Originally published on https://www.patitha.lk/මෙවන්-කුලපතිවරුන්-ලැබීමට/?fbclid=IwAR3XqHix2IvZVq09DFUHIoikwrpulNbmIqlUnRL9LpiRF6Q9THELLJ1WJ6U
අරුණි සමරකෝන්
මෙම ලිපිය ස්ත්‍රීවාදී දේශපාලන භාවිතයක් වන ‘ඇයගේ කතාව’ නම් ක්‍රමවේදය (method of her story) මත පදනම් ව ඉදිරිපත් වේ. ලිපිය තුල මේ අනුව හමුවන සියලුම භාවිත ස්ත්‍රීවාදී දේශපාලනික විඥානය මගින් සිදුකරන අර්ථ කථනය වන අතර, එහිදී හමුවන උපහැරණ ස්ත්‍රී දේශපාලනය මගින් බලය හිමි පාර්ශ්වයන් ගේ හැසිරීම විචාරශීලි ව විස්තර කරනු ඇත. ලිපියේ ප්‍රධාන අභිමතාර්ථය නම්, මේ ගෙවෙන මොහොතේ ජනප්‍රිය කතිකාවක් වන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල වෙත නව පුරුෂමූලික කුලපතිවරු පත් කිරීම වෙත සමාජ මාධ්‍ය හරහා ලබාදුන් ප්‍රතිචාර ස්ත්‍රීවාදී දේශපාලනය හරහා විභාග කිරීමය. එම විභාග කිරීම ස්ත්‍රීවාදී ‘මගේ කතාව’ ලෙස දිග හැරේ.
මුලින්ම අවධානය යොමුවන කරුණ නම්, දැනුම් නිෂ්පාදනයේ සුජාත හිමිකාරීත්වය විශ්වවිද්‍යාල පමණක් සතුවේ යන්න වෙත ය. විශ්වවිද්‍යාලවලින් පිටස්තර ලෝකයේ දැනුම නිෂ්පාදනය නොවේද? විශ්වවිද්‍යාලයක් වෙත ප්‍රවේශ නොවීමෙන් දැනුම් නිෂ්පාදනයේ සුජාතභාවයක් වෙත හිමිකම් කිව නොහැකිද? මෙයට ස්ත්‍රීවාදීනියක් ලෙස මාගේ කතාව නම්, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල තුලින් පරිබාහිරව විශාල දැනුමක් නිරන්තරයෙන් නිෂ්පාදනය වන බවය. නමුත් එම දැනුම වෙත සුජාතභාවයක් ලබා දීමට කිසිවෙකු අවධානයක් යොමු නොකරන හෙයින් ම, එම දැනුම ප්‍රධාන ප්‍රවාහයට ඒකරාශී වීමේදී විවිධ අභියෝග වෙත මුහුණදෙනු ලැබේ. මෙයට උදාහරණයක් ලෙස 2005 දී ආරම්භ වූ අශිෂ්ට යුධ මෙහෙයුම් විවේචනය කරන කතිකාවේ ආරම්භය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල නොවේ. යුද්ධයක් විවේචනය කිරීම වෙනුවට එයට සහයෝගය දක්වමින්, හමුදාව දිරිමත් කිරීම උදෙසා පිරිත් කියා පිරිත් නූල් බැදීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අචාර්ය දඹර අමිල හිමි ඇතුළු පාර්ශව විසින් ක්‍රියාකරණ ලදී. එම අශීලාචාර යුද්ධයේ අවසානය නම්, අදටත් නිශ්චිතව වාර්තා කිරීමට අපෝසත් වූ ජීවිත ප්‍රමාණයක් විනාශ වීම සහ අතුරුදහන් වීමය. එම යුද්ධයේ ආරම්භය, විකාශනය සහ අශිෂ්ට අවසානය පිලිබඳ විචාරාත්මක දැනුමක් නිෂ්පාදන වෙනුවෙන් මූලිකත්වය ගැනීමට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල වෙත හැකි වී තිබේද? එසේම පිටස්තර ලෝකය තුල යුද්ධයට එදිරි කතිකාව විශ්වවිද්‍යාල වෙත රැගෙන යාමේ හැකියාවක් වේද?
