අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන ධානිෂ් අලි කොළඹ සිට ඩුබායි බලා පිටත් වන UL 225 ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් බලහත්කාරයෙන් රැගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ මොහොත වන විට සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වෙමින් පවතී.
ධානිෂ් අලි වනාහි ජාතික රූපවාහිනී පරිශ්‍රය තුළ ට බලහත්කාරයෙන් ඇතුළු වී විකාරසහගත සහ අමනෝඥ හැසිරීමක් ප්‍රකට කළ අරගලකරුවෙක් ය යන කරුණ පසෙකින් තබා ඔහු ද මෙරට තවත් පුරවැසියෙක් ය යන සාධකය මත බුද්ධිය මෙහෙයවන්නෙක් හට මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ සාධාරණ ප්‍රශ්න කිරීමක් පැන නැගෙනු නොඅනුමාන ය.
මෙරට සම්මත ක්‍රමවේදයට අනුව විදෙස් ගමන් තහනමක් (Travel Ban) පනවන ලද ගුවන් ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයෙක් හට ගුවන් තොටුපොළ ආගමන – විගමන පර්යන්තයෙන් ඔබ්බට පිවිසීමට නොහැකි අතර ඔවුන්ගේ තොරතුරු පද්ධතිය විසින් අදාල පුද්ගලයාගේ ගුවන් ගමන් බලපත්‍ර අංකය විදෙස් ගමන් තහනමක් පනවන ලද ගුවන් ගමන් බලපත්‍රයක් බවට හඳුනාගනු ඇත. එසේ නම් ආගමන – විගමන පර්යන්තයෙන් පරීක්ෂාවට ලක් කර ගුවන් යානයට ඇතුළු වීමට ද අවසර ලද පුද්ගලයෙක් Travel Ban පැන වූ පුද්ගලයෙක් ලෙස අත් අඩංගුවට ගැනීමට නම් අවම සම්භාවිතාවයක් සහිත අවස්ථා දෙකක් උපකල්පනය කරනු හැකිය.
1. ධානිෂ් අලි විදෙස්ගත වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති නමුත් ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ශාඛාව මගින් එය ඔවුන්ගේ අභ්‍යන්තර තොරතුරු පද්ධතියට ඒ වන විට ඇතුළත් කර තිබී නැත.
2. ධානිෂ් අලි විදෙස්ගත වීම වළක්වාලමින් අධිකරණ නියෝගය ලබාගෙන ඇත්තේ ඔහු කටුනායක ගුවන්තොටුපොළ ආගමන – විගමන පර්යන්ත පරීක්ෂාවෙන් අනතුරුව ගුවන් යානය වෙත ද ඇතුළු වූ පසුව ය.
උක්ත අවස්ථා ද්විත්වයේ දී වුව ද සම්මත ක්‍රමවේදයට ගුවන් යානය තුළට පිවිසුණු මගියෙක් ඉන්පසුව අත් අඩංගුවට ගන්නේ නම් එම නිළධාරීන් විසින් කිසියම් කරුණක් මත ආගමන – විගමන පර්යන්ත පරීක්ෂාවේ දී ක්‍රියාවට නොනැගුණු, නමුත් මේ මොහොතේ දී ක්‍රියාවට නංවන්නට සැරසෙන අධිකරණ නියෝගය අදාල මගියා හට ඉදිරිපත් කිරීමට සමත් විය යුතු ය. මන්ද යත් මේ අත්අඩංගුවට ගැනෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පුරවැසියෙක් විනා කොල්ලුපිටිය මල් පාරේ ප්‍රවේණිගත වහලෙක් නොවන බැවිනි.
ධානිෂ් අලිගේ හැසිරීමට හෝ ඔහුගේ රැවුලට ප්‍රිය නොකරන බැවින් මෙම අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම විනෝදයෙන් රස විඳින මෙරට අනෙක් පුරවැසියන් හට මේ ප්‍රතිනිර්මාණය වන්නේ 1994 වසරේ දී බහුතර ජනමතයෙන් ප්‍රතික්ෂේප වූ ඉතිහාසයක් බව සිහිපත් කරනු පිණිස පහත සටහන ඉදිරිපත් කරමි.
