දේශගුණික විපර්යාසයන් පිටු දැකීමට ක්‍ර‍මය වෙනස් කරමු!

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි

සෑම වසරකම ජුනි 05 වන දින ලෝක පරිසර දිනය සමරනු ලැබේ. වායු දූෂණය, ප්ලාස්ටික් දූෂණය, ගෝලීය උණුසුම ඉහළ යාම සහ මුහුදු මට්ටම දිනෙන් දින ඉහළ යාම වැනි ගැටලුවලට ලෝකය මුහුණ දෙන බව දැනුවත් කිරීමට වේදිකාවක් නිර්මාණය කරන බව පවසමින් UNEP විසින් 1974 සිට මෙම දිනය උත්කර්ෂවත් ලෙස සමරනු ලබයි. එහෙත් සැම විටම ගෝලීය උණුසුම ඉහළ යාම, ජනගහන ගැටළුව, න්‍යෂ්ටික බලශක්තිය සහ න්‍යෂ්ටික උපද්‍රව, පරිසර දූෂණය සහ අනෙකුත් පාරිසරික ගැටලු ලෝකයේ ප්‍රවෘත්ති අතර පවතී. ඒ අනුව, ලෝක පරිසර දිනය සමරනු ලබන්නේ පාරිසරික ප්‍රශ්නවලට හේතු සහ ඒවායේ මූලයන් ගැන නිසි සොයා බැලීමකින් තොරව බව පැහැදිලිය.

පෘථිවි වාසීන් වන අපට පාරිසරික ගැටළු ඉතා වැදගත් වේ. එහෙත් අප මුහුණ දෙන පාරිසරික ගැටලු සහ සිදුවීමට නියමිත පාරිසරික ව්‍යසනයන් ධනේශ්වර ක්‍රමයේ නිර්මාණයන් බව සිහිතබා ගත යුතුය.

ලෝක ඉතිහාසය තුළ බොහෝ වාර ගණනක් දේශගුණය වෙනස් වී ඇති අතර මේ වනවිට වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයේ වැඩි වීමේ වේගය කැපී පෙනේ. ධ්‍රැව ආශ්‍රිතව ඇති අයිස් තට්ටු සහ ග්ලැසියර දිය වී යන ආකාරය අපි දැනටමත් දකිමු. මෙය මුහුදු මට්ටම ඉහළ යාමට හේතු වී ඇති අතර එමඟින් වෙරළබඩ ප්‍රදේශ වාසයට නුසුදුසු බවට පත් වේ. කාලගුණික රටාවල අනපේක්ෂිත වෙනස්කම් නිසා පෘථිවි පෘෂ්ඨයේ විශාල කොටස් කාන්තාරීකරණය වී ඇත. මෙය තව තවත් කෘෂිකාර්මික ඉඩම් සෙවීම සඳහා වැසි වනාන්තර කපා දැමීමට හෝ ගිනි තැබීමට ධනපතියන්ව පොළඹවනු ඇත. වැසි වනාන්තර කාබන් අවශෝෂක ලෙස සේවය කරයි. ඒවා ගිනි තබන විට, දේශගුණික විපර්යාස වේගවත් කරමින් විමෝචනය තවත් ඉහළ යයි. මිනිස් ක්‍රියාකාරකම් විසින් සත්ත්ව සහ ශාඛ විශේෂ දහස් ගණනක පැවැත්ම විනාශයට ලක් කර ඇති බැවින් මහා වඳ වී යාමේ නව යුගයකට අප පිවිසෙමින් සිටින බවක් පෙනේ.

