උපුටා ගැනීම: https://www.facebook.com/search/posts/?q=forward
පවතින අර්බුදයන්ට විසඳුම් සෙවීමට යමෙකුට අවංක වුවමනාවක් ඇත්නම්, ඔහු/ඇය පවතින ව්‍යවස්ථා රාමුවට සීමා නොවිය යුතු බව අපි පුන පුනා කියා ඇත්තෙමු. ඒ සමගම පාලකයින් විසින් පාර්ලිමේන්තු සෙප්පඩ විජ්ජාවලින් ජනතාව ගොනාට අන්දවා ගැනීම වෙනුවෙන් තවත් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම ගැනද කතා කරයි. බොහෝ ක්‍රියාකාරීන්ද දැන් ව්‍යවස්ථා රාමුවට සීමා වීමේ උගුලට හසු වී ඇත්තේ ජනප්‍රිය මාධ්‍ය සහ අධ්‍යාපන ක්‍රමය විසින් රාජ්‍යය හා එය වටා ඇති ව්‍යවස්ථාපිත නීති පද්ධතිය පාරිශුද්ධත්වයට නංවා ඇති බැවිනි. පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය විශ්වීයව පිළිගත් පාලන ක්‍රමය නමැති රෙදි කඩ වියන ලද නූල් පටවල් බවත් ඒවා වෙනස් කළ නොහැකි අදහස් ලෙස සලකන බවත් ඔවුන් විසින් අපට කීයා සිටී. එමනිසා, ධනේශ්වර රාජ්‍යයේ ව්‍යූහය හේතුකොටම අර්බුද වර්ධනය වන විට, තවදුරටත් එම සංකල්පවල පාරිශුද්ධ භාවය එම බලයේ වලංගුතාවය ජනතාව ඉදිරියේ හෙළිදරව් වීමට පටන් ගනී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු රාජ්‍යය රඳවා තබා ගන්නා සහ එහි ක්‍රියාකාරකම්වල සීමාවන් දක්වමින් එය මෙහෙයවන නෛතික පලංචියක් වැනිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංකල්පය හොඳින් තේරුම් ගැනීම වෙනුවෙන් අපට රාජ්‍යය ගැන – එය කුමක්ද, එය ඇති වූ ආකාරය සහ එයට මෙම නෛතික පලංචිය අවශ්‍ය වන්නේ ඇයි යන කරුණු ගැන – පැහැදිලි අවබෝධයක් තිබිය යුතුය..
රාජ්‍යය යනු අප සියල්ලන්ටම හුරුපුරුදු හා එය ඒ හැටියෙන් භාර ගන්නා දෙයකි. මේ නිසාම එහි සැබෑ හරය අපෙන් මග හැරී යාමට ඉඩක් පවතී. ධනපති ක්‍රමය වෙනුවෙන් මතවාදයන් ඉදිරිපත් කළ අය විසින් රාජ්‍යය යනු තර්කානුකූලව පැවතිය යුතුම එකක් ලෙසත්, එය මධ්‍යස්ථ බේරුම්කරුවෙකුගේ කාර්‍ය ඉටුකරන ආයතනයක් ලෙසත්, සාධරණත්වයේ ප්‍රතිමූර්තිය ලෙසත් දැක්වීමට විශාල උත්සාහයක් ගෙන තිබුණි. එහෙත්, රාජ්‍යය යනු කිසිසේත්ම මධ්‍යස්ථ හෝ සාධාරණ ආයතනයක් නොවේ.
