කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අරගලය අල කරන්න යයි!


විශේෂ වාර්තාකරුවකු විසිනි


කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ හරහා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂකයින් ඉවත් කිරීමට අධිකරණ තීන්දුවක් ගැනීමේ උත්සාහයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් ඇත.
අද පෙරවරුවේ රැස්වූ පොහොට්ටුවට හිතවත් නීතිඥ කණ්ඩායම් මේ වන විට ඒ සඳහා අවශ්‍ය ලේඛන සකස් කරමින් ඇත.  ජනාධිපති කාර්යාලය ඉදිරිපිටින් උද්ඝෝෂකයින් ඉවත් කර, ශැංග්‍රිලා හෝටලයට ඉදිරිපට උදේඝෝෂණ ස්ථානයේ පමණට පමණක් විරෝධතාව සීමා කරන ලෙස නියෝගයක් ලබා ගැනීමට මෙම පිරිස උත්සහ කරයි.
රට පුරා උද්ඝෝෂණ ආරම්භවීමත් සමඟම පසුගිය අප්‍රේල් 4 දින තිලිණ ගමගේ කොටුව මහේස්ත්‍රාත් ලෙස වැඩබාරගත්තේය.
ගෝඨාභය විසින් කොටුව මහෙස්ත්‍රාත් ලෙස පත් කළ තිලිණ ගමගේ දවසේ වැඩිම කාලයක් රැදී සිටින්නේ අරලිය ගහ මන්දිරයේ ය.  ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා ලෙස ද කටයුතු කර ඇති තිලිණ ගමගේ ට අනවසර ගිණි අවි භාවිතය ඇතුළු චෝදනා රැසක් එල්ල වී තිබුණි.  අලි පැටව්න් හොරකම් කිරීමේ චෝදනාවට ලක්වී වැඩ තහනමකට ලක් වූ තිලිණ ගමගේ, රාජපක්ෂවරු බලයට පත්වීමේන් පසුව කොටුව මහෙස්ත්‍රාත් ලෙස පත් කරනු ලැබීය. 
නීතිපති වරයා විසින් ‘නිදොස් කොට නිදහස් කර ගැනීම සඳහා නඩු පැවරීමේ‘ ව්‍යවහාරයේ කුප්‍රකට නඩුවක් බවට තිලිණ ගමගේ පත්විය.
පිළිගත් අධිකරණ ක්‍රියාදාමයට පිටින් අලි නඩුවේ සියළු කටයුතු සිදු වූ අතර, ඇපලබාදීම සම්බන්ධයෙන් ගත් අනීතික ක්‍රියා පිළිවෙත දැඩි විවේචණයට ලක් විය.
අධිකරණ නිවාඩුවෙන් පසුව, හෙට සීමිත අධිකරණ කටයුතු නැවත ආරම්භවීමට නියමිතය. හෙට දිනයේ කොටුව අංක 4 උසාවියේ පළමු නඩුව ලෙස ලැයිස්තු ගත කර ඇත්තේ හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් අජිත් නිවාඩ් කබ්රාල් ට එරෙහිව පවරා ඇති නඩුවයි.  අධිකරණයේ නිවාඩුව අවසන් වන්නේ ලබන 25 වනදා ය.
වත්මන් ආණ්ඩුවේ ප්‍රබලම චරිත හතරකට එරෙහිව විදේස් ගමන් තහනම් කිරීමට හෙට දිනයේ නඩු පැවරීමට නියමිත බව කොටුවේ අධිකරණ ආරංචි මාර්ග පවසයි. ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා, ඇතුළු නීතිඥ කණ්ඩායමක් විදෙස් ගමන් තහනම් කරමින් ඉදිරිපත්වන ඕනෑම පෙත්සමකට මැදිහත්වීමට සුදානම් කර තබා ඇත.  බැසිල් රාජපක්ෂ ට රෝහල්ගත කොට ඇත්තේ ද, හෙට දින අධිකරණයට මෝසමක් මගින් කරුණු දැක්වීමට නියමිත නඩුවක් හේතුවෙනි. 
ඉදිරි සතියේ දී විභාගයට ගැනීමට දින නියම කර ඇති නාමල් රාජපක්ෂ ට සම්බන්ධ නඩු විභාගයට පෙර ඔහුගේ ගමන් බලපත්‍රය ද අධිකරණය මගින් නිදහස් කර ඇත.   
මේ මස 18, 21, 25, 27 සහ 28 දිනවල වත්මන් අණ්ඩුවේ ප්‍රබලයින්ට එරෙහි ‘නිදහස් කොට නිදහස් කිරීමේ මාදිලියේ‘ නඩු විභාග ගැනීමට නියමිතව ඇත.  මෙම නඩු සම්බන්ධයෙන් නැවත සලකා බැලීමක් සිදු කරන ලෙස නීතිඥවරුන් විසින් නීතිපතිවරයා හමුවී විරෝධය දක්වමින් ඉල්ලා සිටිනු ලැබීය.  රජයට සම්බන්ධ පුද්ගලයින්ගේ අපරාධ, අල්ලස්, දුෂණ හා සාපරාධී විශ්වාසය  කඩ කිරීම, දේපළ වංචා පිළිබඳ නඩු 61 ක් මේ දක්වා තාක්ෂණික කරුණු මත ඉල්ලා අස්කර ගෙන ඇත.  තාක්ෂණික හේතු, නීතිපතිගේ අභිමතය නඩු ඉවත් කර ගැනීමේ හේතු ලෙස දක්වා ඇත.
අද දිනයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පිරිස් වෙත යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා අලුත්කඩේ උසාවිය ඉදිරිපිට මේ වන විට විරෝධතා පැවැත්වේ.  හෙට පෙ.ව. 9 ට කොටුව මහෙස්ත්‍රාත් උසාවිය ඉදිරිපිට නීතිවරුන්ගේ විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර ඇත.

Loading