යුද්ධයක් සාධාරණීකරණය කරන ලද දැනුම් නිෂ්පාදනයේ සුජාත දරු දැරියන් මේ ගෙවෙන මොහොතේ විශ්වවිද්‍යාල සුජාතභාවය රැකගැනීමේ අරගලයක නිරත වී සිටි. එහි එක් අවස්ථාවවක් නම්, නව කුලපතිවරු ලෙස මුරුත්තෙට්ටුවේ ආනන්ද සහ කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත යන භික්ෂු දෙනම යෝජනාකිරරීම ට විරෝධය පෑමය . මෙම පත්කිරීම් වෙත විරෝධය පළකිරීමේ මූලිකම පදනම්ක් ලෙස මෙම දරු දැරියන් පවසනුයේ, මේ දෙපොළ, ඔවුන්ට ලබා දී ඇති පදවිය සදහා අදාළ සුදුසුකම් සපුරා නොමැති බවය. සුදුසුකම් මත පත්කිරීම් සිදුකිරීම ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ තිරසාර සම්ප්‍රධායක් වීද? බොහෝ නවක බඳවා ගැනීම් පුද්ගල රුචිතාවයන් මත සිදු නොවී ද? ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සම්ප්‍රධාය තුල ද ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ දී මෙන් “වංශය” (dynastic politics) මත පදැනම් ව බඳවා ගැනීම් සිදුවේ. මව හෝ පියා විශ්වවිද්‍යාලයේ සේවයේ නිරත වීම හේතුවෙන් ආධුනික කථිකාචාර්ය ධුර හිමි වූ යහළු-යෙහෙලියන් මෙය ලියන මට මෙන්ම කියවන ඔබට ද නොසිටී ද? එසේම දීප්ති කුමාර ගුණරත්න කියූ ලෙස “ජෙන්ඩර්” (gender) වෙනුවට “ජුන්ඩා බැලන්ස්” [1] කිරීම හේතුවෙන් ද පත්වීම් සිදුවන වන පදනමක, මෙම කුලපතිධුරවල සුදුසුකම් වෙනුවෙන් හඬා වැටිය යුතුද?
කුලපතිවරු පත්කිරීම වෙනුවෙන් විධායක ජනාධිපතිවරයා වෙත බලය හිමිවනුයේ, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පනත මගිනි. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පනතේ 32 වන වගන්ති ප්‍රකාර ව , ජනාධිපතිවරයා විසින් කුලපති නම් කරන අතර, එම ධුරය විසින් විශ්වවිද්‍යාලයේ ප්‍රධානත්වය දරමින් වසර පහක ධුර කාලයක්, උපාධි ප්‍රධානෝත්සවයේ මූලාසනය හොබවනු ඇත[2]. ඒ අනුව, ඉහත කී වංශය සහ ලිංගික රුචිකත්වය මත වන අභිමතානුසාරී පත්කිරීම් ඉක්මවා යමින්, කුලපතිවරු පත්කිරීම යම් ශිෂ්ටසම්පන්න භාවයක් යටතේ වූ බව මගේ තර්කය වේ.
අනෙක් කරුණ නම්, මෙම පත්කිරීම් හරහා විධායක ජනාධිපතිවරයා ශ්‍රී ලංකා සිංහල-බෞද්ධ ජනයා සදහා සිංහල-බෞද්ධ රාජ්‍යක් ගොඩ නැගීම තහවුරු කර තිබේ. සිංහල-බෞද්ධ ඡන්ද පදනම මත පත්වන නන්දසේන ගෝටාබය රාජපක්ෂ මහතා අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේදී ප්‍රංශ ආකෘතියේ ජනාධිපතිධුරයේ දිවුරුම් දෙමින් “ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් සිංහල-බෞද්ධ සංස්කෘතිය වෙත රාජ්‍ය අනුග්‍රහය දක්වමින් රට ආරක්ෂා කරන බවට සපථ විය”.[3] එය තව දුරටත් සනිටුහන් කරමින් හෙතෙම විශ්වවිද්‍යාල පනතෙන් පවරා තිබෙන බලය අනුව, නව කුලපතිවරුන් ලෙස මුරුත්තෙට්ටුවේ ආනන්ද සහ කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත යන භික්ෂු දෙනම යෝජනා කර තිබේ. සරලව ම මෙහි ගැටලුවක් තිබේද? සිංහල-බෞද්ධ ජනාධිපතිවරයා ලෙස හෙතෙම පනතක් මගින් ඉල්ලා සිටින කාර්යයක් සිදුකර තිබේ. එය ව්‍යවස්ථා විරෝධී ද නොවේ.
නමුත් සුජාත දරු දැරියන් පවසනු යේ මෙම පත් කිරීම නීතිමය අභිලාශය වෙනුවට දේශපාලන අභිලාශ ඉටුකරගැනීම වෙනුවෙන් සිදු වූ බවය. පුදුමය ට කරුණ නම්, මෙම දරු දැරියන් ට විශ්වවිද්‍යාල ඉතිහාසය සහ වර්තමානය තුල දී සිදුවන පත්කිරීම් විවිධ පාර්ශවයන් හි දේශපාලන අභිලාශ ඉටුකර ගැනීම වෙනුවෙන් සිදුවන බව නොපෙනී යාමය. උදාහරණයක් ලෙස, මෙම කුලපතිධුර පත් කිරීම දේශපාලනික අවශ්‍යතාවක් ඉටු කරගැනීමක් ලෙස අර්ථකතනය කරන කොළඹ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය [4] විසින් එකී සංගම් ධුර සඳහා කරනු ලබන පත්කරගැනීම් නිර්දේශපාලනික වේද? එම පත් කිරීම් රාජපක්ෂ රෙජීමයේ ම වන පීතෘමූලික බල ධුරාවලියේ ම දිගුවන් නොවේද? එවැනි පසුබිමක දී මෙම පත්කිරීම් වෙත පමණක් ඇගිලි දිගු කිරීමේ පදනම කුමක්ද?
