රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි
යුක්රේන යුද්ධය විසින් මිලිටරිවාදී රැල්ලක් ජනිත කර ඇත. බටහිර අධිරාජ්‍යවාදීන් යුක්රේනයට යුධ උපකරණ යැවීමට බිලියන ගණන් නාස්ති කර ඇත. තවද නේටෝ රටවල් විසින් ‘ආරක්ෂක’ වියදම් එක් වරම විශාල ලෙසින් ඉහළ දමා ඇත. ජර්මනිය සම්බන්ධයෙන් මෙය විශේෂයෙන් සත්‍ය වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස, සිදුවෙමින් පවතින විනාශය මධ්‍යයේ, ආයුධ නිෂ්පාදකයින්ට ජැක්පොට් එකක් වැදී ඇත.
ගැටුම ආරම්භයේදීම, බ්‍රිතාන්‍යයේ BAE Systems හි කොටස් මිළ 4.8% කින්, එනම් වසරකදී ලද වැඩිම අගයක් දක්වා ඉහළ ගියේය. එක්සත් ජනපද ආරක්ෂක දැවැන්තයන් වන Lockheed Martin සහ Raytheon – පිළිවෙලින් ගොඩබිම සිට ගුවනට විදින Stinger මිසයිල සහ F-35 ප්‍රහාරක ජෙට් යානා නිෂ්පාදකයින්ගේ – කොටස් මිලද තියුනු ලෙස ඉහළ ගියේය.
යුද්ධයට පෙර සිටම, මරණය සහ විනාශය තුළින් ලාභ ලබන මෙම නිෂ්පාදකයින් එයට ඇස ගසාගෙන සිටියහ. වසංගතය අතරතුර ගෝලීය ආර්ථිකය හැකිලෙමින් තිබියදී, ආයුධ කර්මාන්තයේ ලාභය අහස උසට ළඟා වූ අතර 2020 දී එය ඩොලර් බිලියන 531 දක්වා ඉහළ ගියේය. ඉදිරි වසර සඳහා යුරෝපිය රටවල් මිලිටරි වියදම් සඳහා අතිරේක පවුම් බිලියන 170ක් වෙන් කිරීමත් සමඟ, මෙම කර්මාන්තයට ලැබීමට නියමිත ලාභය, පසුගිය කාලයේ ලැබූ කටට කෙළ උණන ලාභයද සොච්චමක් බවට පත්කර ඇත.
එක්සත් ජනපදය යුක්රේනයට Javelin යුධ ටැංකි නාශක මිසයිල 6,500ක් යැවීමට සූදානම් වේ. Raytheon සහ Lockheed Martin විසින් නිපදවන ලද එම සෑම මිසයිලයක් සඳහාම ඩොලර් 78,000 ක් වැය වන අතර ඒවා විදීම වෙනුවෙන් අමතර ඩොලර් 100,000ක් වැය වේ. බ්‍රිතාන්‍යය විසින් ප්‍රංශ ආරක්ෂක සමාගමක් වන Thales විසින් බෙල්ෆාස්ට්හි නිෂ්පාදනය කරන ලද සැහැල්ලු ටැංකි නාශක අවි 5,000කට වඩා ලබාදී ඇත. මේ එකකට ආසන්න වශයෙන් පවුම් 30,000ක් වැය වේ. වෙනත් ලෙසකින් කිවහොත්, බටහිර අධිරාජ්‍යවාදය අවසන් යුක්රේන ලේ බිංදුව තෙක් රුසියාව සමග වක්රාකාර යුද්ධයක නියැලී සිටිම නිසා එම රටවල අවි නිෂ්පාදකයින්ට ඉතා හොඳ දඩයමක් හමුවී ඇත.
යුද්ධය ආරම්භ වීමට පෙර පවා, Raytheonහි ප්‍රධාන විධායක නිලධාරී Greg Hayes විසින් “නැගෙනහිර යුරෝපයේ පවතින ආතතීන්” සමාගමට ප්රතිලාභ අත්වන සාධකයක් ලෙසට දැක්වීය. ඒ හා සමානව, ලොක්හීඩ් මාර්ටින්හි ප්‍රධාන විධායක නිලධාරී Jim Taiclet කියා සිටියේ “අලුතින් ඇතිවූ මහා බල තරඟය” (මෙය අධිරාජ්‍යවාදී රටවල් අතර ඇතිවූ ආතතිය ලෙස කියවා ගත යුතුය) ව්‍යාපාර සඳහා හොඳ කලක් ඇති කරන බවයි.
