උපාලි රත්නායක විසිනි
ඉස්සර පැරිස් කොමියුනය ගැන කතා අපට හරි ආස්වාදයක් උනා. අපේ රටේ එවැන්නක් ගොඩ නැගෙන්නේ කවදාදැයි අපි සිහින මවා ගත්ත කාළයක් තිබුණා. ඛේදවාචකයක් ලෙස අවසන් නොවන ජයග්‍රහණය තෙක් පෙරට යන පැරිස් කොමියුනයක් සහ එයිනුත් ඔබ්බට ගිහින් සමානාත්මතාවය සහිත සමාජයක් ගොඩ නැගීම වෙනුවෙන් අපේ අය කල කැපකිරීම් අනන්තයි. අප්‍රමාණයි. මෙන්න දැන් ඒ වගේ සමාජයක මූල බීජයක් ගාලු මුවදොර මතු වෙලා.
වමේ පක්ෂ පොත් පත්තර පිටු දහස් ගණනක ලියලා බලෙන් පොවන්න උත්සාහ කල ආගමික ජන වාර්ගික සමාජීය සහජීවනය නා කපන මහා වැසි මැද ගොඩ නැගෙන අන්දම ඇත්තෙන්ම ආශ්වාදජනක යි. මේ තමයි පැරිස් කොමියුනයේ නුතන ශ්‍රී ලාංකික මොඩලය.
මේ අරගලයට දායක වෙලා ඉන්න සියලු දෙනාම දේශපාලනික යි. ඒක ඇත්ත. ඔවුන් අගයන අනුගත වන සහ අනුමත කරන විවිධ දේශපාලන පක්ෂ සහ ව්‍යාපාර ද තියෙන බවත් ඇත්ත. ඒත් මේ ජන අරගලය තනි පක්ෂයක නායකත්වයෙන් සිදු වන එකක් නොවෙයි. දිනපතාම අලුත් අලුත් පිරිස් එයට එක් වන්නේත් ඒ නිර්පාක්ෂික ස්වභාවය නිසාමයි. ආණ්ඩුව මෙතරම් සසල වී තිබෙන්නෙත් ඒ නිසාමයි. දැන් මේ අරගලය තමන්ගේ අණසක යටතට ගන්න දත මදින පක්ෂවලට පාර්ලිමේන්තුවේ බෙරිහන් දීලා කර ගන්න බැරි උන දේවල් මේ ජන බලය විසින් දැනටම ඉටු කරලා ඉවරයි.
ඒ නිසා මේ අරගලය තනි පක්ෂයක නායකත්වයට නතු වුණොත් මෙහි ජීව ගුණය නැවුම් අරගල විලාසය ජන ආකර්ෂණය ආදී සියල්ල ඔද්දල් වෙනවා. එතකොට ආණ්ඩුවට බලවත් සටන් පාඨයක් ලැබෙනවා. ඒ හින්දා “උද්ඝෝෂණ කරන්න දන්නේ අපි විතරයි. අපේ නායකත්වය නැති වුණොත් අරගල විනාශයි” වගේ ආකල්ප තිබෙන දේශපාලන පක්ෂ මේ ජනතාව ජීවමානව පෙන්වලා තියෙන අලුත් අරගල මාදිලිය ඉගෙන ගන්න තරම් නිහතමානී වීමයි අවශ්‍ය වන්නේ. මේ නවමු අරගල මාදිලිය තුළ එයට උචිත නායකත්වය සාමූහිකව බිහි වෙයි. පිටින් නායකත්වය පටවන්න ඕනේ නෑ.
කකුලේ ප්‍රමාණය ට සපත්තුව හදනවා මිස සපත්තුවට ගැලපෙන ආකාරයට කකුල නම් කපන්න ලෑස්ති වෙන්න එපා කියලා අරගලයට සම්බන්ධ සහ එයට ආසිරි පතන බොහෝ දෙනා කියනවා ඇති.