ඥානසිරි කොත්තිගොඩ විසිනි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් එළියට පැමිණ හෙතෙම පළමුවෙන්ම ගියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අතරට. පාර්ලිමේන්තුවත්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා කළා කියමින් ඔවුන්ට ස්තුති කළා. ඉන්පසු පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දයෙන් ජනාධිපතිධූරය ලැබුනාට පසුව මුලින්ම ගියේ අකුරේගොඩ හමුදා සංකීර්ණයට. දැන් ජනාධිපති ගේ බලයට අභියෝග කරමින් රටපුරා මහජන විරෝධයක් ගොඩනැගිල තිබෙන්නෙ. එමනිසා ජනාධිපතිකම ආරක්ෂා කරදෙන්න කියල මෙවර භාරදීල තිබෙන්නේ දේශීය කට්ටියට නෙවෙයි. United States Indo-Pacific Command (USINDOPACOM) නමින් හැඳින්වෙන ඇමරිකාවේ නායකත්වයෙන් පිහිටුවා තිබෙන එක්සත් ජනපද ඉන්දු-ශාන්තිකර විධානයට.
වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ස්ථාවර කරදීම වෙනුවෙන් පසුගිය පෙබරවාරි 14 දා එලෙස පැමිණියේ ඉන්දු පැසිෆික් ආරක්ෂක කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් ජෙඩිඩියා රෝයල් (Jedidiah Royal) ගේ නායකත්වයෙන්. මේ යැංකි ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමේ පිරිස 30කට ආසන්න බව ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා. මොවුන් පිට සක්වළ ජීවීන් ලෙස කටුනායකට පැමිණ තිබුනේ එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් C-17 Globe masters ගුවන් යානා දෙකකින් රාත්‍රියේ ඉතාමත් රහසිගතව. ඉන්පසු ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානීන්, බුද්ධි අංශ ප්‍රධානීන්, ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් හා ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ඡාකර අතුරුදහන් වුනා. රනිල් හැර මින් පෙර කිසිදු ජනාධිපතිවරයෙක් මෙලෙස කටයුතු කර නැහැ.
මේ ශාන්තිකර යැංකියන් ගේ ආගමනය සිදුවුනේ වික්ටෝරියා නූලන්ඩ් ඇමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය කොළඹ පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සති දෙකක් ගතවී යාමටත් කලින්.
ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ගැටලු කඩිනමින් විසඳා ගැනීම සඳහා ඇමෙරිකාව අඛණ්ඩව සහාය දක්වන බව ප්‍රකාශ කළ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකරනු ලබන සාකච්ජා සම්බන්ධයෙන් ද එක්සත් ජනපද ලේකම්වරිය අවධානය යොමුකළ බව ජනාධිපති කාර්යාංශය පැවසුව.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) තීරණ ගැනීමේ වැඩි බලයක් තිබෙන්නේ ඇමරිකාවට. ඒවා 2 වන ලෝක යුද්ධයෙන් පස්සෙ බ්‍රෙටන්වුඩ් සම්මුතිය හරහා ඇති කරගත් එකඟතාවයන්. ඒ නිසා ලංකාවට ලබා දී ඇති ණය පිළිබඳව චීනය මොන තීන්දුවක් ගත්තත් IMF එක අනුමත කරපු ඩොලර් බිලියන 2. 9 මුදල ලංකාවට ලැබීමේ සම්භාවිතාවය වැඩියි. මේක දන්නා නිසා තමයි ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රයේ නිරත ව්‍යාපාරිකයන් සමඟ පැවති හමුවකට එක් වෙමින් ජනාධිපති රනිල් කියන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සම්පූර්ණ කළ යුතු කොන්දේසි 15 වම මේවන විට සම්පූර්ණ කළා කියල. හැබැයි ඒ කොන්දේසි 15 මොනවද කියල රනිල් කියන්නෙ නැහැ. ඒවා ඔක්කොම IMF කොන්දේසි වෙන්න බැහැ. IMF කොන්දේසි නොවේ නම් චීනය නොතකා ඇමරිකාවේ බලය මත ඩොලර් බිලියන 2. 9 මුදල අපට දීම වෙනුවෙන් ඇමරිකාවට අපෙන් දෙන්න එකඟ වුනේ මොනවද? ජනාධිපති රනිල් රටට හෙළිකළ යුතුයි.
