ශ්‍රීනාත් පෙරේරා විසිනි
හුදෙකලා නොවූ නිම්නය
නන්දසේන ගෝඨාභය ජනාධිපතිවරයා සිය පාලනය ගෙනයන්නේ ප්‍රොජෙක්ට් හරහායි. ඔහු මුලින්ම පටන් ගත්තේ වැට් බද්ද අඩුකිරීමේ ප්‍රොජෙක්ට් එකයි. ඉන්පසු 20 සංශෝධනය ඔස්සේ තම බලය තහවුරු කරගැනීමේ ව්‍යාපෘතිය ගෙනආව. කාබනික පොහොර ප්‍රොජෙක්ට් එක අනතුරුව ගෙනඑන ලදී. එක රටක එකම නීතියක් ගොඩනැගීම මේ පාලකයාගේ අලුත්ම ප්‍රොජෙක්ට් එකයි. එය නිසැකවම බහුතර සිංහල බෞද්ධ ජනයාට ඉලක්ක කකරල ගෙනාආ එකක් බව පේනව.
කිසි කෙනෙක් නොහිතූ ආකාරයට එක රටක් එක නීතියක් සඳහා වන කාර්‍ය සාධක බලකායේ ප්‍රධානියා වශයෙන් පත්කළේ ගලබොඩඅත්තේ ඤාණසාර භික්ෂුවයි. සිංහල ජාතිකයන් බහුතරයක් සහ මුස්ලිම් කීපදෙනෙකු එහි සාමාජිකයන් ලෙස පත්කෙරුනා. කිසිදු දෙමළ ජාතිකයකු හෝ කිසිදු ජනවර්ගයකට අයත් ස්ත්‍රියක් එයට පත්කෙරුනේ නැහැ. රට වටින්ම විරෝධය සහ විවේචන පළවෙන්න ගත්තට පස්සෙ දෙමළ ජාතිකයන් කීපදෙනෙකු පත්කරනු ලැබුවා. එහෙත් කිසිදු ස්ත්‍රී නියෝජනයකට ඉඩක් ලැබුණේ නැහැ.
මේ ජනාධිපතිවරයාත් ඔහුගේ ආණ්ඩුවත් ගැසට් ගහල ඒව රිවර්ස් කරගැනීම ගැන ලෝක ප්‍රසිද්ධයිනෙ. මේ කාර්‍ය සාධක බලකාය සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් එකත් ඒ හා සමාන සංසිද්ධියකට මුහුණ පෑව. ඒක රිවර්ස් කළේ නැහැ. ඒත් සංශෝධනය කරන්න සිදුවුනා මුල් ගැසට්ටුව ගහල මාසයක් යන්නත් කලින්. මුල් ගැසට් පත්‍රය අනුව මේ බලකායේ කාර්‍යයන් වශයෙන් යොමු කර තිබුණේ අධිකරණ අමාත්‍යාංශය විසින් මේ කාරණය එක රටක එකම නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සකස්කර ඇති සියළු කෙටුම්පත් සමාලෝචනය කිරීම ඇතුළුව කාරණා කීපයක්. එතකොට රජයේ නිල ආයතනයක් නිල මට්ටමින් සකස් කරතිබූ ලේඛණවල හරි වැරදි බලන්නත් මේ බලකායට පුළුවන්. මේ අනුව රජයේ අමාත්‍යාංශයකට උඩින් බාහිර නොනිල පුද්ගලයන් කණ්ඩායමක් පත්කරනවා නිල රාජකාරි කටයුතු අධීක්ෂණය කරන්න. මේක මුළුමනින්ම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් පටහැනියි.
