රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි
ලංකාවේ පාලකයන් විසින් ජනතාව ඇද දමා ඇති ව්‍යසනයට එරෙහිව, ජනතා නැඟී සිටීම් ඉදිරියට යමින් පවතින මේ මොහොත වනවිට, නුදුරේදීම ඒ හෝ මේ බලවත් රට තමන්ට සහාය දීමට සූදානම් යයි කියමින් පාලකයින් තවත් වටයකින් ජනතාව ගොනාට අන්දමින් සිටී.
ලෝක ධනපති ක්‍රමය ඕනෑම රටක් තුළ, ධනපති ක්‍රමයට තර්ජනයක් වන ආකාරයෙන් ඇතිවන ජනතා නැඟිටීම් යටපත් කිරීමට, එරට පාලකයන්ට උදව් කරන බව අපි දනිමු. යම් අරගලයක් ධනපති ක්‍රමයට තර්ජනයක් වන තත්ත්වයකයට ගමන් කරන්නේ නම්, තමන්ට එම පාලකයන් සමඟ තිබෙන අමනාපකම් පවා අමතක කොට තම ක්‍රමය බේරා ගැනීම වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කරන බව ඉතිහාසය විසින් නැවත නැවතත් පෙන්වා දී ඇත. ඒ අනුව පවතින අරගලය මෙම ක්‍රමයට තර්ජනයක් වීම දක්වා ගමන් කරන්නේ නම් ධනපති බලවතුන් විසින් ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමටත්, තාවකාලිකව හෝ ජනතාව සන්සුන් කිරීම වෙනුවෙන් යම් පියවර ගැනීමටත් බොහෝ ඉඩ ඇත.
එහෙත් එවන් තර්ජනයක් නොමැති විටෙක, ලංකාවේ පවතින අර්බුදයට යම් හෝ විසඳුමක් ලබාදීමට සමත් ආර්ථික ආධාර බලවත් ධනපති රටවලින් ලැබේද යන්න තීරණය කෙරෙන ප්‍රධානම සාධකය වන්නේ ලෝක ආර්ථික තත්ත්වයයි. ලෝක ආර්ථිකයේ නැග්මක් පවතින අවස්ථාවක ඔවුනට අනෙක් අයට උදව් කිරීම පහසු අතර ලෝක ආර්ථිකය අර්බුදයකට ගමන් කරන්නේ නම් ඔවුන්ට එසේ උදව් කිරීම අපහසු වේ. මේ නිසා මේ අවස්ථාවේ පවතින ලෝක ආර්ථික වර්ධනයන් පිළිබඳ කෙටියෙන් හෝ සාකච්ඡා කිරීම කාලෝචිතය.
බ්‍රිතාන්‍යය තුළ ධනපති ක්‍රමයේ හොරණෑවක් වන ‘Financial Times’ පුවත්පත 2022 මැයි 1 දින ලියූ ලිපියකට ශීර්ෂය ලෙස යොදා තිබුණේ “2022 ඇතිවූ කම්පනය වන්නේ ලෝක ආර්ථිකයේ ඇණහිටීම සමඟ එක්වූ උද්ධමනයයි (Stagflation) – මෙය කොතෙක් නරක් විය හැකිද?” යනුවෙනි. ඔවුන් එහිදීම දක්වා තිබුණේ “වසංගතය සහ යුද්ධය යන ද්විත්වයෙන් ලද පහර, ලොව පුරා උද්ධමනය ඉහළ යාමට සහ වර්ධනය මන්දගාමී වීමට හේතු වී තිබේ.” යනුවෙනි. ධනපති පන්තියේ හොරණෑවන්ටම අනුව ලෝක ආර්ථිකය බෙහෙවින් නරක අතට හැරී ඇත. ඔවුන්ට ඇති ප්‍රශ්නය මෙම තත්ත්වය තව කොතෙක් දුරට නරක් විය හැකිද යන්න පමණි.