මහජන ප්‍රසාදය නැති පාලකයන් හැමවිටම විශ්වාසය තබන්නේ සිය හමුදාවන්ගේ බලය මත. හමුදාව කියන්නේ සන්නද්ධ බලය. හමුදාව කෙරෙහි විශ්වාසය බිඳ වැටෙන විට සිය විදෙස් හාම්පුතුන් ගෙන් ආරක්ෂාව පතනව. ඒ අනුව තමයි ඇමරිකන් හා යුරෝපා බලවතුන් ගේ විශ්වාසය දිනා ගනිමින් දෙවැනි බයිඩන් ලෙසින් සිටින ජනාධිපති රනිල් ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ඉන්දු පැසිෆික් ආරක්ෂක කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් ජෙඩිඩියා රෝයල් එන්නෙ. ජෙඩිඩියා චීනය, තායිවානය, මොන්ගෝලියාව,පෙරදිග ආසියාව, අකුණු ආසියාව, ගිනිකොනදිග ආසියාව, පකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ මධ්‍යම ආසියාවේ ඇමරිකාවට එරෙහි සකලාකාර තර්ජන මැඬ පැවැත්වීමේ ප්‍රධාන විශේෂඥයෙක්. ඊශ්‍රායෙල් සම්භවයක් සහිත කෙනෙක්.
ඇමරිකාව රනිල් පිළිබඳ තැබූ විශ්වාසය බිඳ ගත්තේ “යහපාලන රජයේ” අගමැතිව සිට චීනය සමඟ පයුරුපාසානම් පවත්වන්න ගිය නිසා. 2018 මාර්තු 02 දා සිංගප්පූරුවේ “ෆෝ සීසන්ස් හෝටලයේ” පැවති ‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ ආයෝජන සමුළුව අමතමින් එවකට අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ශක්තිමත්, තිරසර හා නම්‍යශීලී ආර්ථිකයක් ඔස්සේ ශ්‍රී ලංකාව ව්‍යාපාර සඳහා ආකර්ශනීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කරලීමට රජය කැපවී සිටිනව කියල.
තව දුරටත් මෙම සමුළුව අමතමින් වික්‍රමසිංහ අගමැතිවරයා කියා සිටියේ “චීනයේ සිට ස්පාඤ්ඤය දක්වා වෙසෙන බිලියන 3 ක ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් භාණ්ඩ හා සේවා සැපයිය හැකි, ඉන්දීය සාගරයේ ආර්ථික හා මුල්‍ය කේන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකාවේ භූ ගෝලයීය පිහිටීමේ වාසිය ලබා ගැනීමට දැන් ජාත්‍යන්තර ආයෝජකයන්ට අවකාශ ලැබී තිබෙනව. ශ්‍රී ලංකාවේ ශක්තීන් කෙරෙහි වැඩි බරක් තබමින්, කලාපයේ කැපී පෙනෙන ස්ථානයක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙමින් සිටිනව. ජපානය ඉදිරිපත් කළ “ඉන්දු – ශාන්තිකර නිදහස් හා විවෘත සමුද්‍ර ගමනාගමන” සංකල්පය, ඉන්දියාවේ “අසල්වැසියාට ප්‍රමුඛත්වය” ප්‍රතිපත්තිය හා චීනයේ “එක් තීරයක් – එක් මාවතක්” වැඩ පිළිවෙල යන ක්‍රියාකාරී සැලසුම් තුන සමගම කටයුතු කිරීමට ශ්‍රී ලංකාව ඉදිරියේදී ක්‍රියා කරනව” කියල.
හම්බන්තොට වරාය චීනයට දෙමින් “එක් තීරයක් – එක් මාවතක්” ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට පෙර ඇමරිකාව ගෝටාව බලයට ගෙනාව. නමුත් භූ දේශපාලනයේ අන්දෝ සංසාරයක් නොදත් ගෝටා ජනාධිපති වුනාට පස්සෙ විමල්, ගම්මන්පිළ, රතන, වාසුලා ගේ ග්‍රහනයට හසුවෙමින් චීන හිතවාදී දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්තිවල හිරකාරයෙක් වුනා. “ඇමරිකන් විරෝධීන්” ලෙස නම්දරා සිටින මේ පිරිස් පෙන්වමින් බටහිර තානාපති කාර්යාල සමඟ සබඳතා පවත්වමින් බිඳීගිය හොඳ හිත නැවත ගොඩනඟා ගැනීමට රනිල් සමත් වුනා. එහි අවසාන ප්‍රතිඵලය වුනේ ගෝටා එළවා රනිල් රජ කරවීම. ඇමරිකානු හා යුරෝපා බලවතුන් ගේ සරණින් බලයට පැමිණි රනිල්ට බටහිර බලවතුන් ගේ ඇබිත්තයෙක් වෙනවා හැර වෙන කරන්න දෙයක් නැහැ. එනිසා කලාපීය ආරක්ෂකයා ලෙසත් රනිල්ට මේ වෙලාවේ වටිනා කමක් ලැබෙනව.
