1983 කළු ජූලියට වසර 39 යි!

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි

‘කළු ජූලිය’ ලෙසින් සඳුන්වන, 1948 ඊනියා නිදහසින් පසු ලංකා ඉතිහාසය තුළ දැකිය හැකි විශාලතම කළු පැල්ලම වූ, 1983 ජූලි 24 දින රාත්‍රියේ ඇරඹි, ද්‍රව්ඩ ජන සංහාරයට මේ වනවිට වසර 39ක් ගතව ඇත. 1983ට පෙර සංඛ්‍යාත්මකව ඉතාම කුඩා කණ්ඩායම් ලෙස පැවති ද්‍රවිඩ බෙදුම්වාදී සංවිධානවලට ජනතාව විශාල වශයෙන් සහාය දීමත් ඒවාට ඇතුළු වීමත් ආරම්භ වන්නේ 83 කළු ජූලිය හේතුවෙන් බව පොදු පිළි ගැනීමයි.

කළු ජූලියට පාදක වූ ආසන්නතම හේතුව ලෙසට ඇතැමුන් දක්වා සිටින්නේ 1983 ජූලි 23 දින LTTE විසින් යාපනය තිරුනෙල්වෙලි ප්‍රදේශයේදී එල්ල කළ ප්‍රහාරයකින් යුධ හමුදා සෙබළුන් 13 දෙනෙකු මියයාමේ සිදුවීමයි. 1983 ජූලි 15 දින හමුදාව විසින් LTTEයේ චාර්ල්ස් ඇන්තනි ඇතුළු තවත් අය මරා දැමීමට පලි ගැනීමක් ලෙසින් LTTEය මෙම ප්‍රහාරය එල්ල කළ බව පැවසේ.

1983 ජූලි 23 දිනට පෙර උතුරේ සටන්කාමීන් අතින් හමුදා සෙබළුන් මිය ගොස් තිබුණද, 13 දෙනෙකු වැනි විශාල ගණනක් එකවර මිය යාමක් ඒ දක්වා සිදුව නොතිබුණි. එම සිදුවීම එවක පැවති UNP රජය (රනිල් වික්‍රමසිංහ එහි අධ්‍යාපන ඇමතිවරයාය) විසින් සිංහළ ජනයා ප්‍රකෝප කරවීම වෙනුවෙන් උවමනාවෙන්ම භාවිතා කළ බවක් දක්නට හැකිය. මියගිය සොල්දාදුවන්ගේ මළ සිරුරු සම්බන්ධ අවසන් කටයුතු ජූලි 24 දින සවස බොරැල්ල කනත්තේදී සිදු කරන බව රජය දන්වා සිටියෙන් එදින එම කනත්තට විශාල ජනකායක් එක්ව සිටියේය. එහෙත් පසුව රජය තීරණය කර තිබුණේ එකී සිරුරු අදාළ පුද්ගලයන්ගේ නිවෙස් වලට යැවීමටය. කනත්තට එක් රැස්වූ පිරිස් ජාතිවාදී චෞරයන්ගේ කතාවලින් ප්‍රකෝප වී සිටීය. ඔවුන් ආපසු යන අතර බොරැල්ල දෙමළ කඩ සාප්පුවලට පහර එල්ල කළේය. පසු දිනවන විට රට පුරා දෙමළ විරෝධී ප්‍රහාර ව්‍යාප්ත වී තිබුණි. ද්‍රවිඩ ජනතාව මරා දමමින්, ඔවුන්ගේ දේපළ පැහැර ගනිමින් හා කොල්ල කමින් දියත් වූ එම ප්‍රහාරයන් දින ගණනාවක්ම පැවතුණි.

ජූලි 25 හා 27 දිනවල බන්ධනාගාරවල රඳවා සිටි දෙමළ සටන්කාමීන් 52 දෙනෙකුද ඝාතනය කෙරුණි. ජූලි 25 දින 35 දෙනෙකු ඝාතනය කොට තිබූ අතර තව දුරටත් එම සිදුවීම් වැලැක්වීමට රජය පියවර නොගැනීම නිසා 27 වෙනි දින ඉතිරි 17 දෙනා ඝාතනය කිරීමටද පරිසරය සකස් කෙරිණි. TELO සංවිධානයේ කුට්ටිමනී ඝාතනයට ලක් වූයේද මෙහිදීය.

ජූලි 24 සිට අගෝස්තු 2 පමණ තෙක් පැවති මෙම මෙම සංහාරය තුළ 387 දෙනෙකු ඝාතනය වූ බව රජය කියා සිටියද 2,000-3,000 අතර ප්‍රමාණයක් මියගිය බව දෙමළ ජනතා සංවිධාන කියා සිටී. 90,000ක් පමණ දෙමළ ජනයාගේ නිවාස විනාශකොට තිබූ අතර ලක්ෂ ගණනක් දෙමළ ජනයා සරණාගත භාවයට ඇද දමා තිබුණි.

