ජගත් ගුණවර්ධන විසිනි
ලොව බොහෝදේ පවතින්නේ එකිනෙක සමඟ යම් ආකාරවලින් බැඳීම් සමඟිනි. මේ නිසාම බොහෝදේ සංකීර්ණ සහ සංකූල ස්වරූපයක් ගනී.
එනමුත්, බොහෝදෙනා බොහෝදේ වටහා ගන්නේ ඒවා සරල සහ පැහැදිලි දේවල් ලෙස සලකා ගෙනය. එසේම සංකීර්ණ දේ, සරල දේ ලෙස වටහා ගැනීමටද බොහෝ පිරිසක් උත්සාහ දරනු පෙනේ. මෙය බොහෝ දෙනෙකුට බොහෝදේවල් වටහා ගැනීමට මහෝපකාරී වුනත්, එසේ කරන්නට යාමේ අන්තරායන් ගණනාවක්මත් තිබේ.
යම් දේවල් සරල ලෙස විග්‍රහයේදී සෑම දෙයකම දෙපැත්තක් තිබේය යන මතයද නිතරම ඉවහල් කර ගන්නකි. මෙය උපක්‍රමයක් ලෙස දේශපාලනයේදී, ජනවාර්ගික සහ ආගමික කන්ඩායම් ක්‍රියාකාරිත්වයේදී, වෙලඳාමේදී වැනි වෙනස් ක්ෂේත්‍ර ගණනාවකදී උපයෝගී කර ගනු නිතර දකින්නට ලැබෙන්නෙකි. නමුත්, සෑම ගැටලුවක්ම සරල ලෙස විග්‍රහ කල නොහැකිවාක් මෙන්ම, මෙසේ ප්‍රතිවිරුද්ධ දෙපසකට හෝ ද්‍රැවයන් දෙකකට වෙන්කොට දැක්වීමත් බොහෝවිට සාවද්‍ය තත්වයන්ට, වැරදි වටහා ගැනීම් වලට මෙන්ම වැරදි විශ්ලේෂන සහ වැරදි ප්‍රතිකර්ම වලට පෙලඹවීමට හේතු වේ.
සමාජය තුල තිබෙන මෙවන් දෙපසට බෙදා දැක්වීම් අතර සුලභව හමුවන දේ වන්නේ:
+ උගත්-නූගත්
+ ධනවත්-දුගී
+ ධනවාදී-සමාජවාදී
+ ධනපති-නිර්ධන
+ දේශප්‍රේමී-දේශද්‍රෝහී
+ මසුරු-ත්‍යාගශීලී
+ ප්‍රතිගාමී-ප්‍රගතිශීලී
මෙහිදී බොහෝදෙනාට ලැබෙන වැටහීම වන්නේ මින් එක් පාර්ශ්වයක් නිවැරදි සහ අනෙක් පාර්ශ්වය වැරදි ලෙස හෝ එක් පාර්ශ්වයක් යහපත් සහ අනෙක හානිකර හෝ විනාශකාරී ලෙසිනි.
මෙසේ දෙපසකට බෙදීම හෝ බෙදා දැක්වීම බොහෝවිට සිදු කරන්නේ නිසි ක්‍රමවේදයකින් හෝ පදනමකින් තොරව වේ. නමුත්,මේවා කොතෙක් ජනතාවගේ සිත් තුල ස්ථාපනය වී තිබේද යන්න ඒවා කොතෙක් නිවැරදිද යන්න නොවිමසාම භාර ගැනීම තුලින් ඉතා පැහැදිලි වේ. නමුත්, පරෙස්සමින් විමසා බැලීමේදී මෙම බෙදා දැක්වීම කොතෙක් තාර්කිකද, නොඑසේ නම් බෙදීමේදී භාවිතා කල නිර්නායක මොනවාද, නැතිනම් එවන් නිර්නායක ඇත්තටම තිබේද යන පැනයන් මතුවේ.