2022 ලෝක පරිසර දිනයට අදාළව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ “අපගේ වර්තමාන ජීවන රටාව පවත්වා ගැනීම වෙනුවෙන්, අප මිහිතලයට හැකි ප්‍රමාණය මෙන් 1.6කට සමාන වන පරිභෝජනයක් සිදු කරන බවත් පරිසර පද්ධතිවලට අපගේ වුවමනාවන් ලබා දීමට නොහැකි බවත්ය”. මෙම වුවමනාවන් පැන නඟින්නේ කොහෙන්ද, මෙම ක්‍රියාවලීන් විසින් තෘප්තිමත් කරන්නේ කාගේ වුවමනාවන්ද යන්න අප ඉදිරියේ පවතින සැබෑ ප්‍රශ්නයයි. “අපගේ ජීවන රටාව හරිතාගාර වායු විමෝචනයෙන් තුනෙන් දෙකක් සමඟ සම්බන්ධ වී ඇති” බව පවසමින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පිළිබඳව එක්සත් ජාතීන් විසින් ජනතාවට චෝදනා කරන අතර, “තිරසාර ජීවන රටාවන් සහ හැසිරීම් මගින් 2050 වන විට එම විමෝචනයන් 40% ත් 70%ත් අතර අගයක් දක්වා අඩු කළ හැකි බව අධ්‍යයනයන් පෙන්වා දෙයි.” දේශගුණික විපර්යාසයන් මිනිසුන්ගේ කෑදර නිසා හෙවත් ‘මිනිස් ස්වභාවය’ නිසා සිදු නොවේ. සංර්ධනය ගැටලුවක් නොවේ. ගැටලුව වන්නේ පටු ආත්මාර්ථකාමී ලාභ ඉපයීම මගින් මෙහෙයවනු ලබන, වඩා පුළුල් ලෙස දේවල් පිළිබඳ සලකා බැලීමක් නොකරන, සැලසුම් නොකළ ධනේශ්වර සංවර්ධනයයි.  ගැටලුව වන්නේ ධනපති ක්‍රමයයි. 1970 සිට ලෝකයේ සම්පත් නිස්සාරණය තුන් ගුණයකින් වැඩි වී ඇත. මෙයට පොසිල ඉන්ධන භාවිතයේ සහ ඒවා නිස්ස්සාරණය සහ සැකසීම වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍යවල 45%ක වැඩිවීමක් ඇතුළත්ය. ආහාර නිශ්පාදනය සහ සැකසීම සමස්ත ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් අඩකටත්, ජෛව විවිධත්වය හා ජලය වියැකී යාමෙන් 90% කටත්, වඩා දායක වන බව වාර්තා වේ. මෙම වායු විමෝචනයට ප්‍රධානතම දායකත්වය සපයන්නේ මහා පරිමාන ව්‍යාපාර සහ ඒවා විසින් මෙහෙයවන රජයන්ය. එබැවින් ක්‍රමය වෙනස් කිරීමකින් තොරව දේශගුණික විපර්යාස පිටුදැකීමට උත්සාහ දැරීම නිෂ්ඵලය.

පාරිසරික අර්බුද ධනවාදය තුළ ගැඹුරින් මුල් බැස ඇති ගෝලීය සංසිද්ධියකි. දේශගුණික විපර්යාසවල මුහුණදීම ගෝලීය ප්‍රවේශයක් තුළ කළ යුතු අතර ලාභය මත දිවෙන ධනේශ්වර ක්‍රමය ක්‍රියාත්මක වන තුරු එය සිදු කළ නොහැකිය. මාක්ස් පැවසූ පරිදි: “සමාජය තුළ ඉහළ මට්ටමේ ආර්ථික ස්වරූපයක ලෙසින්, පුද්ගලයන් විසින් මිහිතලයේ හිමිකාරිත්වය අත්කරගෙන සිටීම, මිනිසෙකු විසින් තවත් මිනිසෙකු මත පුද්ගලික හිමිකාරිත්වය දැරීම තරම්ම විකාර සහගත ලෙස පෙනෙනු ඇත. සමස්ත සමාජයක්, ජාතියක් හෝ සමකාලීනව පවතින සියලුම සමාජ එකට ගත් විට පවා, ඔවුන් මිහි තලයේ හිමිකරුවන් නොවේ. ඔවුන් එහි භාරකරුවන් පමණි… ඔවුන් එය වඩා දියුණු තත්ත්වයකින් අනාගත පරම්පරාවන්ට භාර දිය යුතුය.”

