කටාර් ලෝක කුසලානය: ක්‍රීඩාව අපයෝජනය කිරීම සහ දෙබිඩිබව

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි

ලෝකයේ ඉහළින්ම වැජඹෙන ජාතික පාපන්දු කණ්ඩායම් මේ වන විට කටාර්හිදී FIFA 2022 ලෝක කුසලානය වෙනුවෙන් තරඟ වැද සිටී.
2020 ලෝක කුසලානයේ සත්කාරක රට ලෙසින් කටාර් රාජ්‍යය තෝරාගත් 2010 සිට, නිමක් නැති අල්ලස්, දූෂණ, සංක්‍රමණික කම්කරුවන් කුරිරු ලෙසින් සූරාකෑම යන ඒවා එරට, ක්‍රීඩාව සහ එහි ජාත්‍යන්තර සංවිධානය වන FIFA තුළ වසංගතයන් ලෙසින් පැතිර ගොස් තිබුණි.
කටාර් පාලනය විසින් සිදුකරන මානව හිමිකම් මර්ධනයට මෙන්ම, FIFA විසින් සිදු කරන දූෂණයන්ටද එරෙහිව විරෝධය දක්වන ලෙසට පාපන්දු ලෝලීන්, ක්‍රියාකාරීන් සහ මානව හිමිකම් කණ්ඩායම් විසින් ජාතික කණ්ඩායම්වලට බලපෑම් කිරීමට විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, බොහෝ ක්‍රීඩා ලෝලීන් තරඟාවලිය බැලීමට යාම වෙනුවට නිවසේ රැඳී සිටීමට තීරණය කර ඇත. සමහරුන් තරඟ නැරඹීම මුළුමනින්ම වර්ජනය කිරීමට පවා සැලසුම් කර ඇත.
මෙම ප්‍රතික්‍රියාව ගැන කනස්සල්ලට පත් FIFA ප්‍රධානීන් තරඟාවලියට පෙර ඊට සුදුසුකම් ලත් කණ්ඩායම් 32 ට ලිපියක් යවමින් “දැන් පාපන්දු ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කරන්න” යනුවෙන් ඉල්ලා සිටියේය. ඒ සමඟම, LGBT+ අයිතිවාසිකම් සඳහා සහාය දැක්වීම සඳහා ක්‍රීඩකයින් දේදුනු වර්ණ සහිත අත්පටි පළඳින්නේ නම් සම්බාධක හෝ දඬුවම් වලට මුහුණ දිය හැකි බවට FIFA විසින් කණ්ඩායම්වලට අනතුරු අඟවා ඇත.
මේ අතර පසුගිය දිනෙක FIFA සභාපති Gianni Infantino විසින් FIFA හා සත්කාරක රාජ්‍යය ගැන බටහිර මාධ්‍ය විසින් කරනු ලබන විවේචනයන්ට එල්ල කළ ප්‍රහාරය නළල රැළි ගන්වන සුළු විය.
තරඟාවලිය ආසන්නයේදී කළ කථාවකදී, Infantino විසින් FIFA සහ කටාර් රාජ්‍යයට එරෙහිව නැඟෙන මතය වෙනතකට හැරවීම වෙනුවෙන්, බටහිර රටවල සිදුවන සූරාකෑම සහ මර්ධනය ඉස්මතු කිරීමට උත්සාහ කළේය. වැරදි දෙකක් විසින් නිවැරදි දෙයක් ඇති නොකරන නමුත් ඔහුට යම් පදනමක් පවතී.
FIFA සහ කටාර් රාජ්‍ය නරුම ලෙස ක්‍රීඩාව අවභාවිතා කිරීමේ ඉහළම මට්ටම පෙන්වා ඇත. එසේ වුවද, සමස්ත ධනවාදී ක්‍රමය තුළින්ම දූෂණයේ හා දෙබිසි බවේ දුර්ගන්ධය හමා ඒම වැළැක්විය නොහැකිය.
අධිකාරිය හා දෙබිඩිබව
එල්ල වූ දූෂණ චෝදනා පිළිබඳ FIFA විසින් කළ පරීක්ෂණයදී දක්වා තිබුණේ “කටාර් 2022 හැසිරීම, FCE [FIFA ආචාර ධර්ම පද්ධතිය] හෝ ලංසු තැබීමේ නීති වල දක්වා ඇති ප්‍රමිතීන්ට අනුකූල නොවිය හැකිය.” එම පරීක්ෂණයේදීම තව දුරටත් දක්වා තිබුණේ 2018 තරඟාවලිය පැවැත්වීම සඳහා එංගලන්තය කළ ලංසු තැබීමද ඇතුළුව කලින් කළ ලංසු තැබීම් සම්බන්ධයෙන්ද එය සත්‍යය බවය.