අධිකරණ ඇමතිවරයා වශයෙන් තමා සමග කිසිම සාකච්ඡාවක් හෝ අඩු වශයෙන් දැනුම්දීමක් හෝ නොකර තම අමාත්‍යාංශයේ කටයුතුවලට ඍජු ලෙස බලපාන අයුරින් මෙවැනි කාර්‍ය සාධක බලකායක් පත්කිරීම ගැන අධිකරණ ඇමති අලි සබ්‍රි උරණ වී හෝ හිතේ අමාරුවකින් සිටි බව ප්‍රසිද්ධියේ නොකිව්වට ඔහු ඒ බව ඇඟවෙන්න ඇරියා. ඔහු ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් පවා ලෑස්ති කරගෙන සිටි බව මාධ්‍යවල වාර්තා වෙන්න ඉඩහැරියා. එවකට ජනාධිපතිවරයා විදෙස්ගතව සිටි නිසා නැවත පැමිණි විගසින්ම එම ලිපිය ජනාධිපතිවරයාට භාරදීමට කටයුතු කරන බවත් වාර්තා කොට තිබුණා. ජනාධිපතිවරයා පැමිණි පසු අලි සබ්‍රි ජනාධිපතිවරයා හමුවූ අතර සියළු ප්‍රශ්න නිරාකරණය වී ඉල්ලා අස්වීමේ ලිපියත් ඉල්ලා අස්කරගෙන තිබුණා. සබ්‍රිට ඔළුව බේරගන්න පුළුවන් විදියට ගැසට් පත්‍රය සංශෝධනය කරන්න ජනාධිපතිවරයා එකඟ වුනා.
ඒ අනුව අලුත් ගැසට් පත්‍රයක් පසුව නිකුත් කෙරුනා. අධිකරණ අමාත්‍යාංශයේ කටයුතු අධීක්ෂණය කිරීමට හැකිවන ආකාරයට කලින් ගැසට් පත්‍රයෙන් ලබාදී තිබූ බලතල වෙනස් කොට එක රටක් එක නීතියක් සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම තමයි දැන් මේ කාර්‍ය සාධක බලකායට මූලික වශයෙන් පැවරී තියෙන්නෙ. මහජන අදහස් ලබාගැනීම, ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා, රැස්වීම් පැවැත්වීම වැනි කටයුතු කරන්නටත් බලය දීල තියෙනවා. ඒ අනුව තමයි ගලගොඩ අත්තේ ඤාණසාර භික්ෂුව ප්‍රමුඛ මේ බලකායේ සාමාජිකයන් පිරිසක් ගිය මාසයේ උතුරු පළාතේ සංචාරය කළේ. යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව වැනි ප්‍රදේශවලට ගිහින් තිබුණේ. උතුරේ තෝරාගත් පිරිසක් සමග තමයි එහිදී සාකච්ඡා පවත්වලා තියෙන්නෙ. මේ කිසිදු අදහස් විමසීමක් මහජනයාට හෝ මාධ්‍යවලට විවෘත වුනේ නැහැ. ඒ රැස්වීම අවසානයේ ඤාණසාර භික්ෂුව විසින් කැඳවන ලද මාධ්‍ය හමුවක් හැර. උතුරේ ජනයා මෙහිදී නියෝජනය වුනේ කොයි ආකාරයෙන්ද කියල කිසිදු අයුරකින් ප්‍රකාශ වෙලා නැහැ.
එක රටක එක නීතියක් ගොඩනගනවය කියල ගෝඨාභය එයාගෙ ඊනියා සෞභාග්‍යයේ දැක්මෙ කියල තියෙනවලු. ඒ ඡන්ද පොරොන්දුව ඉෂ්ට කරන්නයි මේ කාර්‍ය සාධක බලකාය පත්කළේ කියල ඔහු මෑතකදී කිව්ව. වචන පෙළක් සහ සංකල්පයක් හැටියටත් එක රටක් එක නීතියක් කියන්නෙ හොඳ දෙයක්. ඒත් ගෝඨාභය මේ පාඨය තමන්ගෙ මැතිවරණ ප්‍රකාශනයට දැම්මෙ ඇයි? එතන මුළුමනින්ම තිබුණේ ජාතිවාදය. සිංහල බෞද්ධ ස්වොත්තමවාදය. විශේෂයෙන්ම මුස්ලිම් ජනතාව යටපත් කිරීමේ ජාතිවාදය. මොකද මේ වචන සෙට් එක ගලපගෙන ඤාණසාර මුස්ලිම් ජනයාට එරෙහි කැම්පේන් එක පටන් ගත්තෙ 2011 – 12 කාලයෙදි. එවකට ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂගෙ පූර්ණ අනුග්‍රහය එදා ඒ සඳහා ලැබුණා. ඒ කැම්පේන් එකේ ප්‍රතිපලයක් හැටියට තමයි 2014 ජූනි මාසෙ 15දා අලුත්ගම – ධර්ගාටවුන් ප්‍රදේශයේ මුස්ලිම් මිනිසුන් තිදෙනකු මරාදමමින් මහා විනාශයක් සිදුකළේ. ග්‍රෑන්ඩ්පාස්, දඹුල්ල ඇතුළු විවිධ ප්‍රදේශවල විටින් විට මුස්ලිම් පල්ලිවලට පහරදුන්නෙ. ඒ සේරටම වඩා බලවත් විදියට මුස්ලිම් විරෝධී වෛරී කතාබහක් සහ මතවාදයක් සමාජයේ ගොඩනැගුනේ. වඳ කොත්තු, වඳ ජංගි, වඳ බ්‍රා මවාපානු ලැබුවේ.