දේශගුණික අර්බුදය විසින් ජාත්‍යන්තර මට්ටමේ සැළසුම්ගත නිශ්පාදනයක අවශ්‍යතාවය මතු කොට ඇත. මහා පරිමාණ ඒකාධිකාරයන් සහ කර්මාන්ත ජනසතු කිරීම දවසේ න්‍යාය පත්‍රයට ඇතුලත් විය යුතුය. ඒ වනුවෙන් මීටත් වඩා පැහැදිලි අවස්ථාවක් බලාපොරොත්තු විය නොහැක. එහෙත් වාම ප්‍රතිසංස්කරණවාදය විසින් මෙම අවස්ථාවන් විනාශ කර ගැනීම වැලැක්විය නොහැක, මන්ද, එයටද පාලක පන්තියට මෙන්ම ධනවාදයෙන් ඔබ්බට දැකිය නොහැකි බැවිනි.

වෙනත් වචන වලින් කිවහොත්, දේශගුණික අර්බුදය විසඳීමට ඇති ප්‍රධාන බාධකය තාක්‍ෂණික එකක් නොව දේශපාලනික එකකි. එම බාධකය ඉවත් කළ හැකි එකම සමාජ බලවේගය වන්නේ සංවිධිත කම්කරු පන්තිය වන අතර ඒ වෙනුවෙන් වන කාලය අවසන් වෙමින් පවතී. එබැවින් කම්කරු පන්ති ව්‍යාපාරය හැකි ඉක්මනින් නිවැරදි අදහස් වලින් සන්නද්ධ විය යුතුය. වාම ප්‍රතිසංස්කරණවාදීන්ගේ පවා, ප්‍රතිසංස්කරණවාදී මිත්‍යාවන්, විසින් අපව අඳුරු අගාධයකට රැගෙන යා හැකි අතර අපට නැවත අළුතින් පටන් ගැනීමට කාලයක් ඉතිරි නොවනු ඇත.

1938 දී ලියොන් ට්‍රොට්ස්කි මෙසේ ලිවීය: “සමාජවාදී විප්ලවයකින් තොරව, මීළඟ ඓතිහාසික කාලපරිච්ඡේදයේදී, මානව වර්ගයාගේ සමස්ත සංස්කෘතියටම තර්ජනය කරන ව්‍යසනයක් පැන නඟිනු ඇත. දැන් වාරය ඇත්තේ නිර්ධන පංතියටයි… මානව වර්ගයාගේ ඓතිහාසික අර්බුදය විප්ලවවාදී නායකත්වයේ අර්බුදය දක්වා ඌනනය වී ඇත.

මෙය එදා ම්ලේච්ඡ අධිරාජ්‍යවාදී ඝාතනයක් වූ දෙවන ලෝක යුද්ධය ව්‍යසනය හමුවේ සත්‍ය විය. එය දැන් දේශගුණික ව්‍යසනය හමුවේ සත්‍යය වී ඇත.

මානවයාගේ මෙන්ම මිහිතලයේද අවශ්‍යතා සළකමින්, අපගේ සම්පත් කළමනාකරණය කිරීම වෙනුවෙන්, අපට නිෂ්පාදන‍ය හා බෙදා හැරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී සැලැස්මක් අවශ්‍ය වේ. එබැවින් ලෝකය පුරා වේගවත්ව හා තීව්‍රව පැමිණෙමින් ඇති විප්ලවවාදී සිදුවීම් සඳහා සූදානම් වීම අප හමුවේ ඇති කාර්යයයි; එනම් කම්කරු පන්තිය විසින් බලය අල්ලා ගැනීම සඳහා සූදානම් වීම‍යි. ස්වභාවික ලෝකය සමඟ මානව වර්ගයාගේ ඒකාත්මික පැවැත්ම නමැති අපට මුහුණ දීමට වන මීළඟ මහා කාර්යය සඳහ අපව රැගෙන යන මාවතේ දොරවල් පුළුල් ලෙස විවෘත කළ හැක්කේ මෙමඟින්ම පමණි.

එබැවින් මනුෂ්‍ය වර්ගයාගේ සහ මිහි තලයේ අනාගතය සඳහා අපට සමාජවාදය අවශ්‍ය වන අතර දේශගුණය වෙනස් කිරීම සඳහා ක්‍රමය වෙනස් කිරීමට කාලය පැමිණ තිබේ.

Loading