එම ලිපියට අනුව “පසුගිය වසර වනවිට, බොහෝ ආර්ථික විද්‍යාඥයින් විසින්, 2022 ශක්තිමත් ආර්ථික වර්ධනයක කාල පරිච්ඡේදයක් වනු ඇතැයිද, Covid-19න් පසු ව්‍යාපාර නැවත සම්පූර්ණ ක්‍රියාකාරිත්වයට පැමිණෙනු ඇතැයිද අපේක්ෂා කොට” ඇත. 2021 ඔක්තෝම්බර් මාසයේදී IMF විසින් කියා සිටියේද 2022දී ලෝක වර්ධන වේගය 4.9%ක් වන බවයි. එහෙත් මෙම වසර ආරම්භයේදීම එනම් ජනවාරි මාසයේදී, IMF විසින් 2022 ලෝක වර්ධන වේගය 4.4%ක් දක්වා පහළට ගෙන ආවේය. නැවත ඔවුන් විසින්ම අප්‍රේල් මාසයේදී, 2022 ලෝක වර්ධන වේගය 3.6%ක් දක්වා පහළට ගෙනෙනු ලැබීය. ඒ අනුව අප පාලකයන් දණින් වැටී යදින IMF හට ලෝක ආර්ථිකය ගැන තිබෙන දුර දැක්ම කෙබඳුද යන්න පැහැදිලිය. අනෙක් අතට 2021දී “බොහෝ ආර්ථික විද්‍යාඥයින්” 2022 ගැන කියා සිටි අනාවැකි බොරු වීමෙන් හා IMF හට මාස තුනෙන් තුනට 2022 ලෝක වර්ධනය සම්බන්ධයෙන් වන පුරෝකථන පහළ දැමීමට සිදු වීමෙන් පෙන්වන්නේ ලෝක ධනපති ක්‍රමය පත්ව ඇති රෝගී භාවයයි. එම රෝගී භාවය ගැන “බොහෝ ආර්ථික විද්‍යාඥයින්ට” කිසිවක්ම හෝ නොතේරෙන බවයි.
එම ලිපියට අනුව “(ආර්ථිකය) එකතැන පල්වීම නැවතත් ඉදිරියට පැමිණ ඇත. Covid-19 නිසා ඇතිවූ ද්විත්ව කම්පනවලින් සහ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු, උද්ධමන අනුපාතයන් අපේක්ෂා කළ මට්ටම් ඉක්මවා ගොස් ඇත. බොහෝ රටවලදී ඒවා දශක කිහිපයකින් දුටු ඉහළම අගයන් කරා ළඟා වී ඇත. ආර්ථික වර්ධන අනාවැකි වේගයෙන් පිරිහෙමින් පවතී.”
ධනපති ක්‍රමය වෙනුවෙන් ලියන්නන් කිසි විටෙකත් මෙම ක්‍රමයේ නොහැකියාව නොදකී. මෙම ලිපිය තුළද Covid-19 හා රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම වෙත අඟිල්ල දිගු කරන්නේ ඒ නිසාය. එසේ වුවද එම ලිපිය තුළදීම ඔවුන්ට මෙසේද පිළි ගැනීමට සිදුව ඇත. “යුක්‍රේනයේ යුද්ධය ආරම්භ වීමට පෙර පවා වසංගතය විසින් සැපයුම් දාම බිඳ දැමීම නිසා භාණ්ඩ සඳහා ඉල්ලුම ඉහළ ගොස්, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝ කලාපයේ බොහෝ රටවල භාණ්ඩ මිල ගණන් දශක කිහිපයකින් දුටු ඉහළම මට්ටම් කරා පැමිණ තිබුණි.”
“එකතැන පල්වීම නැවත පැමිණීමේ අපේක්ෂාව විසින් ප්‍රතිපත්ති සම්පාදකයින් තුළ භීතියක් ඇති කරයි, මන්ද එය විසඳීමට ඇත්තේ මෙවලම් කිහිපයක් පමණක් නිසාය. පොලී අනුපාත ඉහළ නැංවීම උද්ධමනය අඩු කිරීමට උපකාරී විය හැකි නමුත් ණය ගැනීමේ පිරිවැය වැඩි වීම නිසා වර්ධනය තවදුරටත් පහත හෙලනු ඇත. මේ අතර, ලිහිල් මූල්‍ය ප්‍රතිපත්ති පවත්වා ගැනීම නිසා මිල ඉහළ යාමේ අවදානමක් පවතී.”
වත්මන් අර්බුදය විසින් පැහැදිලිවම ධනපති ක්‍රමයේ පවතින සීමාවන් නිරාවරණය කොට ඇත. තවදුරටත් මෙම ක්‍රමයට සාපේක්ෂ ලෙසින් හෝ ස්ථාවර ආර්ථික තත්ත්වයක් පවත්වාගෙන යාමට නොහැකි වී ඇත. 2001, 2007-09, 2020 ලෙසින් නැවත නැවත පැමිණි ආර්ථික අර්බුදයන් විසින් පෙන්නුම් කළේද මෙම සත්‍යයයි. 2020 අර්බුදයෙන් පසු ලෝකය යළි අර්බුදයට පෙර පැවති තත්ත්වයට පැමිණීමටත් පෙරාතුවම ධනපති ක්‍රමය තවත් අර්බුදයක ගැඹුර කොතෙක් වේද යන්න ගැන සාකච්චා කරයි.
