
බටහිර ප්‍රගතිය පිළිබඳ ඔපවත් කර ඉදිරිපත් කරන කතාව පිටුපස තවත් ඉතිහාසයක් සැඟවී තිබේ. වාෂ්ප බලය, නූතන බැංකු ක්‍රමය සහ කාර්මික ධනවාදය සාමකාමී නවෝත්පාදනයන්ගෙන් උපන් දේවල් නොවීය. ඒවා වහල්භාවයට පත් කරන ලද මිනිසුන්ගේ රුධිරයෙන් ගෙවන ලද ඉතිහාසයක් මත ගොඩනැගුණි.
ආදරණීය මිතුරනි,
අධිරාජ්‍යයන් විසින් තමන් ගැනම ගොඩනගා ගන්නා කතාවලින් යම් ආකාරයක සැනසීමක් ඔවුනට තිබේ. එම කතාවලට අනුව ධනවාදය යනු යුරෝපීය නිර්මාණශීලීත්වයේ ස්වභාවික මල්ඵලයක් ලෙස පෙනේ. ඔවුන්ගේ තර්කයට අනුව, විද්‍යාත්මක සොයාගැනීම්, තාක්ෂණික නවෝත්පාදනය සහ කාර්යශූර පුද්ගලයන්ගේ අරපිරිමැස්මෙන් උපන් ප්‍රතිඵලයක් ලෙස ධනවාදය හදුන්වා දෙයි. යටත්විජිතවාදය සහ වහල්භාවය සඳහන් කරනුයේ, ඒවා සාමාන්‍යයෙන් නූතනත්වය කරා ගිය ජයග්‍රාහී ගමනේ අවාසනාවන්ත සිදුවීම් කිහිපයක් ලෙස පමණකි.
නවතම අධ්‍යයනයක් වන ප්‍රබීර් පූර්කායාස්ථගේ The Roots of Capitalism: Slavery and the Sugar Trade (2026 අගෝස්තු) නම් කෘතිය, මෙම සැනසිලිදායක මිථ්‍යාව අත්හැරීමට අපට ආරාධනා කරයි. එමගින් නූතන ලෝකය ගොඩනැගුණු ආකාරය අධ්‍යයනය කරන අතර, මෙම ක්‍රියාවලිය තුළ අධිරාජ්‍යවාදය සහ ජාතික විමුක්ති අරගල අතර ද්වන්ද්වාත්මක සම්බන්ධය පැහැදිලිව ස්ථානගත කරයි.
මෙම අධ්‍යයනයේ විශාල කොටසක් ප්‍රබීර් 2023 ඔක්තෝබර් සිට 2024 මැයි දක්වා ඉන්දියාවේ දිල්ලි නුවර රෝහිණී මධ්‍යම බන්ධනාගාරයේ දින 225ක් සිරගතව සිටියදී ලියා ඇත. මාධ්‍ය නිදහස සහ ප්රගතිශීලී හඬවල් මර්දනය කිරීමේ පුළුල් ක්‍රියාදාමයක කොටසක් ලෙස ඉන්දීය රජය විසින් ඔහුව නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.
බන්ධනාගාරයේ සිටියදී, ඔහු බැලීමට පැමිණි අය සමඟ හුවමාරු වූ කඩදාසි කැබලි, සීනි, වහල්භාවය සහ ධනවාදය පිළිබඳ මෙම ඉතිහාසයේ ආරම්භක සටහන් බවට පත්විය. මෙහි යම් ගැළපීමක් තිබේ: සිරගත කිරීම සහ සූරාකෑම පිළිබඳ පද්ධතිය ගැන අධ්‍යයනයක්, තමන්ම සිරගතව සිටි තත්ත්වයක ලියන ලද්දේ සිරගත කළ නොහැකි බුද්ධියකිනි.
සීනි, වහල්භාවය සහ කාර්මික විප්ලවය
මෙම අධ්‍යයනයේ කේන්ද්‍රයේ තිබෙන්නේ සීනි ය. එය යටත්විජිත යුගයේ මිනිස් මනසට බලපාන ප්‍රධාන වෙළෙඳ භාණ්ඩවලින් එකක් වූ අතර, මත්පැන්, චොකලට්, කෝපි, අබිං, තේ සහ දුම්කොළ සමඟ එක්ව කාර්මික විප්ලවයට ඉන්ධන සැපයීය.
