ශී‍්‍ර ලංකාවෙන් සුභපැතුම්

ආසියානු කොමියුනය නමින් ආසියානු රටවල්වල කම්කරුවන් සහ වෙනත් පීඩිත ජනතාව ඒකරාශි කිරීමට ඉඩ කඩ සැලසෙන වෙබ් ජාලයක් ආරම්භ කිරීම කාලීන අවශ්‍යතාවයකි. ආසියාවේ පමණක් නොව ලෝකයේ සෑම රටකම නව ලිබරල් ප‍්‍රතිපත්තිවලින් බැටකන වැඩ කරණ ජනතාව විවිධාකාරයෙන් එම ප‍්‍රතිපත්තිවලට එරෙහිව විවිධාකාරවූ අරගලවල යෙදෙති. එම අරගලවල දී ඔවුන් එකිනෙකට වෙනස් අත්දැකීම් ලබති. ධනපති රටවල අරගලවලදී එක් ආකාරයකිනුත් තුන්වැනි ලෝකයේ රටවල තව ආකාරයකිනුත් මෙසේ අරගලවල යෙදෙන ජනතාව එකම ආකාරයේ මර්ධනයකට මුහුණ දෙමින් සිටිති. මෙයින් තුන්වැනි ලෝකයේ රටවල ජනතාව මුහුණ දෙන මර්ධනය බිහිසුණුය.

ලංකාව තුලද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස අරගලවලට සැලසී තිබූ ඉඩ කඩ ක‍්‍රමාණුකූලව අහෝසිකරමින් පවතී. අද රටේ පාලනය ආණ්ඩුවෙන් ගිලිහී අවසන්ය මේ වන විට භාණ්ඩ නිෂ්පාදනය, භාණ්ඩවල මිල නියම කිරීම, ශ‍්‍රමයේ මිල නියම කිරීම ආදී සෑම කටයුත්තක්ම සමාගම් හිමියන්ගේ පාලනයේ පවතී. රටේ පවතින ජාතික සම්පත් සමාගම්වල තැරැව්කරුවන්ගේ අවශ්‍යතාවය මත විකිණෙමින් පවතී. ඒවාට විරුද්ධවන්නන් සිපිරිගෙවල්වලට ගාල් කරති. ජනතා විරෝධය නිසා නොවිකිණී පවතින නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යය සේවය පුද්ගලික අංශයට විකුණමින් ඇත. රජයේ පාලනය යටතේ පවතින්නේ හමුදාවන් සහ පොලිසි පමණි. එයද සමාගම් හිමියන්ගේ අවශ්‍යතාවය පිණිස ඔවුන්ගේ ක්‍රියාවලට විරුද්ධවන ජනතාව මර්ධනයටය.

‍මෙම තත්වය බොහෝ දුගී රටවලට පොදුය. එම තත්වයට විකල්ප විසඳුමක් අරගලවල යෙදෙන ජනතාව ඉල්ලා සිටිති. ධනපති ක‍්‍රමය පෙරලා නොදමා එයට ප‍්‍රතිසංස්කරණ සිදු කිරීම ප‍්‍රමාණවත් යයි සිතන මතවාදයන් ඉතා ජනප‍්‍රියය. නමුත් කොරෝනා වසංගතය මෙම මිත්‍යාවන් සියල්ල අහෝසි කර දමා ඇත. එසේ ධනපති ක‍්‍රමයට කරන ප‍්‍රතිසංස්කරණවලින් ලෝකය ගොඩගත නොහැකි බව ඔප්පු වී හමාරය. අද විකල්ප වමකට ඉඩ විවර වී ඇත. දැන් ඇත්තේ පීඩිතයන් අතට බලය ලබා ගැනීමේ උපාය මාර්‍ග දියත් කිරීමය. ඉන්දියානු ගොවියන් අපට හොඳ ආදර්ශයක් පෙන්වා ඇත. තවත් රටවල ජනතාව වෙනත් ආකාරයේ අත්දැකීම් ලබා ඇත. මෙම අත්දැකීම් හුවමාරු කර ගන්නා අතරම එම අරගල සහ අත්දැකීම් ඒකරාශි කරන මාධ්‍යයක් අද අවශ්‍යව ඇත. ධනපති දේශපාලන පක්ෂ වටා ගොනු වී සිටින වැඩ කරන ජනතාව ඒවායින් ගලවා ගන්නා දේශපාලන ව්‍යාපාරයක් අද දින අවශ්‍යව ඇත. Asian Commune එම අවශ්‍යතාව සපුරනු ඇතැයි අපේ අපේක්‍ෂාවයි.

විජේපාල වීරකෝන්

භාණ්ඩාගාරික

වාණිජ හා කාර්මික සේවක සංගමය

Loading