ඔවුන්ගේ ක්‍රියාවන් මගින් ධනේශ්වරය පැන්ඩෝරාගේ පෙට්ටිය විවෘත කර ඇත. සෑම තැනකදීම ඔවුන් ධනවාදයේ ප්‍රතිවිරෝධතා තව තවත් ගැඹුරු කරමින් ස්ථාවරත්වයක් හෝ සමතුලිතතාවයක් වෙනුවෙන් පැවති සියළු දේ විනාශ කර දමා ඇත. ඔවුන් ඔවුන්ගේම ප්‍රචාරයන් විශ්වාස කරමින්, ධනේශ්වර අර්බුදය පුරෝකථනය කළ නොහැකි ආකාරයෙන් තීව්‍ර කර ඇත.
සමස්ත සන්දර්භය විසින් ශ්‍රී ලංකාව තුළත් ජාත්‍යන්තරවත් පන්ති අරගලයේ ප්‍රබල නැගිටීමක් සඳහා පදනම සකසා ඇත. උද්ධමනය විසින් ජීවන තත්ත්වයන් කප්පාදු කරන අතර ජීවන වියදම සිතාගත නොහැකි ලෙසින් ඉහළ යනු ඇත. කම්කරු පන්තියට සටන් කිරීම හැර වෙනත් විකල්පයක් ඉතිරි නොවනු ඇත.
පළමු ලෝක සංග්‍රාමයෙන් පසුව ලියොන් ට්‍රොට්ස්කි කියා සිටියේ, “සෑම රටකම විප්ලවවාදී මෝරායාමක් සඳහා වන ප්‍රබලම සාධකය ජීවන වියදම” බවයි. 1970 ගණන්වල විප්ලවවාදී අරගල න්‍යාය පත්‍රයට ගෙනෙමින් පන්ති අරගලය නව තලයකට ඔසවා තැබීමට හේතු වූයේද මෙම ප්‍රශ්නයයි. එම තත්ත්වය එදාටත් වඩා ඉතා ඉහළ මට්ටමකින් ලෝක පරිමාණවම නැවත සිදුවීමට ආසන්නව ඇත. ලංකාව තුළ එය මේ වනවිටත් පුපුරා ගොස්ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා අනතුරු ඇඟවූ පරිදි: “බඩගින්න බොහෝ විට සමාජ අසහනය සහ ප්‍රචණ්ඩත්වය අවුලුවාලන බව ඉතිහාසය පෙන්වා දී ඇත.”
විප්ලවයක් ඇති කරන්නේ උත්පාතය හෝ අවපාතය හෝ නොව, එකක් අනෙකට මාරුවීමේ ක්‍රියාවලියේදී ජනයාගේ විඥානය තුළ ඇති කරනු ලබන කම්පනයයි. මෑත කාලපරිච්ඡේදය තුළ සමාජ පිපිරීමක් වෙනුවෙන් අවශ්‍ය විශාල අමුද්‍රව්‍ය ප්‍රමාණයක් එකතු වී ඇත. ඉදිරියටද මෙම ප්‍රමාණය නිරන්තරයෙන් වැඩි වනු ඇත. අතීතයේ පැවති සාපේක්ෂ ස්ථාවරත්වය අවසන්ව ඇත. මෙය පන්ති අරගලයේ, යුද්ධයේ සහ විප්ලවයේ නව යුගයක් විවර කරනු ඇත. ලංකාවේ පාලකයන්ගේ බංකොලොත්භාවය නිසා අපට මෙම තත්වයට අනෙක් රටවලට කලින් මුහුණ දීමට සිදුව ඇත.
මෙම තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දෙමින් සමාජය සැබෑ පරිවර්තනයක් කරා ගෙනයාම වෙනුවෙන් විප්ලවවාදී පක්ෂයක් පැවතීම අත්‍යාවශ්‍යම කරුණකි. එය ගොඩ නැඟීම මේ මොහොතේ අප සතු පැහැර හැරිය නොහැකි වගකීමයි.