සීනි යුරෝපීය කම්කරුවන්ගේ මේස මත සාමාන්‍ය ආහාර ද්‍රව්‍යයක් බවට පත්වීමට පෙර, එය රජවරුන් සහ වංශාධිපතීන් විසින් පරිභෝජනය කළ සුඛෝපභෝගී භාණ්ඩයක් විය.
එය මහජන පරිභෝජනයේ භාණ්ඩයක් බවට පරිවර්තනය කිරීමට රසයෙහි වෙනසක් පමණක් ප්‍රමාණවත් නොවීය. ඒ සඳහා,
- ඉඩම් අත්පත් කර ගැනීම,
- ස්වදේශික සමාජ විනාශ කිරීම,
- මිනිසුන් ප්රචණ්ඩ ලෙස වෙළෙඳ භාණ්ඩ බවට පත් කිරීම,
- අප්‍රිකානුවන් අල්ලා ගැනීම,
- ඔවුන් අත්ලාන්තික් සාගරය හරහා ප්‍රවාහනය කිරීම,
- සහ වතු හිමියන්ට වහල් කම්කරුවන් විකිණීම
අවශ්‍ය විය.
සීනි සැබවින්ම පළමු ගෝලීය වෙළෙඳ භාණ්ඩවලින් එකක් විය. එය එවැනි ගෝලීය භාණ්ඩයක් බවට පත් කිරීමට අප්‍රිකාව, ඇමරිකා මහාද්වීප, ආසියාව සහ යුරෝපය සම්බන්ධ කළ දැවැන්ත වාණිජ හා මූල්‍ය යාන්ත්‍රණයක් ගොඩනැගීමට සිදුවිය.
වහල් වෙළෙඳාමේ මහා විනාශය
යටත්විජිත ප්රචණ්ඩත්වයේ පරිමාණය විශ්මයජනක විය. අවම වශයෙන් වහල්භාවයට පත් කරන ලද අප්‍රිකානුවන් මිලියන දහයක් ඇමරිකා මහාද්වීපයට සහ කැරිබියන් දූපත්වලට ගොඩබැස ඇත.
අල්ලා ගැනීමේදී, බලහත්කාරයෙන් දිගු දුර ගමන් කරවීමේදී, රඳවා තබා ගැනීමේදී සහ Middle Passage ලෙස හැඳින්වෙන අප්‍රිකාවේ සිට ඇමරිකාව දක්වා බලහත්කාරයෙන් අත්ලාන්තික් සාගරය තරණය කරවීමේදී මියගිය අයද ඇතුළත් කළ විට, අත්ලාන්තික් වහල් වෙළෙඳාම සඳහා අල්ලා ගත් අප්‍රිකානුවන්ගේ සම්පූර්ණ සංඛ්‍යාව මිලියන 14ත් 20ත් අතර විය හැකි බව විශ්වාස කළ හැකිය.
17වන සියවසේ සිට 19වන සියවස දක්වා ආසියාවේ සහ යුරෝපයේ ජනගහනය විශාල වශයෙන් වර්ධනය වූ අතර, අප්‍රිකාවේ ජනගහනය ස්ථාවරව පැවති අතර බොහෝ ප්‍රදේශවල එය අඩු විය.
මෙම විනාශය වෙළෙඳාමේ අහඹු ප්‍රතිඵලයක් නොවීය. අධ්‍යයනය විසින් හඳුන්වන “තුවක්කු–වහල්–මුදල් සම්බන්ධතාවය” (gun-slave-money nexus) හරහා එය නිර්මාණය විය. යුරෝපීය ගිනි අවි සහ වෙඩි බෙහෙත් අල්ලාගත් අප්‍රිකානුවන් වෙනුවෙන් හුවමාරු කරන ලද අතර, ඔවුන් විකිණීමෙන් ලැබුණු ලාභය එම පද්ධතිය නැවත නැවතත් ප්‍රතිනිර්මාණය කිරීමට යොදා ගැනුණි.
වතු පද්ධතිය: ධනවාදී නූතනත්වයේ රසායනාගාරයක්
මෙම ශ්‍රමය සංවිධානය කිරීමටත්, එය අවසන් වන තුරු මිනිසුන්ගෙන් වැඩ ගැනීමටත් ගොඩනැගූ වතු පද්ධතිය පැරණි, ධනවාදයට පෙර පැවති ලෝකයක ඉතිරි වූ අවශේෂයක් නොවීය. එය ධනවාදී නූතනත්වයේ එක් රසායනාගාරයක් විය.
