මේ ඉල්ලන නීති සංශෝධනවලට ඉඩ නොදෙමු!

විජේපාල වීරකෝන් විසිනි

රටේ ජනතාවගේ ජීවන බර අඩු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා වෙනුවට ආණ්ඩුව මේ දිනවල දැනට රටේ කම්කරු ජනතාවට බලපාන නීති රීති සංශෝධනය කිරීම සඳහා පුදුම හදිස්සියකින් කටයුතු කරමින් සිටී. රටක කම්කරු නීති සකස් වී ඇත්තේ පාලකයින්ට අවශ්‍ය අවශ්‍ය ආකාරයට කම්කරුවන්ට පීඩා කරමින් වැඩ ගැනීමට විරුද්ධව කම්කරුවන්ගේ අයිතිවාසිකම් රැකෙන අයුරින් සේවය ලබාදීම සඳහාය. එම නීති අතීතයේ කම්කරුවන් දිවි පුදා සටන් කර ලබාගත් ප්‍රතිඵල වේ. අප සැම දන්නා පරිදි අතීතයේ දී හාම්පුතුන් මිනිසුන් ගෙන් වැඩ ගත්තේ වහලුන්ගෙන් වැඩ ගන්නා ආකාරයටය. නමුත් එම වහලුන්ට මිනිසුන් මෙන් සැලකීමට හාම්පුතුන්ට සිදුවූයේ කම්කරුවන් මෙම අරගල මගින් දිනාගත් කම්කරු නීතිරීති වලට පින් සිදු වන්නටය.

දැන් රනිල් රාජපක්ෂ ආණ්ඩුව උත්සාහ කරන්නේ එම කම්කරුවන් සිය දිවි පරදුවට තබා දිනාගත් එම කම්කරුවන්ගේ රැකියාවන් සහ ජීවිත ආරක්ෂා කරන්නා වූ නීති රීති වෙනස් කර හාම්පුතුන්ට අවශ්‍ය ආකාරයට සේවකයින් සූරා කමින් තම ලාභ වැඩි කර ගැනීමට ඉඩ සැලැස්වීමටය. දැනට කම්කරුවන් මෙසේ දිනාගත් නීති රීීති තිබුනද 1978 විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසුව නිදහස් වෙළඳ කලාපවල මෙම නීති ක්‍රියාත්මක නොවේ. මේ වන විට වෘත්තීය සමිති පිහිටුවා නැති සෑම ආයතනයකම පාහේ පාලකයන් මෙම නීති කඩ කරමින් තම මනාපයට කටයුතු කරමින් සිටී. අද වන විට එම නීති විරෝධී ක්‍රීයා නීතිගත කිරීමට ඉල්ලන්නේ ආණ්ඩුවේ අනුග්‍රහය ලබන මෙම වංචනික සමාගම් හිමියන්ය. ඔවුන්ගේ එම නීති විරෝධී ක්‍රියාවලින් සමාගම් ගලවා ගැනීමට හාම්පුතුන්ගේ සම්මේලනයේ නීතීඥයන් පිරිස සැදී පැහැදී සිටී.

හාම්පුතුන් විසින් එසේ වෙනස් කරන ලෙස ඉල්ලන නීති රීති මොනවාද?

1. මෙම මැයි මස 1 දින අපි මැයි දිනය සැමරුවෙමු. මැයි දිනයේදී අප සමරන්නේ දිනකට පැය දාහතරක් දාසයක් වැඩ කළ සේවකයන් ගේ සේවා කාලය පැය 8කට සීමා කිරීම සඳහා කළ අරගලය සිහිපත් කිරීමටය. ලංකාවේ නීති රීතිවලින් ද සුරක්ෂිත කර ඇති පැය අටේ වැඩ දිනය පැය 12ක් දක්වා දීර්ඝ කර දින හතරක වැඩ කරන සතියක් හඳුන්වා දී ඉතිරි දින තුනට වැටුප් නොගෙවා සිටීමට ඉඩ දෙන ලෙස හාම්පුතුන්ගේ එක් ඉල්ලීමකි.

2. සේවකයන්ගේ කැමැත්ත නොවිමසා මසක් කල් දී වන්දි සමග සේවකයන් සේවයෙන් ඉවත් කිරීමේ අයිතිය තවත් ඉල්ලීමකි. දැනට පවත්නා නීතිය අනුව විනය විරෝධී කටයුත්තක් නොවේ නම් යම්කිසි සේවකයෙකු අස් කිරීමට කම්කරු කොමසාරිස් වරයාගේ ලිඛිත අවසරය ලබාගෙන ඔහු යෝජනා කරන වන්දියක් ගෙවිය යුතුය. කොවිඩ් වසංගත සමය තුළ සේවකයන් ලක්ෂ ගණනකගේ රැකියාවන් සුරැකුනේ මෙම නීතිය නිසා ය.