මේ, ‘ජවිපෙ 2 වැනි කැරැල්ල’ කෘතියේ කර්තෘ ධර්මන් වික්‍රමරත්න එහි පෙරවදනෙහි සටහන් කරන ඔහුගේ ජීවන අත්දැකීමකි.
‘දිනය 1990 අගෝස්තු 24 වැනි දා ය. වේලාව අලුයම 2.15 ය. එමිරේට් EK 049 ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා ගුවන් ගත විය. ඩුබායි හරහා ජර්මනියේ බොන් නුවර බලා මාධ්‍ය පුහුණු පාඨමාලාවක් සඳහා යෑම මාගේ අරමුණ විය. ජර්මන් රජය මගින් ඒ සඳහා අනුග්‍රහය ලබා දී තිබිණි. යානය ගුවන් ගත වී විනාඩි කිහිපයකට පසුව නියමුවන් නිවේදනය කළේ හදිසි කරුණක් සඳහා යළි කටුනායකට ගොඩ ගොඩබස්සන බවය.
කටුනායක දී ගුවන් යානයට ගොඩ වුනු සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් කණ්ඩායමක් ‘වික්‍රමරත්න මහතාට ඉදිරියට එන්නැ’යි ඉල්ලීමක් කළහ. යානය නතර කරන විටත් වෙනත් අසුනක සිටි මම එය නෑසුණා සේ සිටියෙමි. පසුව ඔවුහු ගුවන් ටිකට්පත් එකෙන් එක පරික්ෂා කරන්නට විය. පසුව මා ඔවුන්ගේ භාරයට පත්විය. මාගේ විරෝධය නිසා මා ඔවුන්ගේ භාරයට ගත් බවට ගුවන් නියමු වාගේ රාජකාරි පොතක සටහන් කරන්නට ඔවුනට සිදු විය. උස් හඬින් ගුවන් මගීන් ඇමතූ මා පත්තරකාරයකු නිසාත් අත් අඩංගුවට පත් ව ඇති බව අනන්‍යතාව සහිත ප්‍රකාශ කළෙමි. ඩුබායි හරහා බ්‍රිතාන්‍යයට යන ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද එහි සිටි බැවින් බ්‍රිතාන්‍ය ඇතුළු දැන්විය යුතු අදාළ අංශවලට මෙය දැනුම් දෙන ලෙස ද ඉල්ලීමක් කළෙමි. ගමන් බෑගය ද යළි ඉවතට ගත් බැවින් ගුවන් ගමන විනාඩි ගණනකින් පමා විය.
මා භාරයට ගත්තේ රහස් පොලිසිය දැනුම්දීමක් මත බව ගුවන් තොටුපලේ පිහිටි ආරක්ෂක මුරපොළේ නිලධාරීහු පැවසූහ.’
එදා ධර්මන් වික්‍රමරත්න ගුවන් යානයෙන් ගෙන යන අවාසන මොහොතේ අනෙක් ගුවන් මගීන් දැනුවත් නොකරන්නට ද, ඒ මගීන් විසින් ජාත්‍යන්තරය දැනුවත් නොකරන්නට ද අද වන විට ඔහුගේ නාමය ලියැවෙන්නේ පශ්චාත් භීෂණ කාලවකවානුවේ අත් අඩංගුවට පත් මාධ්‍යවේදියෙකු ලෙසිනි.
මිත්‍රවරුනි;
ධර්මන් වික්රමරත්නව ගුවන් යානයෙන් අත් අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ රජයේ එවකට කර්මාන්ත ඇමතිවරයා මේ වන විට
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ධූරය හොබවමින් සිටී.
එන්න !
ධානිෂ් අලිගේ රැවුල නොදිරවන බැවින් අපි දන්නා අඳුනන ජනාධිපති මාධ්‍ය උපදේශකවරු සමග තව තවත් සුරතල් වෙමු.
– සහන් කසීර වික්‍රමසිංහ –