සීනි වත්ත තුළ වගාව සහ කාර්මික සැකසුම එකම ශ්‍රම පද්ධතියක් තුළ ඒකාබද්ධ විය. උක් කපා, ප්‍රවාහනය කර, තලා, තම්බා, ස්ඵටිකීකරණය කළ යුතුව තිබුණේ දැඩි කාලසටහනකට අනුවය.
වහල්භාවයට පත් මිනිසුන් වයස සහ ශාරීරික හැකියාව අනුව කණ්ඩායම්වලට බෙදා සංවිධානය කරන ලද අතර, අස්වනු නෙළන සමයේ දිනකට පැය 18–20ක් පමණ වැඩ කිරීමට ඔවුන්ට බල කරන ලදී.
වතු කළමනාකරුවන් ඉතා සූක්ෂම ගිණුම් පවත්වාගෙන ගියහ. ඔවුහු ඵලදායිතාව ගණනය කළහ, ජීවනෝපාය වියදම නැවත කම්කරුවෙකු ලබා ගැනීමේ වියදම සමඟ සංසන්දනය කළහ, මිනිසුන් ස්ථාවර ප්‍රාග්ධනයක් ලෙස—වෙහෙසවා අවසන් කර ප්‍රතිස්ථාපනය කළ හැකි යන්ත්‍ර ලෙස—සලකනු ලැබූහ.
ඇමරිකානු මානව විද්‍යාඥ සිඩ්නි මින්ට්ස් වතු පද්ධතිය “ක්ෂේත්රය සහ කර්මාන්තශාලාව අතර සංශ්ලේෂණයක්” ලෙස හැඳින්වීය.
වතු තුළ භාවිත කළ කාලය හා චලනය පිළිබඳ මෙම ගණනය කිරීම් පසුව නූතන කාර්මික සේවා ස්ථාන සමඟ සම්බන්ධ වූ කළමනාකරණ පද්ධති සඳහා පූර්ව ආකෘතියක් විය.
සීනි වෙළෙඳාම සහ කාර්මික විප්ලවය
ලන්ඩන්, බ්‍රිස්ටල්, ග්ලාස්ගෝ සහ ලිවර්පූල්හි සීනි පිරිපහදු කර්මාන්තශාලා බ්‍රිතාන්‍යයේ මුල්ම කර්මාන්තශාලා ආකාරයේ සේවා ස්ථාන අතර විය.
ඒවා වටා නැව්ගත කිරීම, නැව් තැනීම, ගබඩා කිරීම, රක්ෂණය, ණය සහ බැංකු ක්‍රම වර්ධනය විය.
1774 වන විට අමු සීනි බ්‍රිතාන්‍යයේ සියලු ආනයනවලින් පස්වැනි කොටසක් විය. 1700 සිට 1800 දක්වා බ්‍රිතාන්‍යයේ සීනි ආනයනය හත් ගුණයකින් වැඩි විය.
සීනි හරහා එකතු වූ ධනය දුරස්ථ කැරිබියන් වතු තුළ පමණක් රැඳී නොසිටියේය. එය බ්‍රිතාන්‍යයේ වාණිජ හා කාර්මික ව්‍යාප්තියට මූල්‍ය සම්පාදනය කළේය.
එක් ඇස්තමේන්තුවකට අනුව 1770 වන විට එම ව්‍යාප්තිය සඳහා භාවිත කළ ප්‍රාග්ධනයෙන් 40%කට ආසන්න ප්‍රමාණයක් වහල් මිනිසුන් වෙළෙඳාමෙන් ලැබුණු ලාභයෙන් උපත ලබා තිබුණි.
යටත්විජිතවල ආයෝජන එංගලන්තයේ ආයෝජනවලට වඩා සිව් ගුණයකින් හෝ හත් ගුණයකින් ලාභදායී විය හැකි විය.
වෙනත් වචනවලින් කියන්නේ නම්, කාර්මික විප්ලවය අධිරාජ්‍ය මධ්‍යස්ථාන තුළ සිදුවීමට අවශ්‍ය මූලික ආයෝජන මුදල යටත්විජිත විසින් සපයන ලදී.