නිදසුනක් ලෙස උගත්-නූගත් යන දෙක ගතහොත්, කෙනෙකු උගත් ලෙස සලකන්නේ කිනම් අධ්‍යාපන මට්ටමක් නිර්නායකය ලෙස ගෙනද නොඑසේ නම් කුමන නිර්නායක මතද යන්න කිසිඳු සම්මතයක් නොමැත. එසේ නමුත්, මෙය සමාජය තුල තවමත් බහුලව යොදා ගන්නකි.
එනමුත්,සමාජය විසින් මෙසේ දෙපිල බදා දැක්වීම් නිරායාසයෙන් පිලිගැනීමේ පුරුද්ද දේශපාලනයේදී සහ වෙලඳ ප්‍රචාරක කටයුතු වලදී මෙන්ම සමාජයේ වෙනත් අවස්ථා වලදීද අවභාවිතා කිරීම් බහුලව සිදුවේ.
මෙහිදී මෙම බෙදීමට තවත් මානයක් ලෙස “ඔවුන් සහ අපි” යන දෙපිලටත් බෙදීම සිදුකරයි. මීටම යාකරන ප්‍රධාන බෙදීම වන්නේ “නිවැරදි අපි සහ වැරදි ඔවුන්” යන්නයි. නිදසුනක් ලෙස “ප්‍රගතිශීලී අප සහ ප්‍රතිගාමී ඔවුන්” ලෙස හුවා දක්වන දේශපාලන ප්‍රකාශ දක්වන්නට පුලුවන. මෙහිදී ප්‍රකාශය සිදුකරන්නාගේ දේශපාලන මතයේ සිටින හෝ ඊට එකඟ සියල්ලන් ප්‍රගතිශීලී සහ නිවැරදි මත දරන්නන් සහ මිතුරන් වන අතර ඊට පටහැනි මත දරන සියල්ලන් ප්‍රතිගාමී, වැරදි සහ සතුරු පාර්ශ්වය බවට නිතැතින් පත්වේ. මෙහි තිබෙන භයානක බවක් නම්, තම මතය පිලිගන්නා සියල්ලන් නිරායාසයෙන්ම ඉතා නිවැරදි සහ මිතුරන් ලෙසත් අන් සියල්ලන් ඉතා වැරදි සහගත මෙන්ම සතුරන් ලෙස දැකීමට පෙලඹවීමයි.
මෙහි ඇති අතිශය සාවද්‍ය තත්වය වන්නේ මෙම දෙපසට බෙදීම ව්‍යාජ බෙදා දැක්වීමක් වන අවස්ථාවන් වේ. මෙහිදී දෙපසට කර දක්වා තිබෙන්නේ එකිනෙකෙහි දෙපැත්තක් නොව වෙනස් කරුනු දෙකක් හෝ නොගැලපෙන කරුනු දෙකකි.
මෙයට ගතහැකි කදිම වර්තමාන නිදසුන වන්නේ මේ දිනවල සමාජගතව තිබෙන “රසායනික පොහොරද-කාබනික පොහොරද” යන දෙපාර්ශ්වයට බෙදා කෙරෙන කරුනු දැක්වීම් වේ. කාබනික පොහොර වෙනුවෙන් පෙනීසිටින ඇතමුන්ට අනුව ඊට එරෙහි මත දක්වන්නන් සියල්ල රසායනික පොහොර වෙනුවෙන් සහ ඒ අනුසාරයෙන් කෘෂි රසායන සමාගම් වෙනුවෙන් පෙනී සිටින්නන් වෙති.