මොකද යුක්රේන – රුසියා යුද ගැටුම් මැද ඇමරිකානු ඉල්ලීම නොතකා ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගන්නව. මේ නිසා ඉන්දියාවට ඇමරිකානු සම්බාධක පනවා කෙටි කලකින් එය ඉවත් කර ගත්ත. නමුත් මේ සම්බාධක දැමීමේ හේතුව නිසා ඉංදියාව තුළ ඇමරිකානු විරෝධයක් ගොඩනැගෙමින් තිබෙන්නෙ. එමනිසා ඇමරිකානු – චීන ගැටුම් උත්සන්න වුවහොත් ඉන්දියාවේ ස්ථාවරය කුමක් වේවිද කියන සැකය ඇමරිකාවට මතුවෙලා තියෙන්නෙ. පකිස්ථානයත් දේශපාලන හා ආර්ථික සම්බන්ධකම් පවත්වන්නේ චීනය එක්ක. එමනිසා ලංකාවේ ඇමරිකන් රූකඩ ආණ්ඩුවක වටිනාකම සිය දහස් ගුණයකින් අද ඉහළ ගිහින් තිබෙන්නෙ.
මේ භූ දේශපාලනයත්, රනිල් – පොහොට්ටු ජුන්ටාවට එනපොට හොඳ නැති බවත් වාර්තාවීමෙන් සිදුවිය හැකි යැයි උපකල්පනය කරන අවදානම් තත්වයට පෙර සූදානමක් කරගැනීමට අවශ්‍යයි. ඒ වෙනුවෙන් කතාබහ කර ගැනීමට හා පරිපාලන කටයුතු පිළිබඳ උපදෙස් දීමට තමයි ජෙඩිඩියා රෝයල් මේ වෙලාවෙ එන්නෙ.
මහජන නැගිටීමක් නැවතත් ඇතිවුනොත් ගෝටා මෙන් ඉබාගාතේ යවන්නේ නැතිව රනිල් ආරක්ෂා කරන බවටත්, මහජන නැගිටීම් මර්දනයට සහය දෙන බවටත් ඉන්දු පැසිෆික් ආරක්ෂක කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම්වරයා පොරොන්දු වෙන්න ඇති. ඉන්දු – ශාන්තිකර සාගරය තුළ චීනයේ ආධිපත්‍ය අහෝසි කිරීමත් න්‍යාය පත්‍රයේ එක් අංගයක්. හම්බන්තොට වරාය, පෝට් සිටි ඇතුලු ලංකාවේ තිබෙන චීන ව්‍යාපෘති පිළිබඳවත් අවධානය යොමු කරන්න ඇති.
මේවන විට ඇමරිකන් සහය ලබන “ෆ්‍රීඩම් ෆයිටර්ස්” නම් ත්‍රස්ත සංවිධානයක් පකිස්තානයේත් ක්‍රියාත්මක වෙනව.මේ ත්‍රස්ත සංවිධානය විසින් මෑතකදී චීන භාණ්ඩ ප්‍රවාහන දුම් රියක් පුපුරවා හැරිය. පකිස්ථානයේ දුම් රිය මාර්ග ඉදිකිරීම්වලට පැමිණ සිටින චීන ඉංජිනේරුවන් ගේ නිල නිවසක බෝම්බ පිපිරීමක් සිදුකළා. තවත් වරක් එම ඉංජිනේරුවන් ගමන්ගත් වාහනයක් පුපුරවල සිව් දෙනෙක් ඝාතනය කළා. පකිස්තානයේ බලුකිස්තාන වරාය හරහා තමයි චීනයේ ආනයනය හා අපනයන කටයුතු සිදුවන්නේ. චීනයේ සිට දුම් රිය හරහා ගොඩබිම් මාර්ගයෙන් තමයි බලුකිස්තාන වරාය දක්වා එම භාණ්ඩ ප්‍රවාහනය සිද්ධ වෙන්නෙ. එය කඩාකප්පල් කිරීම තමයි ඇමරිකාවේ උවමනාව.