වෙනත් වචන වලින් කිවහොත්, ඔවුන්ට ගැලපෙන සැමවිටම, අපකීර්තිමත් ක්‍රියාවන් හමුවේ, FIFA ප්‍රධානීන් ඉතා සතුටින් දෑස් වසාගෙන සිටී.
ඊට වෙනස්ව, පුටින් විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු, බටහිර අධිරාජ්‍යවාදයේ ප්‍රචාරක යුද්ධයේ කොටසක් ලෙසින් -2018 ලෝක කුසලාන සත්කාරක රට වූ- රුසියාවට මෙම වසරේ තරඟ තහනමක් පැනවීය. ඒ සමඟම ඉරානයේ ආගමික අන්තවාදී පාලන තන්ත්‍රය විසින් කාන්තාවන්ට එරෙහිව ගෙනයන මර්ධනය නිසා  ඔවුන්ට දෙන දඬුවමක් ලෙස තරඟාවලිය තහනම් කිරීම ගැනද කතා බහක් පැවතුණි.
රුසියානු සහ ඉරාන පාලන තන්ත්‍රයන් කෙරෙහි අධිකාරීන් තුළ පැවති කෝපය මහ හඬින් ප්‍රකාශ විය. එහෙත්, සංක්‍රමණික කම්කරුවන්ට, කාන්තාවන්ට සහ LGBT+ ජනතාවට එරෙහිව කටාර් රාජාණ්ඩුව සහ ඒකාධිකාරී සමාගම් විසින් සිදු කළ හා කරනු ලබන මර්ධනය සම්බන්ධයෙන් බටහිර පාලක පන්තිය විසින් අනුගමනය කළේ දෙසවන් බිහිරි කරන නිශ්ශබ්දතාවයකි.
කටාර් රාජ්‍ය තුළ පිරිමි භාරකාරත්වය බලාත්මක අතර, එය විසින් කාන්තාවකට “විවාහ වීමට, ගමන් බිමන් යාමට, උසස් අධ්‍යාපනය හැදෑරීමට හෝ තමන්ගේම දරුවන් ගැන තීරණ ගැනීමට” පිරිමින්ගෙන් අවසර ගැනීමට බල කරයි”. එසේ වුවද ලෝක කුසලානය සඳහා කටාර් තහනම් කරන ලෙසට බටහිර පාලක පන්තිය විසින් ඉල්ලා සිටියේ කොහේදීද?
මේ අතර, ලෝක කුසලානයට සහභාගී වන සියල්ලන් අතරින් ලොකුම අපරාධකරු ගැන සඳහන් කිරීමට ලිබරල් විචාරකයින් අසමත්ව ඇත: ඒ නිමක් නැති යුද්ධ, ආක්‍රමණ, උසිගැන්වීම් හා මැදිහත්වීම් සිදු කරන බටහිර අධිරාජ්‍යවාදයයි.
එක්සත් ජනපද අධිරාජ්‍යවාදය යනු මිහිතලය මත ඇති වඩාත්ම ප්‍රතිගාමී බලවේගයයි. එහෙත් එක්සත් ජනපදයට සහ එහි හෘදයාඟම සගයන්ට එරෙහිව FIFA විසින් නිකුත් කළ එකද සම්බාධකයක් හෝ සොයා ගැනීමට නොහැකිය. ඒ හා සමානවම, පිළිවෙලින් 1934 සහ 1978 දී ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය සැපයීමට මුසොලිනිගේ ඉතාලියට සහ ආර්ජන්ටිනාවේ ජුන්ටාවට ඉඩ දීම සම්බන්ධයෙන් FIFA සතුටු වේ.
කුහකකමේ දුර්ගන්ධය සැමටම දැකගත හැකිය. ධනපති පන්තිය සහ ඔවුන්ගේ නියෝජිතයින් – FIFA සහ රාජ්‍ය යන්ත්‍ර – මානව හිමිකම් ගැන තුට්ටුවක හෝ තැකීමක් නොකරයි. ඔවුන්ට උවමනා ලාභය පමණි.
