අරගලය දිවි සැරිය කරගත්…..ලීනස් සහෝදරය….ඔබට සුභ ගමන් !

කම්කරු, ගොවි, ධීවර ප්‍රමුඛ සකලවිධ පහල මාලයේ පීඩිත ජනයාගේ අයිතින් වෙනුවෙන් සිය ජීවිත කාලයම කැප කළ ලීනස් ජයතිලක නම් වූ මහා සමාජ ක්‍රියාධරයා, විශිෂ්ඨ වාමාංශික නායකයා අප හැරදා සිය දිවිසැරිය නිමකර ඇත.

පමුණුගම, උස්වැටකෙයියාව ග්‍රාමයේ සම්භාවනීය පවුලක ජන්ම ලාභය ලැබූ ලීනස්, උස්වැටකෙයියාව, රෝමාණු කතෝලික පිරිම පාසලේ අධ්‍යාපනයේ මුල් අත්පොත් තබන්ට විය. මූලික අධ්‍යාපනය හමාර කිරීමෙන් අනතුරුව කතොලික පූජකවරය අරමුණු ගනිමින් අම්පිටිය ජාතික දෙව්සත්හලට ඇතුල් විය.

කතෝලික පූජකවරය ගෞරවණීය ලෙස අවසන් කළ ද ඔහුගේ මූලික අභිප්‍රාය වූයේ සමාජයේ පහල මාලයේ තැලෙන පොඩිවෙන ජනයාගේ විමුක්තිය වෙනුවෙන් කැපවීම ය. ධනවාදී සමාජ ක්‍රමය තුළ දරිද්‍රතාවයේ පතුලට ම වැටෙන සමස්ථ ලෝ වැසියාගේ විමුක්තිය වෙනුවෙන් තෝරාගත යුතු සමාජ ක්‍රමය හඳුණාගැනීම වෙනුවෙන් දේශපාලනමය ගවේෂණයක නියැලීම ඔහුගේ තරුණ පූජක අවධිය මුළුමණින් ම කැප කරණු ලැබීය.

ලීනස් තෝරාගත් මග වූයේ මාක්ස්වාදී ගුරුකුලය විසින් ලොව පුරා ජනයාගේ විමුක්තිය වෙනුවෙන් හඳුන්වා භාවිතයට ගැනෙන්නට වෙර දරණ වාමාංශික දේශපාලනයයි. ඒ වෙනුවෙන් ලීනස් ජයතිලකයන් සිය පූජක ලෝගු පළඳනාව පසෙකින් තැබීය.

තම අරමුණ සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ලංකාවේ වාමාංශික ව්‍යාපාරය පිළිබඳව නිවැරැදිව කියවීම ඔහුගේ ඊළඟ ව්‍යායාමය විය. මේ දේශපාලන කියැවීම තුළ ඔහු හඳුණා ගන්නේ හැත්තෑව දශකයේ වමේ දේශපාලන කරලියේ පෙරලිකාරී පක්ෂයක් ලෙස හඳුණා ගතතේ ‘නව සමසමාජ‘ පක්ෂයයි. ඒ වැඩකරන ජනතාවගේ බලයක් වෙනුවෙන් ජන අරගල මාවත දෙසට යොමුවෙමින් තිබුණු පක්ෂයක් වීම නිසාම ය.

උග්‍ර යුධ විරෝධීයෙකු හා ජාතිවාදයට එරෙහිව දෙමළ ජනතාවගේ ස්වයංතීරණ අයිතිය වෙනුවෙන් ප්‍රබලව නැගී සිටි නායකයෙක් විය. ඒ නිසාම ඔහු සුප්‍රසිද්ධ ‘83 කළුජූලියේ‘ විත්තිකරුවෙක් ලෙස නම් කරන්නට ජේ ආර් ආණ්ඩුව ක්‍රියා කිරීම නිසා විවෘත සමාජයෙන් සැඟවී දිවි ගෙවන්නට ද කලක් ඔහුට සිදුවිය.

