” ..සීදූවේ මුහුදු වෙරළ “..ළමා චිත්‍රයක ඇති වියුක්ත ගුණය


චාල්ස් දයානන්ද විසිනි


 රවිඳු හර්ෂණ ලේකම්ගේ දරුවා මීට අවුරුදු 20 ට පමණ පෙර අවුරුදු 7 දී මේ චිත්‍රය අදින ලදී .මෙය දුටු මොහොතේ මා විශ්මයට පත් වූ නිසාම මෙය මා ලග සුරැකිව තබා ගතිමි .නූතන වියුක්ත ශිල්පියෙක් ගේ තරමට ප්‍රබල ප්‍රකාශන ගුනයක් එදින මම දුටිමි .

          ඔහු කීවේ ගිය සතියේ සීදූවේ නෑ ගෙදරක ගිය ගමන් මුහුදේ නාන්න ගිය අවස්තාව ඇදපු බවයි .
            ඊයේ මේ දරුවාගේ දෙමාපියන් අවුරුදු සුභ පැතීම සදහා කතා කල වෙලේ ඔහු ගැන විමසුවෙමි .දැන් ඔහු කැනඩාවේ පශ්චාත් උපාධිය කරමින් සිටින බව ඇසීමෙන් ඇති වූ සතුට නිසාම මේ චිත්‍රය පලකිරීමට සිතුවෙමි .
              මීට කලකට පෙර මහනුවර රෝහලේ සිටි ස්නායු විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය මා හමුවී ලමාචිත්‍ර පංතියක් ආරම්භ කරන ලෙස යෝජනා කලේය .මා ඊට අකැමැති වූයේ ලමාචිත්‍ර ඉගැන්වීම යන දේට මා විරුද්ධ නිසාය .නමුත් ඇය දිගටම මට ඇවිටිලි කරන විට මම මෙසේ ඇසුවෙමි .”..ඔබ වෛද්‍ය වරියක්..ඇයි ඔබේ දරුවන්ට චිත්‍ර උගන්වන්න මෙතරම් උනන්දු වන්නෙ..”
      ඇගේ පිලිතුර වූයේ “..මා ස්නායු වෛද්‍ය විශේෂ්ඥ වරියක් .මම දන්නවා කුඩා දරුවන්ගේ බුද්ධි සංවර්ධනය ට,චින්තනය ට ,විමර්ශනයට අවශ්‍ය ම විෂය චිත්‍ර බව ..”
           ඇගේ මැදිහත් වීම මත තවත් වෛද්‍ය වරු හා ගුරුවරුන් රැසකගේ දරුවන් පිරිසක් සමග අපි එය ඇරඹුවේ පංතියක් ලෙස නොව ලමා බුද්ධිසංවර්ධන වැඩ සටහනක් ලෙසයි .සතිපතා වසර කීපයක් කල එම ලමාචිත්‍ර වැඩ සටහන තුල සිටි එක් දරුවෙක් තමයි රවිඳු …අනෙක් සියලු දරුවන් අද වෛද්‍ය ..ඉංජිනේරු වැනි අය බවට පත්ව ඇත .පද්මා ගුණරත්න මහත්මිය ගේ දරුවන් දෙදෙනාම වෛද්‍ය වරුන් ය.
             ලමාචිත්‍ර බුද්ධිසංවර්ධන යේ පදනම වේ.ඒ බව අවබෝධයෙන් එය කල යුතුය .විභාග ,තරග,හා මුදල්  අරමුණ ඇතිව ලමාචිත්‍ර පංති පැවැත්වීම ගැන අපගේ නම් එතරම් කැමැත්තක් නැති බවද කිවයුතුය. ලමයින්ට චිත්‍ර ඉගැන්වීම නොකල යුතුය. ලමයින් ගෙන් ඉගෙන ගතයුතුය.

Loading