ධනපති ක්‍රමය = දූෂණය
වැඩ තහනමට ලක්වූ, 2011දී සිටි FIFA උප සභාපති ජැක් වෝනර් කියා සිටියේ කටාර් විසින් “ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය වෙනුවෙන් වන අයිතිය මිලදී ගත්” බවයි. කටාර් ලංසුවට සම්බන්ධව සිටි, පසුව තොරතුරු හෙළිදරව් කළ අයෙකු කියා සිටියේ එරට සත්කාරකත්වය තහවුරු කර ගැනීම වෙනුවෙන් අප්‍රිකානු රටවල ඡන්ද මිලදී ගැනීම සඳහා එම රටවල පාපන්දු බලධාරීන්ට ඩොලර් මිලියන 1.5ක් ගෙවූ බවයි.
FIFA නිලධාරීන් සහ ජාතික පාපන්දු සංගම් අතර අල්ලස් ගෙවීම් පිළිබඳ නිමක් නැති වාර්තා සහ පරීක්ෂණ පවතී. එහෙත් මේවා සම්බන්ධ කොතෙකුත් පැහැදිලි සාක්ෂි පැවතියද, මේවායින් වර්දකාරීත්වයක් තහවුරු කරනු ලැබුවේ අතළොස්සක් සිදුවීම් සම්බන්ධයෙන් පමණි. ඒවා අයිස් පර්වතයක මතුපිට කොටස මෙනි.
මුදල් සඳහා ඉව අල්ලන පරපෝෂිතයන්ට, පාපන්දු යනු ලාභ ලැබීමට අඩුවක් නොමැති අවස්ථාවන් ලබාදෙන කර්මාන්තයකි. මිලියන ගණනින් වන රූපවාහිනී ගනුදෙනු, ප්‍රවේශ පත්‍ර අලෙවිය, වෙළඳ බලපත්‍ර, අනුග්‍රාහකත්වය සහ තවත් බොහෝ ආකර්ශණීය ගණුදෙනු වලට සම්බන්ධ මුදල් ප්‍රමාණය අති විශාලය.
ලෝක කුසලානයට සත්කාරකත්වය සැපයීම තුළින් සිය ආර්ථිකයට ඩොලර් බිලියන 17 ක් එකතු වනු ඇතැයි කටාර් අපේක්ෂා කරයි. මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් සම්බන්ධ වූ විට ඒ සමඟ දූෂණ හා අක්‍රමිකතා දෙගොඩ තලා යාම සිදු වේ. තමන්ට වාසි සහගත ලෙස ඡන්ද සකස් කර ගැනීමත්, කොන්ත්‍රාත් ලබා ගැනීමත් වෙනුවෙන් පාපන්දු නිලධාරීන් සහ ප්‍රධානීන්ට කකුල් මාට්ටු දැමීමට වැය වන්නේ සංසන්දනාත්මකව ඩොලර් මිලියන කිහිපයක් පමණි.
වර්ජනය සහ විරෝධය
බොහෝ පුද්ගලයින් තරඟාවලිය වර්ජනය කිරීමට සැලසුම් කර ඇති අතර ඇතැම් අවහන්හල් හිමිකරුවන් පවසා ඇත්තේ විරෝධතා දැක්වීම සඳහා ඔවුන් තරඟ විකාශනය නොකරන බවයි.
මෑතදී කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ, කටාර්හි පවතින සමලිංගික විරෝධී නීති නිසා එයට සත්කාරක තත්ත්වය ලබා දීමෙන් වැළකිය යුතුව තිබූ බව බ්‍රිතාන්‍යයේ සිටින පුද්ගලයින් 10 දෙනෙකුගෙන් 6 දෙනෙකුම විශ්වාස කරන බවයි.
මේ අතර LGBT+ ආධාරකරුවන් විසින් තරඟාවලියට සහභාගී වන්නේ නම්, තමන් ආරක්ෂිත බවටත්, ඔවුන්ට එරෙහිව නීතිමය පියවරක් නොගන්නා බවටත් වන සහතිකයක් ඉල්ලා ඇත. නමුත් ඔවුන්ට තවමත් එවැනි සහතිකයක් ලැබී නොමැත.
සංක්‍රමණික කම්කරුවන්
ඒ අතරම, පාලන තන්ත්‍රයට සහ විශාල ඉදිකිරීම් සමාගම්වලට ලාභ ශ්‍රමය බඳවා ගැනීමටත්, එමඟින්, පිරිවැය අඩු කර ගැනීමට සහ ලාභ උපරිම කර ගැනීමටත් ඉඩ ලබාදුන් කටාරයේ පවතින සුපිරි සූරාකෑමට ඉඩ සලසන කම්කරු නීතිරීති කෙරේද මේ වනවිට අවධානය යොමුව ඇත.