ලාංකීය වමේ දේශපාලනය මගහරිනු ලැබූ ජාතික විමුක්ති අරගලය, ශ්‍රී ලංකාවේ ගොවිජන විප්ලවය, සු`ඵ නිෂ්පාදකයන්ගේ සභාවන් මත පදනම් වූ ආහාර නිෂ්පාදන ස්වයං පාලනයක් වෙත යොමු වූ වමේ විප්ලවකාරී දේශපාලන බලයක් වෙනුවෙන් වූ ඔහුගේ දේශපාලන අරගලය අඛණ්ඩව පෙරට ගෙන එන්නට වෙහෙස විය.

තම දේශපාලන අරමුණ ජයග්‍රහණයකරවා ගැනීම වෙනුවෙන් ඔහුගේ යොමුව වූයේ වැඩකරන ජනතාවගේ බලය ප්‍රකාශ කෙරෙන වෘත්තීය සමිති ව්‍යාපාරය දෙසටයි. ඒ ගමනේදී බාලා තම්පෝ සහෝදරයා ඔහුගේ වෘත්තීය සටන් සගයෙකු විය. මියයන මොහොත වනවිටත් ඔහුගේ තෝරා ගැනීම වූ වාණිජ හා කාර්මික සේවක සංගමයේ සභාපතිවරයා මෙන්ම එවැනි වෘත්තීය සමිති ගණනාවකින් සමන්විත එක්සත් කම්කරු සම්මේලනයේ සභාපතිවරයා විය.

මේ නිළතල කිසි දිනෙක ඔහු තමන්ගේ ආභරණයක් කර නොගත්තේය. ඔහු මියයන මොහොතෙත් ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ සැබෑ මිතුරෙක් ලෙස එක්සත්කම වෙනුවෙන් ඉහළින් ම කැපවිය. සමාජවාදී-ධනවාදී ලෝකය අතර ගැටුම හා නූතන තාක්ෂණික ලෝකයේ වර්ධනයන් පිළිබඳව මැනවින් හැදෑරුවේය. පහල මාලයේ ජනයා බලගැන්වීමේ දේශපාලනමය ඉලක්කය කරා ජනයා මෙහෙයවන අරගලය ඔහුගේ උරමත දරාගෙන මියයන මොහොත දක්වාම නොසැළී පියවර තබන්නට වෙහෙසුනේ ඒ වෙනස්කම් යෞවනයෙකු සේ ග්‍රහණය කර ගනිමිනි.

උග්‍ර සභාග විරෝධී වාමාංශිකයෙකු වූ ලීනස් ‘නව සමසමාජ‘ පක්ෂය ආරම්භක අරමුණු වලින් බැහරට ගමන් කරන්නට වූවිට තම දේශපාලන සගයන් සමග ‘වමේහඞ‘ බිහිකරන්නට උර දුන්නේය. සිය දිවිගමණෙන් සමුගන්නා අවස්ථාව වනවිට ඔහු ‘වමේහඞ‘ කණ්ඩායමක් ලෙස වර්ධනය කරමින් ඒ අරමුණ වෙනුවෙන් ම කැපවූ දේශපාලන ව්‍යාරයකට අත්පොත් තබමින් බිහිකළ ‘සමාජවාදී ජනතා සංසදය‘ නම් දේශපාලන සංවිධානයේ සභාපතිවරයා විය.

පීඩිත ජන සමාජයට නිවැරැදි නිශ්චිත මගක් තිලින කරමින් අපහැර යන ලීනස් ජයතිලක සොහොයුරාණන් ගෙන් වැඩකරන ජනතා ව්‍යාපාරය ප්‍රමුඛ පහල මාලයේ ජන බලය මත පැටවෙන හිදැස පූර්ණ කරගන්නට අපි දෑත් ඔසවා එක්සත්ව සපතකර සිටින්නෙමු.

නීල් විජේතිලක

ලේකම්, සමාජවාදී ජනතා සංසදය

2022 මැයි 12

Loading