ඒත් කෙනෙකුට තවදුරටත් ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් මුස්ලිම් විරෝධී ජාතිවාදයයි එක රටක එක නීතියක් ගොඩනැගීමයි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියල. තියෙන සම්බන්ධය තමයි මේ රටේ මුස්ලිම් ජනතාවට පමණක් බලපාන වෙනම නීති කීපයක් පැවතීම. උතුරේ දෙමළ ජනතාවට බලපාන නීතියක් සහ උඩරට සිංහල වශයෙන් හඳුන්වන ජනයාට නීති කොට්ඨාශයකුත් පවතිනවා. මේ සියල්ලම ඒ ජනතාවගේ පෞද්ගලික කටයුතු සම්බන්ධයෙන් අදාළ වන නීති. මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතියක්, උඩරට සිංහල ජනතාවගේ විවාහ සහ දික්කසාද නීතියක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. උතුරු පළාතේ ඉඩම් බැහැර කිරීම නැතහොත් අන්සතු කිරීම සම්බන්ධයෙන් අදාළ වන තේසවලමෙයි නමින් හඳුන්වන නීති කොට්ඨාශයකුත් පවතිනවා.
මේ නීති සියල්ලම රටේ සංඛ්‍යාත්මක වශයෙන් සුළුතර ජන කොටස්වලට අදාළ වන නීති. යටත් විජිත පාලන සමයේ තමයි මේ නීති බොහෝමයක් පනවා තියෙන්නෙ. බොහෝ අය කියන්නෙ ජාතීන්/ජන කොටස් බෙදා වෙන් කිරීමේ අධිරාජ්‍යවාදීන්ගේ පිලිවෙත අනුව මේ නීති මේ විදියට පැනෙව්වය කියල. එහි ඇත්තකුත් තියෙනවා. අධිරාජ්‍යවාදී පාලකයන් ලංකාව, ඉන්දියාව ඇතුළු යටත් විජිත පාලනය කිරීමේ පහසු මගක් සහ උපක්‍රමයක් වශයෙන් එම රටවල සිටින විවිධ ජනකොටස් එකිනෙකාට එරෙහිව කෙටවීමේ උපායක් අනුගමනය කළ බව රහසක් නෙවෙයි. ඒත් ඒ අතරම සුළුතර ජනයා මහජාතිය තුළ දියකර නොහැර ඔවුන්ගේ අනන්‍යතා රැකගැනීම ප්‍රගතිශීලී පියවරක් හැටියට හඳුන්වන්නත් පුළුවන්. සුළුතර ප්‍රජාවක් අනෙකුත් ජනකොටස් සමග මුසුවී එකම අනන්‍ය ජනපිරිසක් බවට පත්වීම තමයි වඩාත්ම හොඳ. ජාති ආගම් වර්ණ භේද පසෙක ලා සියළු මිනිසුන් එකම මිනිස් ජාතිය වශයෙන් පෙනීසිටීම තමයි සමාජවාදීන් වශයෙන් අප අපේක්ෂා කරන්නෙ. ඒ උත්තර සමාජය ගොඩනැගීම වෙනුවෙන් ක්‍රියා කරන අතර පවතින යථාර්ථයට අප මුහුණ දිය යුතුයි. පවතින යථාර්ථය තමයි මිනිස් වර්ගයා ජාති, ආගම් ආදී වශයෙන් තාමත් බෙදි පවතින බව. වසර දහස් ගණනක් පුරා පැවති මේ විසමතා දුරු කරගෙන හැකිතාක් එකට එකතු කරගැනීමයි අපේ පැතුම.