3. අමුද්‍රව්‍ය හිඟය, මැෂින් කැඩීයාම, වසංගත වැනි හාම්පුතාට පාලනය කරගත නොහැකි අවස්ථාවන්වල දී සේවකයන්ට අර්ධ වැටුප් ලබාදීමට හෝ වැටුප් නොගෙවා සිටීමට කොමසාරිස්වරයා විසින් හාම්පුතුන්ට අවසර ලබා දිය යුතුය.

4.1. කම්කරු උසාවි වලින් සේවකයෙකු සේවය නැවත පිහිටුවන ලෙස නියෝග දී ඇති අවස්ථාවක රැකියාව වෙනුවට වන්දියක් ගෙවීමට හාම්පුතාට ඉඩ දිය යුතුය.

4.2 කම්කරුවන්ට කම්කරු උසාවියට යාමට ඉඩ දිය යුත්තේ විනය විරෝධී කටයුත්තක් සඳහා හෝ සේවයෙන් ඉල්ලා අස්වීම් සහ සැලසුම් කළ සේවයෙන් පහ කිරීම සඳහා පමණි.

5. සාප්පු සහ කාර්යාල සේවක පනතේ ඇති කාන්තාවන්ගෙන් රාත්‍රි වැඩ ගැනීමට ඇති බාධාවන් ඉවත් කළ යුතුය.

කම්හල් වල සේවය කරන කාන්තාවන්ගෙන් රාත්‍රි වැඩ ගැනීමට දී ඇති දින 10 සීමාව දින 15 දක්වා වැඩි කළ යුතුය.

6. සාප්පු සහ කාර්යාල සේවක පනතේ ඇති නිලධාරී ශ්‍රේණියට ඉහළ ශ්‍රේණිවල අයට අතිකාල නොගෙවා  සිටීමට ඇති බාධා ඉවත් කළ යුතුය.

7. වැඩ කරන දිනක සේවකයන් කැමති වෙලාවක නියමිත පැය ගණන වැඩ කිරීමට ඉඩ දිය යුතුය.

8. සතියකට වැඩ කළ යුතු වැඩ පැය ප්‍රමාණය සතියේ දින හතරක් තුළ දිනකට පැය 12 බැගින් ලබා ගැනීමට ඉඩ දිය යුතුය. ඉතිරි දින තුනට වැටුප් ගෙවනු නොලැබේ. අර්ධ රැකියා හඳුන්වා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.

9. අවම වැටුපක් තීරණය කරන අවස්ථාවක හැර පුද්ගලික අංශයේ වැටුප් ප්‍රශ්න වලට ආණ්ඩුව අත නොදැමිය යුතුය. මෙයින් පවසන්නේ පඩි පාලක සභා අහෝසි කරන ලෙසය.

10. සේව්‍ය-සේවක ගැටලුවලට මැදිහත් දීමේදී වැඩිපුර කාලය වැය වන බැවින් ඒ සඳහා කම්කරු දෙපාර්තමේන්තුව මැදිහත් නොවිය යුතුය. එම ප්‍රශ්නය විිසඳා ගැනීමට සේවකයා සහ හාම්පුතාටම ඉඩ දිය යුතුය.

11. වැඩ වර්ජනය කරන අවස්ථාවකදී ඒ සඳහා සේවක කැමැත්ත රහස් ඡන්දයකින් ලබාගත යුතුය.

12. මෑන්පවර් වැනි තාවකාලික සේවකයනගේ සේවය ලබා ගැනීමට ඉඩ කඩ ලබාදිය යුතුය. අද කම්කරුවන් මුහුණ දෙන ප්‍රධානම ප්‍රශ්නයක් වන්නේ තමන්ගේ හෙට දවස අභියෝගයට ලක් කරන මෙම ම්ලේච්ඡ ඉල්ලීම් ක්‍රියාත්මක කිරීමට අප ආණ්ඩුවට හා ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ට ඉඩ දෙනවාද යන්නය. එම අභියෝගයට මුහුණ දීමට වැඩ කරන ජනතාව වන අපි එක මිටට එක්වෙමු.

විජේපාල වීරකෝන්

Loading