24 දින මෙකී සංහාරය ආරම්භ වුවද ඒ ගැන එවක ජනාධිපති ජාතිය ඇමතීමට ජූලි 27 දක්වා කාලය ගත කළේය. දෙමළ ජනයාගේ ගෙවල් ගිනි ගන්නා අයුරුත්, තුවාල ලැබූවන් කෑගසන අයුරුත්, මිනිසුන් නිවෙස්වලින් පලා යන අයුරුත් ලොව පුරා රූපවාහිනී මඟින් විකාශය වෙත්දීත් දින ගණනාවක් පැවති එම ප්‍රහාර වැළැක්වීමට පොලීසිය හෝ හමුදා කිසියම්ම හෝ ක්‍රියා මාර්ගයක් ගත්තේ නැත. සංහාරය වළක්වනවා වෙනුවට රාජ්‍ය හමුදා එකී දේපළ මංකොල්ලයට උදව් කළ බව විදෙස් ජනමාධ්‍ය විසින් වාර්තා කොට තිබුණි. බන්ධනාගාර තුළ රජයේ ආරක්ෂාව යටතේ රඳවා සිටි පිරිසක් මරා දැමීමට පවා ඉඩ ලබාදීම මඟින් එවක පැවති රජයේ තිරශ්චීන බව මනාව පෙන්වා දෙයි. ඉහත කරුණු මඟින් මොනවට තහවුරු වන්නේ පැහැදිලිවම මෙය එවක රජයේ වුවමනාව මත සිදුවූ ප්‍රහාරයක් බවයි.

1977දී 5/6ක පාර්ලිමේන්තු බලයක් සහිතව පත්වූ UNPය මුල පටන්ම ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් අනුගමනය කළේ ජාතිවාදී ප්‍රතිපත්තියකි. එය කිසිසේත්ම ඊට කලින් පැවති සමඟි පෙරමුණු රජය ජාතික ගැටළුව සම්බන්ධයෙන් දැක්වූ ප්‍රතිපත්තියට වෙනස් නොවීය. UNPය බලයට පැමිණි වහාම 1977 අගෝස්තු මාසයේ දෙමළ විරෝධී කෝලාහලයක් ඇති විය. 1981 මැයි 31 සිට ජූනි 2 අතර කාලය තුළ යාපනයේ තෝරාගත් ස්ථාන ගණනාවක් ආණ්ඩුවේ මැර කණ්ඩායම් විසින් ගිනිබත් කළේය. මිළ කළ නොහැකි වටිනාකමක් පැවති යාපනය පුස්තකාලයද එසේ ගිනිබත් කළ එක් ස්ථානයක් විය. අමතරව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මූලස්ථානයද ඊළනාඩු පුවත්පත් ආයතනයද ඒ අවස්ථාවේ ගිනිබත් කළ ස්ථාන විය. මේ අතර එම රජයේ ඇමතිවරයෙක් වූ සිරිල් මැතිව් ඇතුළු අය නිරන්තරයෙන් පාර්ලිමේන්තුව තුළ සිංහළ ජාතිවාදී හැඟීම් අවුස්සන කථා පැවැත්වීය. යාපනය පුස්තකාලය ඇතුළු ස්ථාන ගිනිතැබූ අවස්ථාවේදීද සිරිල් මැතිව් හා ගමිණී දිසානායක එම ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටියෝය.

83 සංහාරය තුළ කලින් සකස් කළ ලයිස්තු භාවිතා කරමින් ගිනි තැබීම් හා මරා දැමීම් කළ බවටද වාර්තා ඇත. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ජාතික සේවක සංගමය එකී සංහාරයට සක්‍රියව දායක වූ බවටද වාර්තා පළව ඇත. ඒ අනුව මෙම සංහාරය එවක රජයට සම්බන්ධ කොටස් විසින් කල් තබා සකස් කර තිබූ සැළසුමක් ක්‍රියාත්මක කිරීමකි. ජූලි 23 දින හමුදා භටයන් 13 දෙනාගේ ඝාතනයත් සමඟ තම සැලසුම් ක්‍රියාවට නැඟීමට අවස්ථාව පැමිණ ඇතෑයි ඔවුන් තීරණය කරන්නට ඇත.

80 දශකය මුල වනවිට UNP පාලනයේ ජනප්‍රියතාවය පිරිහෙමින් තිබුණි. දිස්ත්‍රික් පදනම යටතේ වන නව ඡන්ද ක්‍රමය තුළ තමන්ට 2/3ක බලයක් ලබාගත නොහැකි බව ආණ්ඩුව හොඳින්ම දැන සිටියේය. මේ නිසා නැවත ඡන්දයකට යාමට බිය වූ එවක පාලනය ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට ජනමත විචාරණයක් පවත්වා 1977 තමන්ට ලැබුණු 5/6ක බලය, 1982දී වංචනික ආකාරයට තවත් අවුරුදු 5කට දික්කර ගත්තේය. එයද ජනයාගේ නොමද විවේචනයට හේතුවිය. එම ජනමත විචාරණයේදී දකුණේ සියළු දිස්ත්‍රික්ක UNPය විසින් ජයගනු ලැබුවද උතුරු – නැගෙනහිර එකද දිස්ත්‍රික්කයක් හෝ ජය ගැනීමට එයට නොහැකි විය. මේ සියළු කරුණු නිසා ජූලි 24 ඇරඹි සංහාරය භාවිතා කරමින් දකුණේ බහුතර සිංහළ ජනතාව තුළ තහවුරු වීමටත්, අනෙක් අතින් දෙමළ ජනයාට පාඩමක් ඉගැන්වීමටත් එවක පාලනය කල්පනා කළා සේය.