මෙහෙම බැලුවහම ඉදිරි කාලයේදී ලංකාවෙත් අරුම පුදුම දේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ සිදුවීම් දඩමීමා කරගනිමින් විවිධ මර්දන නීතිරීති, නියෝග පනවමින් ආණ්ඩුවට එරෙහිව නැගෙන මහජන විරෝධය මඬින්න ජනාධිපතිට ඉඩකඩ ලැබෙනව. “පොදු දේපළ විකුණා ගොඩයෑමේ ව්‍යාපෘතියට” විරුද්ධව නැගෙන වැඩකරන ජනතාවගේ උද්ඝෝෂණ මර්දනය කර ඒ ව්‍යාපෘතිය ඉක්මන් කරගන්න පරිසරය නිර්මාණය වෙනව. මෙනිසා ඉදිරි කාලයේදී කිසිදු ඡන්දයක් පවත්වන එකක් නැහැ. යම්හෙයකින් එසේ ඡන්දයක් පැවැත්වුවත් ඒක රනිල් – පොහොට්ටු ජුන්ටාව දිනන එකක්. එසේ නොමැතිව වෙනත් පක්ෂයක් ජයග්‍රනය කළොත් පළමුව ඔවුන් බිලී බා ගන්න උත්සහ කරාවි. නොහැකි වුනොත් යන්න වෙන්නෙ පාර්ලිමේන්තුවට නෙමේ මහ උළුගෙදරට. මහර අතුරු මැතිවරණයෙන් දිනපු විජයට වුනෙත් ඒක.
රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ එයාගේම කෝවේ වක්කරලා ගත්තු එකක් මිසක් ඔය බලය නැති කාලේ කලක් තිස්සේ මතුරපු ලිච්ඡවී ජනසම්මතවාදය නෙවෙයි. එමනිසා ස්වාධීන කොමිසන් කියන ඒවා සියල්ල මෙතැනින් ඉවරයි. මින් පස්සෙ තිබෙන්නේ ජනාධිපතිට (ස්වා) දීන කොමිසම් විතරයි. මේවාට අලගු තියන්න නීතිපතිත් අතේ එල්ලගෙන තමයි ජනාධිපති හැම තැනකම යන්නෙ. රනිල් ගේ ඉල්ලීම මත යැංකි හමුදාවන් රටතුළ කැරෙන ඝෘජු මිලිටරි මැදිහත්වීම් රටේ අනාගතයට කණ කොකා හැඬීමක්. මොකද ඇමරිකන් හමුදා මැදිහත් වුනු ලෝකයේ හැම රටක්ම නන්නත්තාර වුනා මිස “ගොඩ යෑමක්” නම් වාර්තාවෙලා නැහැ.
“එළවන්න කලින් පළයන් රනිල්” කියල කිව්වට, “බලය දියවන්නාවෙන් එළියට” කියල කිව්වට ඒව ඒතරම් සරළ නැහැ. මධ්‍යම පන්තියට, සුලු ධනේෂ්වරයට හෝ ශිෂ්‍යයන්ට පමණක් මෙවැනි ව්‍යසනයන් පරාජය කරන්න බැරි බව ලෝකය පුරාත්, ලංකාව තුළත් නැවත නැවත ඔප්පු කරමින් තියෙන්නෙ. ලංකාව තියෙන්නේ ලෝකය ඇතුලේ මිස ලෝකය කැරකෙන්නෙ ලංකාව ඇතුලේ නෙවෙයි කියල දැන්වත් අපි තේරුම් ගන්න ඕන. එමනිසා මේ විනාසයෙන් රට බේරා ගැනීමට නම් වැඩකරන ජනතාවගේ මහ වැඩවර්ජනයක් සමඟ උතුරත් දකුණත් යා කරමින් ගොඩනැඟෙන මහා හර්තාල් ව්‍යාපාරයකට එක අරමුණක් වෙනුවෙන් සියලු දෙනා එකඟ කරගන්න වෙනව.
ඊට පස්සෙ කාට කාටත් තැල්ල බැඳ ගන්න පුලුවන්. තැල්ල බඳින්න නම් බෙල්ල තියෙන්න එපැයි.
-ඥානසිරි කොත්තිගොඩ