන ස්ථාපිත කර ඇත්තේද ඒ අනුවය.
ඒ අනුව ලංකාවේ වත්මන් පාලන ව්‍යුහය සකස්කොට ඇත්තේ කලින් කියූ ලෙස අධිරාජ්‍යවාදී වුවමනාවන්ට ඉඩ දෙමින් ලාභය මුල් කරගත් ක්‍රමය පවත්වාගෙන යාමටත්, එහිම කොටසක් ලෙසින් ගෝලීය ප්‍රාග්ධනයට පහසුකම් සැළසීමටත්, අඩු මිළට ශ්‍රමය ලබා ගැනීමටත්, ශ්‍රමය සූරා කෑමටත්, රටේ සම්පත් කොල්ලකෑමටත් වුවමනා පසුබිම රට තුළ ගොඩ නැඟීමටත්ය.
වර්තමානයේ, රාජ්‍ය ලෙසින් හඳුන්වන්නේ ධනපති ක්‍රමයේ වුවමනාවන්ට අනුව ගොඩනඟා ඇති එකී පාලන ව්‍යුහය හා එම පාලනයේ පීඩාවන් දරාගත නොහැකිව එයට එරෙහිව නැඟී සිටින ජනතාව මර්ධනය කිරීම වෙනුවෙන් සකස් කර ඇති රජයේ පාලනය යටතේ පවතින මර්ධන යන්ත්‍රයයි. හමුදා හා පොලීසි අයත් වන්නේ එම මර්ධන යන්ත්‍රයටයි. ඒ අනුව අද මගේ රාජ්‍ය මට ඕනෑ යනුවෙන් යටිගිරියෙන් කෑ ගසන තක්කඩියන් එසේ කෑ ගසන්නේ ධනපති වුවමනාවන් මත ගොඩ නඟා ඇති, ධනපති වුවමනාවන් ඉටුකරන, ඉන් පීඩාවට පත්ව එයට එරෙහිවන ජනයාට ලේ වැකි මර්ධනය මුදා හරින ධනපති රාජ්‍ය යන්ත්‍රය බේරා ගැනීම වෙනුවෙනි.
මැතිවරණයකදී සිදු කරන්නේ යම් නිශ්චිත කාලයකට මෙම රාජ්‍ය බලා කියා ගන්නා පුද්ගලයින් තෝරා පත් කර ගැනීමයි. විසින් ප්‍රංශයේ සිවිල් යුද්ධය නමැති කෘතියේදී මාක්ස් කියා තිබූ අදහස් සම්පිණ්ඩණය කරමින්, ලෙනින් විසින් ඔහුගේ රජය හා විප්ලවය නමැති කෘතියේදී මෙසේ කියා තිබුණි. “සෑම වසර කිහිපයකට වරකදීම, පීඩිතයාට තමන්වම පීඩාවට පත් කරමින් පීඩක පන්තිය නියෝජනය කරන්නේ කවුරුන්ද යන්න තීරණය කිරීමට ඉඩ දෙනු ලැබේ.” මහ මැතිවරණයකදී සැබෑවටම සිදුවන්නේ මෙයයි. මහ මැතිවරණයක් පවතින අර්බුදයට කුමනම හෝ විසඳුමක් නොවන බව අප සැම විටම කියා සිටින්නේ ඒ නිසාය. මීළඟට පවත්වන මැතිවරණයකදීද දැනට ඉන්නා තක්කඩියන් නැවත පත් නොවන බවට ඇති සහතිකය කුමක්ද?
මෙම කරුණු ජනතාවගෙන් වසන් කොට ජනතාව දේශපාලනයෙන් ඉවත්කොට තැබීම මෙම ක්‍රමයේ ලක්ෂණයයි. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය යනුවෙන් දක්වයි. එහෙත් එම ව්‍යවස්ථාවේම ඊළඟ වගන්තියෙන් කියා ඇති අන්දමට ජනතාවට එම පරමාධිපත්‍ය ක්‍රියාත්මක කළ හැක්කේ ජනාධිපතිවරණයකදී, මහ මැතිවරණයකදී හෝ ජනමත විචාරණයකදී චන්දය ලබා දීමෙන් පමණි. ඒ අනුව ජනතාවට දේශපාලනය හෝ රටේ ආර්ථිකය ගැන තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් මැදිහත් වීමට හැකි සෑම අවකාශයක්ම වළකා ඇත. එම තීන්දු තීරණ ගනු ලබන්නේ විධයක ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව විසිනි. අවම වශයෙන් තමන් පත්කර ගත් නියෝජිතයන් තමන්ට වුවමනා තීන්දු තීරණ නොගන්නේනම්, ඔවුන්ව නැවත කැඳවීමේ බලයක් හෝ ජනතාවට නොමැත.