එහෙත් ඒ වෙනුවෙන් උතුරේ මෙන්ම දකුණේද සමස්ත ජනතාවට ගෙවීමට වූ වන්දිය අති මහත්ය. 1983 සිට පුරා වසර 33ක් ලංකාවට බිහිසුණු සිවිල් යුද්ධයකට මුහුණ දීමට සිදු විය. අවස්ථා ගණනාවකදී ආර්ථික පරිහානීන් වලට මුහුණ දීමට සිදුවිය. විදේශ බලපෑම්වලට ගොදුරු වීමට සිදු විය. ඒ සියල්ලට වැඩියෙන් ජනවර්ග අතර සංහිදියාවකට ඇති ඉඩකඩ දුරස් කළේය.

1980දී UNPය විසින් කම්කරුවන් වෙත එල්ල කළ මර්ධනයත් සමඟ 1983 වනවිට ලංකාවේ කම්කරු ව්‍යාපාරය පැවතියේ බෙහෙවින් පහළ මට්ටමකය. සෑම විටම මෙවැනි ව්‍යසනයක් පැන නගින්නේ කම්කරු පන්තියේ ක්‍රියාකාරීත්වය පහළ මට්ටමක ඇති විටය. අනෙක් අතට වර්ධනය වන ජනවාර්ගික ගැටුම් විසින් පන්ති ක්‍රියාකාරීත්වය තව තවත් පහළ දමයි. 1980 සිට දශක 3ක පමණ කාලයක් මෙම තත්ත්වය හොඳින්ම දක්නට ලැබුණි.

මේ වනවිට ජනතා ක්‍රියාකාරීත්වයන් පෙර නොවූ විරූ ලෙසින් ඉදිරියට පැමිණ ඇත. ඒ සමඟම ජාතිවාදී ප්‍රවණතා ඔවුන්ගෙන් මුළුමණින්ම පාහේ ප්‍රතික්ශේප වී ඇත. එය ඉතා හොඳ ලක්ෂණයකි. එහෙත් එය පමණක් ප්‍රමාණවත් නොවේ. ලංකාවේ සුළු ජාතීන්ගේ විශ්වාසය දිනා ගනිමින් ඔවුන්ගේ ප්‍රශ්න අපේද ප්‍රශ්න බවට පත්කර ගත යුතුය. ඒ වෙනුවෙන් දෙමළ ජනතා ඉල්ලීම් හා අභිලාෂයන් අපගේ පොදු ඉල්ලීම් බවට පත්කර ගත යුතුය. උතුරේත් දකුණේත් එක්සත් ජන අරගලයක් ගොඩ නැඟීමට අප පියවර ගත යුතුය.

1983 කළු ජූලියේ 39 සැමරුම විසින් ඒ වෙනුවෙන් අපට අවස්ථාවක් ලබා දෙයි. ලංකාවේ ධනපති පන්තියේ බංකොලොත්කම නිසා ඊනියා නිදහස ලබා ගැනීමේ සිටම සිංහළ ප්‍රභූන් සිංහළ ජාතිවාදයත්, ද්‍රවිඩ ප්‍රභූන් ද්‍රවිඩ ජාතිවාදයත් වපුරමින් සිටියෝය. මුල් කාලයේ එයට එරෙහිව සිටි සමසමාජ ප්‍රමුඛ වමේ ව්‍යාපාරය පසුව SLFP හා සභාගයකට යමින් සිංහළ ජාතිවාදයේම කොටස් කරුවන් බවට පත්විය. මෙම තත්වයන් උපයෝගී කර ගනිමින් UNPය තම පැවැත්ම වෙනුවෙන් එය බරපතල සිවිල් යුද්ධයක් කරාම ගෙනයාමට දායක විය.

අද අපට වශ්‍යව ඇත්තේ මෙම ක්‍රියාවලිය පසුපස ඇති බංකොලොත් ධනේශ්වර මූලයන් හෙළි දරව් කරමින් උතුරේත් දකුණේත් පන්ති සහයෝගීතාවය වර්ධනය කිරීමයි. උතුරේ ජනයාගේ අයිතීන් දිනාගත හැකිවන්නේ දකුණේ පන්ති ව්‍යාපාරය සමඟ එක්ව ගෙනයන එවන් එක්සත් අරගලයක් තුල පමණි.

Loading