යටත්විජිතවාදය සහ නව-යටත්විජිතවාදය
බ්‍රිතාන්‍යයේ යටත්විජිත ප්‍රතිපත්තියේ අධිරාජ්‍ය මනාප ක්‍රමය යටතේ යටත්විජිත අමුද්‍රව්‍ය සපයන අතර නිෂ්පාදනය අධිරාජ්‍ය මධ්‍යස්ථානය තුළ සිදු විය.
අමු සීනි අත්ලාන්තික් සාගරය හරහා බ්‍රිතාන්‍යයට ගෙනැවිත් එහි පිරිපහදු කරන ලද අතර, විශාලතම ලාභ ආන්තිකය බ්‍රිතාන්‍යය තුළ රඳවා ගන්නා ලදී.
බදු මගින් බ්‍රිතාන්‍ය පිරිපහදුකරුවන් ආරක්ෂා කළ අතර, කැරිබියන් දූපත්වල සීනි පිරිපහදු කිරීම අධෛර්යමත් කරන ලදී. එමෙන්ම බ්‍රිතාන්‍ය පිරිපහදුකරුවන් සහ කැරිබියන් වතු, ඉන්දියානු සීනි සමඟ තරගයෙන් ආරක්ෂා කරන ලදී.
එබැවින් යටත්විජිතවාදය යනු යටත්විජිතවලින් ධනය උරා ගැනීම පමණක් නොවීය. එය සම්පූර්ණ ආර්ථිකයන්ම ප්‍රතිසංවිධානය කළේ, යටත්විජිතවල නිෂ්පාදන හැකියාවන් යටත්විජිතවල බලය හිමි රටවල හැකියාවන්ට යටත්ව පවතින ආකාරයටය.
යටත්විජිත පාලනය නිල වශයෙන් අවසන් වූ පසුවත් මෙම තත්ත්වය දිගටම පැවතුණි.
ඝානාවේ පළමු ජනාධිපති ක්වාමේ න්ක්රූමා මෙය හැඳින්වූයේ “නව-යටත්විජිතවාදය” (neo-colonialism) ලෙසය.
ලෝකය පුරා පැතිරුණු සූරාකෑමේ ජාලය
රෝහිණී මධ්‍යම බන්ධනාගාරයේ සිටි ප්‍රබීර්, ප්රාග්ධනයේ ගමන් මාර්ගය සරල අත්ලාන්තික් ත්‍රිකෝණයක් ලෙස නොව, ඉන්දියාව, අප්‍රිකාව, ඇමරිකා මහාද්වීප සහ යුරෝපය සම්බන්ධ කළ ග්‍රහලෝක මට්ටමේ කොල්ලකෑමේ පද්ධතියක් ලෙස ඇඳ දැක්වීය.
යුරෝපීය වෙළෙඳුන් ඉන්දියානු රෙදිපිළි බටහිර අප්‍රිකාවට ගෙන ගොස් ඒවා වහල්භාවයට පත් කරන ලද මිනිසුන් සමඟ හුවමාරු කළහ.
වෙඩි බෙහෙත් නිෂ්පාදනයට අත්‍යවශ්‍ය වූ බෙංගාලයේ සෝල්ට්පීටර් (saltpetre) මෙම භයානක වෙළෙඳාම සන්නද්ධ කිරීමට උපකාරී විය.
1757දී බ්‍රිතාන්‍යය විසින් බෙංගාලය යටත් කර ගැනීමෙන් පසු ඉන්දියානු ගොවීන්ගෙන් අයකළ ඉඩම් බදු ආදායම මෙම අපනයන සඳහා ගෙවීමට යොදා ගන්නා ලදී.
එබැවින් අත්ලාන්තික් ත්‍රිකෝණය යනු ලෝකය පුරා පැතිරුණු වඩා විශාල කොල්ලකෑමේ ජ්‍යාමිතියක එක් කොටසක් පමණි.
ජේම්ස් වොට්ගේ වාෂ්ප එන්ජිම වහල්භාවයට පත් අප්‍රිකානු වතු කම්කරුවන්ගේ සහ සාගින්නෙන් පෙළුණු ඉන්දියානු ගොවීන්ගේ රුධිරයෙන් පැල්ලම් වී තිබේ.