අපට අවශ්‍ය කරන්නේ මෙසේ ජනතාව ගොනාට අන්දවා ජනතාව දේශපාලනයෙන් හා ආර්ථික තීන්දු ගැනීමෙන් වළකන ක්‍රමයක් නොව ජනතාව සක්‍රියව තම ආයතන, තම කර්මාන්තය හා තම ප්‍රදේශය වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට මැදිහත් කරගත හැකි පාලන ව්‍යුහයකි. නැවත කැඳවීමේ බලයට යටත්ව, නිශ්ච්ත කාලයකට, ආයතනයක (කර්මාන්තශාලා, බැංකු, ව්‍යාපාර හා සේවා සපයන ආයතන ඇතුළත්) වැඩ කරන සියළු දෙනාගේ චන්දයෙන් තේරී පත්වන නියෝජිත කමිටුවකට ආයතනවල සමස්ත පරිපාලනය භාර කළ යුතුය. ගොවි, ධීවර වැනි ක්‍ෂෙත්‍ර වෙනුවෙන් එවැනිම ගොවි කමිටු, ධීවර කමිටු ඇති කළ යුතුය. ප්‍රාදේශීය මට්ටමින් වන ජනතා අවශ්‍යතා පිළිබඳ තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් ප්‍රාදේශීය ජනතා කමිටු ඇති කළ යුතුය. මෙසේ හොඩනැගෙන ආයතන කමිටු, ගොවි කමිටු, ධීවර කමිටු හා ප්‍රාදේශීය ජනතා කමිටුවලින් තේරී පත්වන නියෝජිතයන්ගෙන් ජාතික මහ සභාවක් ඇති කළ යුතුය. ඒ ජාතික මට්ටමින් අවශ්‍ය සැළසුම්කරණය හා සම්බන්ධීකරණය වෙනුවෙනි. මෙම සභාවන් හුදු උපදේශක සභා හෝ නිරීක්ෂක ආයතන නොව රටේ තීන්දු තීරණ ගන්නා හා එවා ක්‍රියාත්මක කරන සභාවන් විය යුතුය. එවිට පාර්ලිමේන්තුවක්, විධායක ජනාධිපති කෙනෙක් හෝ මහජන මුදල් නාස්ති වන සියළු ආකාරයේ මන්ත්‍රීකම් තව දුරටත් අවශ්‍ය නොවනු ඇත.
මෙවැනි පාලනයක් තුළ පාලනය හා තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් ජනතාව සක්‍රියව මැදිහත්වීමක් සිදුවේ. එම නිසා මෙවැනි පාලනයක් තුල වංචා හා දූෂණ සිදුවීමේ ඉඩකඩ ඉතාම අවමය. ඕනෑම කමිටු සාමාජිකයෙක් ආපසු කැඳවීමට යටත් වන නිසා ඔවුන් නිරන්තරයෙන් ජනතා වුවමනාවන් නියෝජනය කිරීම වෙනුවෙන් පෙනී සිටී. කමිටු සාමාජිකයෙක් වීම යනු කිසිඳු ආකාරයක වරප්‍රසාදිත තත්ත්වයක් නොවන ලෙසට මෙම කමිටු ස්ථාපිත කෙරේ.
මෙවන් පාලනයක් තුළ ලාභය වෙනුවට ජනතා අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වයක් ලැබෙනු ඇත. අධිරාජ්‍යවාදී මූල්‍ය ආයතනවල වුවනාවන් වෙනුවට ජනතාවෙගේ සැබෑ වුවමනාවන් අනුව තීන්දු තීරණ ගැනෙනු ඇත. පෞද්ගලික දේපළ ක්‍රමය වර්ධනය කෙරෙනු වෙනුවට පොදු දේපළ ක්‍රමයට ප්‍රමුඛත්වයක් ලැබෙනු ඇත. ව්‍යාපෘති පිළිබඳ තීන්දු ගැනීමේදී ඒවායේ අවශ්‍යතාව, පරිසරයට ඉන් වන බලපෑම හා රටේ චිරස්තායීතාවය පිළිබඳ සළකා බැලෙනු ඇත. බැකු, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය වැනි අත්‍යාවශ්‍ය සේවා වහාම පොදු සැළසුම්කරණයක් හා පොදු පාලනයක් යටතට ගැනෙනු ඇත. ජාතිවාදය, ආගම්වාදය, ස්ත්‍රී පුරුෂ අසමානතාවය, ලිංගිකත්වය මත කෙරෙන අසාධාරනයන් ආදිය අහෝසි කෙරෙනු ඇත.
අද අපට අවශ්‍යව ඇත්තේ සැබෑවටම ප්‍රජාත්න්ත්‍රවාදී එවන් ජනතා පාලනයක් ගොඩනඟා ගැනීම වෙනුවෙන් කම්කරු පන්තිය හා ජනතාව තුළ දැනුවත්කම හා අවබෝධය ගොඩ නැඟීමයි.