රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි
ධනවාදය ස්ථාපිත කිරීම විසින්ම එහි ආවේනික අර්බුදය ලෝකයට හෙළි කළේය. ලාභය උපරිම කර ගැනීම මත පදනම්ව ස්ථාපිත වූ එයට එහි සැබෑ ස්වරූපය හෙළි කිරීමට වැඩි කලක් ගත නොවීය. එබැවින් ඔවුන්ට ජනතාව මුළාකොට තබා ගැනීම වෙනුවෙන් විවිධ ක්රමෝපායන් සෙවීමට සිදුවිය.
පළමු ලෝක යුද්ධයෙන් පසු 1920 දී, ජාත්‍යන්තර ආරවුල් විසඳීම සඳහා වන සංසදයක් බව කියමින් ස්විට්සර්ලන්තයේ ජිනීවාහි එහි මූලස්ථානය සහිතව ජාතීන්ගේ සංගමය පිහිටුවන ලදී. එය ලෝක සාමය පවත්වා ගැනීම සඳහා ගොඩනැඟූ පළමු අන්තර්ජාතික සංවිධානය විය. කෙසේ වෙතත්, සංවිධානයේ ආයු කාලය වූයේ වසර විසි හයක් පමණි. එය පිහිටුවීමට යෝජනා කළ ජාතීන්ටම පවා එය ගොඩනැඟීමට හේතු වූ අරමුණු ආරක්ෂා කිරීමේ වුවමනාවක් නොතිබූ බව පෙනී ගියේය.
දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් සමග 1945 දී, එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවන ලද අතර දැනට ඒ තුළ සාමාජික රටවල් 193 ක් සහ නිරීක්ෂක රාජ්‍ය 2 ක් නියෝජනය කරයි. ලෝක සාමය පවත්වා ගැනීම සහ සෑම පුද්ගලයෙකුටම යහපත් ජීවිතයක් සහතික කිරීම සිය දූත මෙහෙවර බව එක්සත් ජාතීන් ප්‍රකාශ කරයි. ඔවුන් සාමාජික රටවල් සඳහා බොහෝ ප්‍රතිපත්ති, ප්රඥප්ති, ඉලක්ක ආදිය ඉදිරිපත් කර ඇති අතර වරින් වර සාමාජික රටවල් ඇගයීමට ලක් කරයි.
කෙසේ වෙතත්, එය පැවති කාලසීමාව තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු සම්පූර්ණයෙන්ම අසාර්ථක ආයතනයක් බව ඔප්පු වී ඇති අතර සාමය ඇති කිරීමට එය සම්පූර්ණයෙන්ම අසමත් බව පෙන්වා දී ඇත. 1946 සිට 2018 දක්වා විවිධ සන්නද්ධ ගැටුම්, යුද්ධ සහ සිවිල් යුද්ධ 285 ක් ඇති විය. 2019 සහ 2020 දී පිළිවෙලින් සන්නද්ධ ගැටුම් 55 සහ 56 වාර්තා වී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කරනු ලැබුවේ හා එහි සුක්කානම දරා සිටින්නේ ලෝකයේ ඇති ප්‍රබලම ධනපති රාජ්‍යයන් වන අතර එය පොදුවේ ලෝක ධනේශ්වර පන්තියේත් සහ විශේෂයෙන් ගත් කළ අධිරාජ්‍යවාදී බලවතුන්ගේත් අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීම සඳහා පමණක් ක්‍රියා කරන ආයතනයක් බව පෙන්වා ඇත.
අනෙක් අතට, ධනවාදය විසින්ම නිර්මාණය කරන ලද මානව වර්ගයා හමුවේ ඇති දැවෙන ප්‍රශ්නවලට සීමිත ලෙසින් හෝ විසඳුම් ලබාදීමට ඇතිකළ සහශ්‍ර සංවර්ධන ඉලක්කවල සිට තිරසාර සංවර්ධන ඉලක්ක දක්වා වූ වැඩ සටහන් වලින් කිසිදු අර්ථවත් විසඳුමක් ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට කිසිඳු හැකියාවක් නොවීය. ඔවුන් විසඳීමට උත්සාහ කළ ගැටළුවල තත්ත්වයන් කාලයත් සමඟ වර්ධනය වී ඇති අතර අදාළ වැඩ සටහන් නිසා කිසිදු ප්‍රගතියක් පෙන්නුම් කර නොමැති බව පැහැදිලිව දැකිය හැක. සහශ්‍ර සංවර්ධන ඉලක්කවල සිට තිරසාර සංවර්ධන ඉලක්ක දක්වා, අපට දැකිය හැක්කේ නම්වල වෙනසක් සහ ප්‍රවර්ගවල වැඩි වීමක් පමණි. ගැටලුව එකමය.
ප්රතිසංස්කරණවාදී ප්රවේශයන්ගෙන් මානව වර්ගයා මුහුණ දෙන ගැටළුවලට කිසිඳු විසඳුමක් නොලැබීම වැළැක්විය නොහැක. ධනවාදය තුළ කුමන අයුරකින්වත් ලෝක සාමය හෝ සමානාත්මතාවය ළඟා කර ගත නොහැකිය. මෙම ප්‍රශ්න පැන නැඟී ඇත්තේ ධනවාදයේම ආවේනික ලක්ෂණ නිසා වන අතර එය විසඳිය හැක්කේ ධනවාදය පෙරලා දැමීමෙන් පමණි. එබැවින් ධනවාදයේ ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා ඇති සංවිධාන මවනු ලබන මිත්‍යාවන්ගෙන් මිදී සමාජවාදය සඳහා සටන් කිරීමට කාලය පැමිණ තිබේ