ධනවාදය සහ යටත්විජිත අත්පත් කර ගැනීම
යටත්විජිතවාදයෙන් තොර ලෝකයක කිසියම් මනඃකල්පිත ධනවාදයක් පැවතිය හැකිව තිබුණාද යන්න අප කිසිදා නොදනිමු.
නමුත් ඉතිහාසය සිදුවන්නේ මනඃකල්පිත ලෝකවල නොවේ.
සැබෑවට පැවති ධනවාදය යටත්විජිත අත්පත් කර ගැනීමෙන් වෙන් කළ නොහැකිය.
ධනවාදය මුලින්ම ඉංග්‍රීසි ගම්බද ප්‍රදේශවල පමණක් හැඩගැසී, පසුව සාමකාමීව ලෝකය පුරා පැතිර ගියේ නැත.
එහි ඉතිහාසය එකවරම පහත ස්ථානවල ස්ථානගත කළ යුතුය:
- ඉංග්‍රීසි ගම්බද ප්‍රදේශය,
- කැරිබියන් සීනි වත්ත,
- පොටෝසි රිදී පතල,
- අප්‍රිකානු වහල් රඳවා තබන ස්ථානය,
- ඉන්දියානු බදු කාර්යාලය,
- වහල්භාවයට පත් මිනිසුන් ප්‍රවාහනය කළ නැවේ අඳුරු තට්ටුව,
- සහ යුරෝපීය පිරිපහදු කර්මාන්තශාලාව.
“ප්‍රාථමික සමුච්චය” සහ අඛණ්ඩ සූරාකෑම
මෙම ඉතිහාසය, කාල් මාක්ස් විසින් “ප්‍රාථමික සමුච්චය” (originary accumulation / ursprüngliche Akkumulation) ලෙස හැඳින්වූ දෙය අවසන් වූ ඉතිහාසගත සිදුවීමක් ලෙස සැලකීමෙන්ද අපව වළක්වයි.
එහි ක්‍රම තවමත් අප සමඟ පවතී:
- ඉඩම් අත්පත් කර ගැනීම,
- ආර්ථිකයන් එක් බෝගයක් මත පදනම් වූ නිෂ්පාදනයකට යටත් කිරීම,
- ණය පාලන පද්ධති,
- අසමාන හුවමාරුව,
- ගෝලීය දකුණේ ශ්‍රමය අවතක්සේරු කිරීම,
- සහ ධනය උතුර විසින් පාලනය කරන මූල්‍ය පද්ධති වෙත මාරු කිරීම.
ආකාර වෙනස් වී ඇතත්, අත්පත් කර ගැනීම සහ සූරාකෑම තවමත් සිදුවෙමින් පවතී.
යටත්විජිත වන්දි
මෙම සූරාකෑමේ ඉතිහාසයන් බැරෑරුම් ලෙස සලකා බලන්නේ නම්, යටත්විජිත වන්දි (colonial reparations) ඉල්ලා සිටීම හුදෙක් සදාචාරාත්මක ආයාචනයක් හෝ අතීතය දෙස පමණක් බලන ඉල්ලීමක් ලෙස බැහැර කළ නොහැක.
වන්දි යනු ද්‍රව්‍යමය සහ දේශපාලන අවශ්‍යතාවක් ලෙස තේරුම් ගත යුතුය.
එය අතීත අපරාධ පිළිබඳ ගණන් බැලීමක් පමණක් නොව, යටත්විජිත අත්පත් කර ගැනීම හරහා ගොඩනැගුණු සහ වර්තමානයේත් ගෝලීය අසමානතාව ප්රතිනිෂ්පාදනය කරන අඛණ්ඩ ප්‍රාග්ධන සමුච්චය ව්‍යුහයන්ට මුහුණ දීමක් විය යුතුය.
ක්වේසි ප්‍රැට් ජූනියර්ගේ නව කෘතිය වන Reparations: History, Struggle, Politics, and Law මෙම තර්කය ඉදිරිපත් කරයි.
වන්දි ගෙවීම,
- ණය අවලංගු කිරීම,
- සොරකම් කරන ලද සම්පත් නැවත ලබා දීම,
- තාක්ෂණය හුවමාරු කිරීම,
- සහ යටත්විජිතවාදය හා ව්‍යුහාත්මක ගැලපුම් ප්‍රතිපත්ති විසින් විනාශ කළ රාජ්‍ය හැකියාවන් නැවත ගොඩනැගීම
වැනි ආකාර ගත හැකිය.