යුක්රේන යුද්ධය ආරම්භ වීමේ සිට, මෙම තක්කඩියන් තමන්ගේ ප්‍රීතිය තරමකට සඟවාගෙන ඇත. සාමය ගෙන ඒම සහතික කිරීම වෙනුවෙන් යුද යන්ත්‍රය ශක්තිමත් කරන බව බටහිර දේශපාලනඥයන් විසින් අපට කියා සිටී. යුද්ධය ගැන කනස්සල්ලෙන් සිටීම නවත්වන ලෙසත්, බෝම්බයට ආදරය කිරීමට ඉගෙන ගන්නා ලෙසත් පාලක පන්තිය ජනතාවට කියා සිටී.
කෙසේ වෙතත්, ආයුධ සඳහා ඇති ඉල්ලුම ශක්තිමත් කරන්නේ යුක්රේන යුද්ධය පමණක් නොවේ. ලොව පුරා විවිධ පාලන තන්ත්රයන් සහ ආන්ඩු විසින් මිලිටරි වියදම් වැඩි කිරීම මගින් ආයුධ කර්මාන්තයේ යෙදී සිටින කොටස් හිමියන්ගේ ලාභාංශ ඉහළ නංවනු ලැබේ. උදාහරණයක් ලෙස බොරිස් ජොන්සන් මෑතකදී ඉන්දියාවට පැමිණියේ මෝඩි පාලනය සමඟ ආරක්ෂක සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහාය. රුසියාවේ ආරක්ෂණ පද්ධතිවල ඇති දුර්වලතා ඇතුළු රුසියානු තාක්ෂණයේ ‘අඩුපාඩු’ අතිශයෝක්තියට නංවමින්, BAE Systems සහ Rolls Royce වැනි බ්‍රිතාන්‍ය ආයුධ නිෂ්පාදකයින්ගේ යුධ උපකරණ බ්‍රිතාන්‍ය අගමැති විසින් හුවා දැක්වීය.
ධනවාදය සහ යුද්ධය
අපි මේ පාහරයන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු නොවිය යුතුය. මොන සදාචාරාත්මක පීඩනයක් තිබුණත් අධිරාජ්‍යවාදීන් තම සමාගම් විසින් ලාභ ඉපැයීම මැඩපැවැත්වීම හෝ යුධ ගිනිදැල් ඇවිලවීම නැවැත්වීම හෝ කරන්නේ නැත.
ඔවුන්ගේ සමස්ත අරමුණ වන්නේ මහා ව්‍යාපාරිකයන්ගේ ලාභ සහ ඔවුන්ගේ උවමනා එපාකම් ආරක්ෂා කිරීමත්; යුද්ධයට සහ එහි සියලු භීෂණවලට වගකිව යුතු ධනපති ක්‍රමය ආරක්ෂා කිරීම සහ එය නියෝජනය කිරීමත්ය.
යුක්රේනයේ ගැටුම, අධිරාජ්‍යවාදී බලවතුන්ගේ වක්‍ර යුද්ධයකි; ධනේශ්වර රටවල් බලය, කීර්තිය සහ ලාභය සඳහා තරඟ කිරීමේ ප්රතිඵලයකි.
ලෙනින් පැහැදිලි කළ පරිදි: යුද්ධය බිහිසුණුය; බිහිසුණු ලෙස ලාභදායකය. යුද්ධයේ විනාශය, යුද්ධයේ බිහිසුණු බව සහ ඒ සමඟ ඇති වන නිර්ලජ්ජිත ලාභ ඉපැයීම අවසන් කිරීම වෙනුවෙන් අප එය ඇති කරන ධනපති ක්‍රමය පෙරලා දැමීමට සංවිධානාත්මකව සටන් කළ යුතුය.