ක්‍රීඩාංගණ, මාර්ග, පොදු ප්‍රවාහන පද්ධති සහ හෝටල් ඉදිකිරීම් කරනු ලැබුවේ තම හාම්පුතාගේ අවසරයකින් තොරව තම රැකියාව වෙනස් කිරීමට නොහැකි ‘Kafala’ ක්‍රමය යටතේ බඳවා ගත් දස දහස් ගණනක් සංක්‍රමණික කම්කරුවන් විසිනි.
2013 තරම් කාලයේදීත්, දුගී වැටුප් හා අයහපත් සේවා තත්ත්වයන් ගැන ඇමෙනස්ටි ඉන්ටර්නැෂනල් විසින් වාර්තා කොට තිබුණි. කටාර් ඉදිකිරීම් අංශයේ නියුතුව සිටි සංක්‍රමණික සේවකයින් ඉහළ මට්ටමේ අපයෝජනයකින් හා මර්ධනයකින් පීඩා විඳි බව එය පෙන්වා දී තිබුණි.
කම්කරුවන්ගෙන් ගමන් බලපත්‍ර ලබා ගන්නා ලදී; වැටුප් අත්හිටුවා ඇත, නැතහොත් පොරොන්දු වූවාට වඩා අඩු වැටුපක් ලබා දෙන ලදී; සේවකයින් අපිරිසිදු, අවහිර වූ මහල් නිවාසවල රඳවා සිටියහ.
ඇත්ත වශයෙන්ම, 2010 සිට 2020 දක්වා කාලය තුළ කටාර්හි ඉදිකිරීම් ස්ථානවල සේවය කළ සංක්‍රමණික සේවකයින් 6,500 කගේ පමණ ජීවිත අහිමි විය. මෙය සෑම සතියකම ප්‍රධාන වශයෙන් ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව වැනි රටවලින් පැමිණි කම්කරුවන් 12 දෙනෙකු ඝාතනය කිරීමකට සමාන විය. 2010 සිට 2020 දක්වා කාලය තුළ කටාර්හිදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ද 557ක් මියගොස් තිබෙන බව වාර්තා වී ඇත.
එබැවින් මේ වසරේදී කටාර් හා FIFA ප්‍රභූ පැලැන්තිය හා ඔවුන්ගේ කොන්ත්‍රාත්වලට සම්බන්ධ ධනපති පන්තිය විසින් ලෝක කුසලානයෙන් විශාල ලාභයක් භුක්ති විඳිනු‍යේ දහස් ගණනක කම්කරුවන්ගේ රුධිරය, දහඩිය සහ ජීවිත මතින් යමිනි.
අවසන් නලා හඬ
එබැවින්, කටාර් 2022 ලෝක කුසලානය විසින් නූතන පාපන්දු ක්‍රීඩාව පමණක් නොව සමස්තයක් වශයෙන් මුළු ධනවාදී ක්‍රමයම කුණු වී ඇති බව පෙන්වා දී ඇත.
ක්‍රීඩාව පයෝජනය කිරීම් තිබියදීත්, ක්‍රීඩකයන් පිටිය තුළ ඇදහිය නොහැකි අන්දමේ කුසලතා සහ දක්ෂතා පෙන්වා සිටිනු ඇති අතර ඒවා විඳ ගැනීම වෙනුවෙන් ලොව පුරා මිලියන ගණනක් තරඟාවලිය නැරඹනු ඇත.
එහෙත් දෙබිඩි බව, දූෂණය සහ සූරාකෑම වීසින් නොසලකා හැරිය නොහැකි පැල්ලමක් ඉතිරි කර ඇත. බොහෝ දෙනෙකුට අනුව, ලාභ පසුපස හඹා යන පරපෝෂිතයන්, දූෂිතයන් හා කොල්ලකාරීන් විසින් මෙම ලස්සන ක්‍රීඩාව ආපසු හැරවිය නොහැකි ලෙස වනසා දමා ඇත.
පාපන්දු ක්‍රීඩාව පිරිසිදු කිරීම වනුවෙන්, එහි විනාශයට වගකිව යුතු ක්‍රමය අප විසින් බිඳ දැමිය යුතුය.
ධනවාදය වෙනුවෙන් අවසාන නලාව හැඬවීමට කාලය පැමිණ ඇත. මෙවැනි රෝගී ක්‍රමයකට තවත් ක්‍රීඩා කිරීමට කාලය ලබාදීම සුදුසු නොවේ. ඒ වෙනුවට, ලාභ ගරන්නන් සහ ප්‍රකෝටිපතියන්ට අවසාන නලාව හැඬවීම වෙනුවෙන් අප සංවිධානය විය යුතුය.

Loading