නූතන ධනවාදය ගොඩනැගූ දිගුකාලීන කොල්ලකෑමේ ඉතිහාසයට එරෙහි අත්‍යවශ්‍ය ප්‍රතිකාරයක් ලෙස වන්දි සැලකිය යුතුය.
වහල්භාවයට එරෙහි අරගලය
මෙය කිසිවිටෙකත් සූරාකෑමේ ඉතිහාසයක් පමණක් නොවීය.
වතු පද්ධතිය සෑම අදියරකදීම අභියෝගයට ලක් විය.
වහල්භාවයට පත් කරන ලද මිනිසුන්:
- පලා ගියහ,
- නිෂ්පාදනය කඩාකප්පල් කළහ,
- තහනම් සංස්කෘතික චාරිත්‍ර ආරක්ෂා කළහ,
- මැරූන් ප්‍රජාවන් (maroon communities) ගොඩනැගූහ,
- කැරලි සංවිධානය කළහ,
- අවසානයේ වහල්භාවය සදාකාලිකව පවතින බවට පෙනුණු තත්ත්වය බිඳ දැමූහ.
1804දී නිදහසින් අවසන් වූ හයිටි විප්ලවය, මෙම සත්‍යයේ ශ්‍රේෂ්ඨතම ප්රකාශනය ලෙස තවමත් පවතී:
පීඩනයේ කොතරම් සංකීර්ණ යන්ත්‍රණයක් වුවද, පීඩිතයන්ට එය පරාජය කළ හැකිය.
“ගිනියා” — ජැක් රූමැන්
1935දී හයිටි මාක්ස්වාදී කවියෙකු වූ ජැක් රූමැන් (1907–1944) තම රට නිරන්තරයෙන් හුස්ම හිර කිරීමට සිදු කරන උත්සාහයන්ගෙන් කෝපයට පත්ව “Guinea” නමින් කවියක් ලිවීය.
රූමැන්ගේ මිතුරෙකු වූ ලැන්ග්ස්ටන් හියුස් විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද එම කවිය, හයිටියේ අප්‍රිකානු මූලයන් සහ ගෞරවය සඳහා එහි අඛණ්ඩ අරගලය බලවත් ලෙස නිරූපණය කරයි.
ගිනියාව වෙත දිගු මාවතයි,
මරණය ඔබව පහළට ගෙන යයි.
මෙන්න අතු, ගස්, වනාන්තර.
එහි දිගු කෙස් අතරින්
සුළඟේ හඬට සවන් දෙන්න,
සදාකාලික රාත්‍රියේ හඬට.
ගිනියාව වෙත දිගු මාවතයි,
ඔබේ පියවරු එහිදී
කිසිදු නොඉවසිල්ලකින් තොරව ඔබ එනතුරු බලා සිටිති.
ගමන අතරතුර ඔවුහු කතා කරති.
ඔවුහු බලා සිටිති.
දිය පහරවල්
අස්ථි පබළු මෙන් හඬ නගන
මේ පැයයි.
ගිනියාව වෙත දිගු මාවතයි.
අඳුරු මිනිසුන්ගේ අඳුරු දේශයේ
ඔබ වෙනුවෙන් දීප්තිමත් පිළිගැනීමක්
සූදානම් නොවනු ඇත.
කුරුල්ලන්ගේ කෑගැසීමෙන් විදින ලද
දුම් සහිත අහසක් යට,
ගංගාවේ ඇස වටා,
ගස්වල ඇහිබැමි
දිරා යන ආලෝකය මත විවෘත වේ.
එහිදී, ජලය අසල
නිහඬ ගම්මානයක් ඔබ එනතුරු බලා සිටී;
ඔබේ පියවරුන්ගේ පැල්පතත්,
අවසානයේ ඔබේ හිස තබන
දැඩි පාරම්පරික ගලත්
එහි තිබේ.
උණුසුම් සුබ පැතුම්,
විජය ප්‍රසාද් විසිනි
From: Https://thetricontinental.org/newsletterissue/roots-of-capitalism/
———————————————————————————–
සිංහලට සකස් කළේ: විල්ප්‍රඩ් සිල්වා
![]()