රාජ්යය සෑම කාලයකම පැවතී නැත. එංගල්ස් පැහැදිලි කරන්නේ, “ඓතිහාසිකව, සමාජය සමහන් කළ නොහෙන තරමේ පන්ති ප්‍රතිවිරෝධතාවලින් වෙළෙන තත්ත්වයකට නිෂ්පාදන බලවේගයන් වර්ධනය වූ අවස්ථාවක දී රාජ්‍යය පැන නැගුණු” බවයි. පාලක, දේපල හිමි පන්තියේ කොටසක් වූ අය ධනය සහ බලය තම අතේ සංකේන්ද්‍රණය කර ගැනීමට කටයුතු කළහ. ඔවුන් තම ධනය භාවිතා කළේ පහළ පන්තිවලට ණය, බංකොලොත්භාවය සහ වහල්භාවය පැටවීමටය. නීතියෙන් මේ සියල්ල අනුමත කිරීම වෙනුවෙන් රාජ්‍යය නමැති නව ආයුධය භාවිතා කරන්නට විය. මුලින්ම ඇතැන්ස්හි රාජ්‍ය බලයේ නැගීම යනු සෑම ආකාරයකින්ම ධනවතුන් විසින් දුප්පතුන් කෙරෙහි තම නග්න පන්ති පාලනය තහවුරු කිරීම හැර අන් කිසිවක් නොවීය.
රාජ්‍යය පන්ති සමාජයෙන් වෙන් කළ නොහැකිය. අවසාන වශයෙන්, එය පවතින තත්ත්වය සහ දේපළවල පරිශුද්ධභාවය සහතික කරමින්, ජනතාව පීඩාවට පත් කිරීමටත්, ජනතාව මර්ධනය කිරීමටත් පාලක පන්තිය විසින් භාවිතා කරනු ලබන උපකරණයකි. නූතන රාජ්‍යය වෙනත් බොහෝ කාර්යයන් ඉටු කළද, ඒවා දේපල සම්බන්ධතා ආරක්ෂා කිරීම වෙනුවෙන් වන එහි සැබෑ පදනමට ද්විතියික වේ. මෙය ඉටු කිරීම සඳහා, එයට “සන්නද්ධ හමුදා” සහ හිංසනය භාවිතා කිරීමේ ඒකාධිකාරයක් අවශ්‍ය වේ.
අද රාජ්‍යය යනු හුදෙක් රටේ ධනවත්ම පුද්ගලයන් සහ ඔවුන්ගේ හමුදාවන්ගේ එකතුවක් නොවේ. පැහැදිලිවම සම්පූර්ණ ව්‍යවස්ථාපිත නීති රීති මාලාවක් එයට පවතී. රාජ්‍යයේ විවිධ අංශ (ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය) වෙන් කිරීම, මානව හිමිකම් යන්ත්‍රණ හා අනෙකුත් නෛතික සහ දේශපාලන යාන්ත්‍රණයන් රාශියක් හරහා වර්තමාන රාජ්‍යයට එහි බලතල සීමා කිරීම් ඇත. මෙම අයිතිවාසිකම් ඕනෑම පුද්ගලයෙකුට න්‍යායාත්මකව, අධිකරණය හරහා බලාත්මක කර ගැනීමටද හැකියාව ඇත. අද නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රාජ්‍යයේ ස්වාධීනත්වය සහ මධ්‍යස්ථභාවය පිළිබඳ සහතිකය ලෙස සැලකන්නේ මේ නිසාය. නමුත් මෙය මිත්‍යාවකි. අද රාජ්‍යය පවතින්නේ පන්ති අරගලය තුළ භාවිතා කෙරෙන ප්‍රබලම ආයුධයක් ලෙසිනි. එය ‘ව්‍යවස්ථාව’ වැනි ලේබල්වලින් හා නිල ලාංඡනවලින් සැරසීමෙන් මෙම මූලික කරුණ වෙනස් කළ නොහැකිය.
ධනේශ්වර ක්‍රමය විසින් පාරම්පරිකව ලැබුණු දේශපාලන බලය වෙනුවට සැමට (දේපල හිමිකරුවන්ට) සමාන දේශපාලන බලය වැනි අදහස් ගෙන ආවේය. තේරී පත් වූ නියෝජිතයන්ගෙන් සැදුම් ලත් පාර්ලිමේන්තුවට නීති සම්පාදනය කිරීමේ බලය හිමි විය. ඊට අමතරව, විධායක ක්‍රියාමාර්ග අධිකරණය හරහා සීමා කළ හැකිය. මුලදී සීමිත ස්වරූපයෙන් වුවද ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය සමාන ලෙස ක්‍රියාත්මක කිරීම සහ තමන් කැමති අයෙක් වෙනුවෙන් වැඩ කිරීමේ නිදහස ධනේශ්වර ක්‍රමයේ කේන්ද්‍රීය ලක්ෂණ විය. අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටස් ලෙස සැළකෙන සංකල්පවල පදනම වූයේ මේවාය.