නන්දසේන ගෝඨාභය ඤාණසාරත් එක්ක මේ කරන්න යන්නෙ අපේ රටේ ඉන්න සියළු ජනකොටස් එකට එකතු කරගැනීමද? සියළු ජනකොටස් එකම නීති රාමුවක් තුළ කොටු කරල ජනකොටස් එකට එකතු කරන්න පුළුවන්ද? දැන් මේ එක රටක් එක නීතියක් කියල කරන්න යන්නෙ මූලික වශයෙන්ම මුස්ලිම් සහ දෙමළ ජනයා සම්බන්ධයෙන් බලපවතින පුද්ගල නීති අහෝසි කරල සාමාන්‍ය නීතිය කියල හඳුන්වන නීතියට අනුගත කිරීම. මේ සාමාන්‍ය නීතිය කියන්නෙ සුදු පාලකයන් විසින් අර කිව්ව විශේෂිත පුද්ගල නීති බලනොපාන ජනයා සඳහා පැනවූ නීති සමුදායයි. ඒ නිසා ඒකත් එක පුද්ගල කොට්ඨාශයක් සඳහා බලපවතින නීති සමුදායක්.
මේ විදියට මහ ජාතියෙන් එහෙම නැත්නම් බහුතර ජනවර්ගයෙන් වෙනස් වූ ජනකොටස් සඳහා ඔවුන්ට ආවේනික වූ නීති රීති පවත්වාගෙනයාම මගින් කෙරෙන්නෙ එම ජනකොටස්වල අයිතිය පිලිගැනීමක්. බොහෝදෙනා කතා කරන, අපේක්ෂා කරන ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගිය හැකි වන්නේ මේ වාර්ගික අනන්‍යතාව පිලිගෙන ඒ තුළින් එක මගකට පිපිවිසීම තුළයි. Unity in Diversity – විවිධත්වය තුළින් එක්සත්කම කියල පාලකයන් විසින්ම පතුරු ගහන පාඨය යථාර්ථයක් කරගන්න පුළුවන් වෙන්නෙ එවිටයි.
එක රටක එක නීතියක් ගොඩනැගීමට පෙර රටේ පවතින නීතිය අමු අමුවේ උල්ලංඝනය කොට ඒ සම්බන්ධයෙන් වරදකරු වී වසර 16ක සිර දඬුවම් නියම වූ, භික්ෂුවක් වශයෙන් බෞද්ධයන් සෑහෙන පිරිසකගේ අප්‍රසාදයට පවා ලක්වී ඇති ඤාණසාර භික්ෂුව මෙවැනි කාර්‍යයක ප්‍රරධානත්වය දැරීමට පත්කිරීමම එම කාර්‍යය හාස්‍යයට ලක්කිරීමක් සහ ඒ පිළිබඳ අවංකත්වය සැකයට බඳුන් කිරීමට තුඩුදෙන දෙයක්. ඒ නිසාම සමාජයේ පිලිගැනීමක් තියෙන හැම කොටසකින්ම මේ පත්කිරීම ගැන විරෝධය නැත්නම් අප්‍රසාදය පළවුනේ. තමා නීතියට යටත් නැතැයි කියා හිතන, තමාගේ කටවචනය නීතියය කියා හිතන පාලකයෙක් සහ එලිපිටම නීතියට අභියෝග කරන චීවරධාරියෙක් එක්වී නටන්න හදන මේ නාඩගම ගැන ඇස් කන් ඇරගෙන බලාසිටිය යුතුයි.