නමුත්, කාබනික පොහොර වල ප්‍රතිවිරුද්ධ අර්ථය වන්නේ කාබනික නොවන පොහොර මිස රසායනික පොහොර නොවේ. ඊට හේතුව නම් කාබනික ද්‍රව්‍යයන් සියල්ලමත් පොදුවේ ගත් කල රසායනික ද්‍රව්‍යයන්ම වීමය. (අප උසස් පෙලදී හදාරන කාබනික රසායන විද්‍යාව සහ අකාබනික රසායන විද්‍යාව පෙන්වන්නේ මෙම සත්‍ය බෙදීමය) එසේ නම් මේ බෙදීම කාබනික සහ අකාබනික පොහොර ලෙසට විය යුතුය. නොඑසේ නම් මොවුන් අදහස් කරන්නේ පොහොර ලෙස යොදාගන්නා ස්වභාවික ද්‍රව්‍ය සහ කෘතිමව සංශ්ලේශනය කරගන්නා ද්‍රව්‍ය අතර වෙනස වන්නට පුලුවන. එසේ වන්නේ නම්, එකම පොහොර ද්‍රව්‍යය ඛනිජයක් ලෙස ගන්නා විට සහ සංස්ලේශනයෙන් ගන්නා විට ද්‍රව්‍ය කාන්ඩ දෙකකට සැලකිය යුත්තේද, එසේ සලකන්නේ නම් එහි පදනම වන්නේ කුමන හේත අනුසාරයෙන්ද යන්නත් ගැටලු සහගත වේ. එසේම එකම සංයෝගය ස්වභාවිකව ලබන්නක් වේද, සංස්ලේශනය කර ලබා ගන්නක් වේද යන්න අකාබනික මෙන්ම කාබනික සංයෝග වලටද පොදුය. එසේනම්, සම්භවය අනුව එකම සංයෝගයක් පවා කාන්ඩ දෙකකට බෙදා දක්වන්නේද, එසේ කරන්නේ නම් එහි පදනම කුමක් වේද යන්නත් විමසිය යුතුය. මෙලෙසින් බලන කල මේ දිනවල සමාජගත කර තිබෙන කාබනික පොහොර සහ රසායනික පොහොර කථාව පිලිබඳව පරීක්ශාවෙන් විමසා බලන කල එය පිටුපස තිබෙන ව්‍යාජ බෙදීම් හේතුවෙන් කොතරම් ව්‍යාකූල වන්නේද යන්න පෙනී යයි.
බෙදා වෙන්කිරීම හෙවත් දෙපසට බෙදීම හෙවත් දෙපිල බෙදීම බොහෝවිට යොදා ගන්නේ කිසියම් ආත්මාර්ථකාමී සහ පටු පරමාර්ථයක් වෙනුවෙන් වීම දැකිය හැක්කකි. එසේම මෙහි ඉතාමත් සාවද්‍ය මෙන්ම හානිකර තත්වය වන ව්‍යාජ බෙදා දැක්වීම් සැමවිටම වාගේ යොදා ගන්නේද ආත්මාර්ථකාමී සහ පටු පරමාර්ථයක් මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් වීම දැකිය හැක්කකි. මීට මුහුණ දීමට නම් යම් බෙදා වෙන් කිරීමක් කිනම් පදනමකින් සිදු කර තිබේද යන්න විමසා බැලිය යුත්තකි. එසේ විමසා බලන කල මෙම බෙදීමේ අදිසි කරුනු හෙලිදරව් කරගත හැකිවාක් මෙන්ම බොහෝවිට ඒ පිටුපස තිබෙන පරමාර්ථයත් හෙලිකර ගත හැකි වේ.
යම් කරුණක් දෙපසට බෙදා වෙන්කර ඒ හරහා සමාජයම හෝ එහි සැලකිය යුතු පිරිසක් මෙසේ ප්‍රතිවිරුද්ධ කොටස් දෙකකට බෙදා වෙන්කොට තම ආත්මාථකාමී සහ පටු පරමාර්ථයන් මුදුන්පත් කර ගන්නට දරන ප්‍රයත්නයන් හඳුනා ගැනීමටත්, හෙලිදරව් කිරීමටත්, ඒ තුලින්ම ඒවා මැඩ පැවැත්වීමට සහ පරාජය කිරීමටත් හැකිවනු ඇත.