මේ සියල්ලෙන් මතු වන ප්‍රශ්නයක් ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය නීති මුලින්ම ඇති වූයේ ඇයි? පාලක පන්තිය, තම පන්තිය විසින් අනෙක් කොටස් නග්න ලෙස පීඩනයකට ලක්කිරීමේ ස්වරූපය අඛන්ඩව පවත්වා ගැනීම වෙනුවට, ‘සංවරණ හා සංතුලන’ මගින් තම අවශ්‍යතා සඳහා ක්‍රියාත්මක වන වෙනත් අයගෙන් සමන්විත රාජ්‍යයකට විධිමත් ලෙසත්, නීත්‍යානුකූල ලෙසත් වෙන්ව සිටීමට ඉඩ දී ඇත්තේ මක් නිසාද?
‘නීතියේ ආධිපත්‍යය’ වැනි වාක්‍ය ඛණ්ඩ මඟින් මෙම පන්ති පීඩක උපකරණය සඟවා තැබීමට ඇති හැකියාව පහසු කරන බව සත්‍යයකි. එහෙත් ධනපති පන්තියට තම සූරාකෑම වසන් කිරීම සඳහා මතවාදී කඩතුරාවක් ලෙසින් මෙය පවත්වාගත යුතුය යනුවෙන් පමණක් මෙම ප්‍රශ්නවලට පිළිතුරු දීම ප්‍රමාණවත් නොවේ. එවැනි මතවාදී කඩතුරාවක් අවශ්‍යව ඇත්තේ ඇයිද යන්න එයින් පැහැදිලි නොවේ. ධනේශ්වර සූරාකෑමට ඉඩ සැලසීම වෙනුවෙන් ව්‍යවස්ථාමය යාන්ත්‍රණයක් වුවමනා වන්නේ ඇයි? ඒ වෙනුවට වෙනත් දෙයක් භාවිතා නිවන්නේ ඇයි?
පිළිතුර නම් ව්‍යවස්ථාපිත නීතිය යනු යමෙක් අහම්බෙන් සිහිනෙන් දුටු හොඳ අදහසක් පමණක් නොවන බවත් එහි ආකෘතිය මෙන්ම එහි අන්තර්ගතයද භාණ්ඩ හුවමාරුවෙන් හා ධනේශ්වර නිෂ්පාදන මාදිලියේ වර්ධනයෙන් වෙන් කළ නොහැකි බවත්ය.
තරඟකාරීත්වය යනු ධනපති ක්‍රමයේ නිසඟ ලක්ෂණයකි. මෙම තරඟකාරීත්වය නිසා ධනපති පන්තිය අතරේම විවිධ ලෙස කාණ්ඩ ගැසීම් සිදු වෙයි. මේ නිසා ධනපති පන්තියේ යම් කොටසක් බලය ලබා ගනිමින් තම පංතියේම තවත් කොටසකගේ පැවැත්මට එරෙහිව කටයුතු කිරීම වැළැක්වීමට ධනපති ක්‍රමයට මුල සිටම අවශ්‍ය විය. ව්‍යවස්ථානුකූල රාජ්‍ය ධනපති ක්‍රමය විසින් යොදා ගන්නේ මේ වෙනුවෙනි.
මෙම ව්‍යවස්ථානුකූලවාදය ගැන ‘රජය හා විප්ලවය’ කෘතිය තුළ ලෙනින් විසින් සාකච්ඡා කොට ඇත. ඔහු ව්‍යවස්ථාපිත රාජ්‍යයක් යන්න “ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක්” ලෙස හඳුන්වයි. ඔහු මෙසේ කියයි: “ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් තුළ ‘ධනයෙ’ හි ආධිපත්‍ය වඩාත් නිසැක ලෙස තහවුරු වීමේ තවත් හේතුවක් නම්, එය ධනවාදයේ දේශපාලන දෝෂ මත හෝ ධනවාදයේ දෝෂ සහිත දේශපාලන ආවරණය මත රඳා නොසිටීමයි. ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් යනු ධනවාදය සඳහා විය හැකි හොඳම දේශපාලන ආවරණය වන අතර, එබැවින්, ප්‍රාග්ධනය විසින් මෙම හොඳම ආවරණය අත්පත් කරගත් පසු… ධනේශ්වර ක්‍රමය තුළ පුද්ගලයන්, ආයතන හෝ පක්ෂවල සිදුවන වෙනස්කම් අනුව කම්පනය නොවන ආකාරයට එය ඉතා සුරක්ෂිතවත්, ස්ථිරවත් සිය බලය තහවුරු කර ගනී.”
ලෙනින් මෙහිදී පැහැදිලි කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් හෝ ව්‍යවස්ථාපිත රාජ්‍යයක් විසින් ධනවාදය එම රාජ්‍යයේ අත්තිවාරම් තුළටම – එය ක්‍රියාත්මක වන නීති රීති තුළටම – කාවද්දන බවයි. මක්නිසාද යත්, ඉහත පැහැදිලි කළ පරිදි, එය භාණ්ඩ හුවමාරුව සහ සියළු දෙනාට සමාන නෛතික අයිතිවාසිකම් වැනි කරුණු මත පදනම් වන බැවිනි. මෙය ස්ථාපිත වූ පසු, දේශපාලන පක්ෂ, පුද්ගලයින් සහ ආයතනවලට යාමට හා ඒමට හැකි නමුත් ඒවා සියල්ලේම සීමාවන් ධනේශ්වර ක්‍රමයේ නීති සහ “ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ” ව්‍යවස්ථාපිත නීති මගින් තීරණය කරනු ඇත. එවැනි රාජ්‍යයක් “ධනවාදය සඳහා හැකි හොඳම දේශපාලන ආවරණය” බව ලෙනින් පවසන්නේ එබැවිනි.
සෑම දෙයකටම මෙන් මෙයටත් යම් සීමාවන් ඇත, ධනවාදය යටතේම පාලක පන්තියට තමන්ව බලය තබා ගැනීම වෙනුවෙන්, 20 වැනි සියවසේ අප දුටු ආකාරයේ ෆැසිස්ට් පාලන තන්ත‍්‍ර වැනි ව්‍යවස්ථා විරෝධී උපක්‍රමවලට යොමු වීමට සිදුවන අවස්ථා ඇති බැවිනි. එසේම, අර්බුදකාරී කාලවලදී, ජාතික ධනේශ්වරයේ අවශ්‍යතා තවදුරටත් ‘නීතියේ ආධිපත්‍යය’ හරහා සහතික කළ නොහැකි වූ විට, පළමු හා දෙවන ලෝක යුද්ධවලදී වූවාක් මෙන් නව ලෝක රටාවක් ස්ථාපිත කිරීමට යුද්ධ පැන නගී. අධිරාජ්‍යවාදයන්ගේ නැඟීමේදී ඊනියා ‘නීතියේ ආධිපත්‍යය’ යටත් විජිත ජනයාට අදාළ නොවීය. අසමාන හුවමාරු පදනම මත ඔවුන්ගෙන් ධනය උදුරා ගත් අතර, ඒ වෙනුවෙන් “සන්නද්ධ හමුදා” භාවිතා කිරීමට අවශ්‍ය විය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය නීතිය ඇතුළු සියලුම නීති යනු සමාජය තුළ ක්‍රියාත්මක වන සැබෑ පන්ති බලවේගවල පිළිබිඹුවකි. මේ මොහොතේ එය පිළිබිඹු කරන්නේ අද ජනතාවගේ ව්‍යසනයට වගකිව යුතු ගෝලීය ධනවාදයේ සැබෑ අවශ්‍යතාය. අප කළ යුත්තේ මේ ධනේශ්වර පාලනයේ යාන්ත්‍රණයට කොටු නොවී ඉන් මිදීමයි. කම්කරුවන්ගේ සහ පීඩිත ජනතාවගේ සභා මත පදනම් වූ නව ක්‍රමයක් අපට අවශ්‍ය වන්නේ එබැවිනි.