එක අතකට දේශපාලනික ව්‍යපෘති සාර්ථකව ඉටු කිරීම වෙනුවෙන් පාරිතෝෂික (rewards) ලෙස කුලපතිධුරයන් පමණක් නොව, උපකුලපතිධුර පවා පිරිනැමීමේ ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතු නොවේ ද? අනෙක් අතට, සියලුම ආණ්ඩු විසින් දේශපාලනික ව්‍යපෘති අභියෝගයට ලක්කිරීම හා විචේචනය කිරීම මත විශ්වවිද්‍යාල ප්‍රජාව මර්ධනය කිරීම ද සිදු කල බව අමතක නොකළ යුතුය. එම මර්ධනය වෙත සහයෝගය ලබාදීම ද එම සුජාත දරු දැරියන් ගේ ප්‍රජාව තුල නොපැවතුනි ද?
මීළඟට මගේ ස්ත්‍රීවාදී විඥානය ඔස්සේ වර්තමානයේ දී මෙම සුජාත දරු දැරියගේ ඥාන භාවිතය වෙත අවධානය යොමු කරමි. එහිදී විශ්වවිද්‍යාල කිහිපයකදී ලත් අත්දැකීම් විස්තර කිරීමෙන් මගේ ප්‍රකාශනය තහවුරු කිරීමට උත්සුක වෙමි.
කැළණි නාගයා සහ සුජාත දරු දැරියන් ගේ ඥාන භාචිතය
කැළණි විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස යෝජිත මහාචාර්ය මහින්ද සංඝරක්ඛිත හිමියන් වෙත විරෝධය පළකිරීම වෙනුවෙන්, සුජාත දරු දැරියන් යොදාගනු ලැබූ එක් නිමින්තක් නම්, එම භික්ෂුව විසින් ප්‍රසිද්ධ කළ නාග ලෝකයෙන් බුදුන් ගේ ධාතු රැගෙන කැළණි ගඟෙන් මතු වූ ප්‍රාතිහාර්යක පුවතය. මෙම පුවත් මේ මොහොතේ දී කවටකමක් ලෙස සැලකුව ද, එය සුභ නිමිත්තක් හෝ ප්‍රාතිහාර්යක් ලෙස සලකා 69 ලක්ෂණයක ජනතාවක් ජනාධිපතිවර්ණයේ දී ඡන්දය භාවිතා කිරීම වැළැක්වීමට මෙම සුජාත දරු දැරියන් ට නොහැකි වුයේ මන්ද? මහාචාර්ය මහින්ද සංඝරක්ඛිත හිමිගේ දේශපාලනය මේ මොහොතේ ලෙල්ලමක් ලෙස දකින සුජාත දරු දැරියන්, විශ්වවිද්‍යාල තුල සිදුකරමින් සිටිනේනේ මිත්‍යාවෙන් මිදීමක් නොවන බව මගේ යෝජනාව වේ. එය තහවුරු කිරීම වෙන්වූවෙන් උදාහරණයක් දැක්වමි. “ලෞකික ආයතනයක් වන විශ්වවිද්‍යාල තුලට බුදුපිළිම වන්දනාව පිවිස ඇතිවිට මත්ස්‍ය සහ සාගර විද්‍යා අධ්‍යන පීඨ තුළ විශාල බුදුපිළිම ඉදි කර තිබෙන අතර, ඒවා අභියසම තනා ඇති පොකුණුවල මසුන් පර්යේෂණ සඳහා වගාකරමින් සිටී. නාගලෝකයෙන් ධාතු පැමිණීම මිත්‍යාවක් ලෙස මේ මොහොතේ සලකන මෙම සුජාත දරු දැරියන් ට මසුන් ද ප්‍රාණජීවීන් බවත්, එම ජීවින් මරා දමන ස්ථානයක, ප්‍රාණඝාතනයෙන් වැළකීමේ ආනිසංස ප්‍රකාශිත බුදුන් ගේ පිළිම ඉදිකිරීමෙන් තමන් ද මිත්‍යාවක් කෙරෙහි බැදී සිටින බව නොපෙනීම භයානක තත්ත්වයකි. එසේම, මෙම හැසිරීම මාගේ ස්ත්‍රී විඥාණය හදුනා ගනු ලබනුයේ, ප්‍රාණය වෙනුවෙන් වටිනාකම නියම කිරීමේ බලය මෙම සුජාත දරු දැරියන් වෙත පවතින බවය. ඒ අනුව, එම බලය විසින් ඕනෑම මිත්‍යා පදනමක් මත සිට මරාදැමීම යුක්ති යුක්ත කරනු ඇත. එය 2009 වන තුරුම් අ පවතී සිවිල් යුද්ධයට අනුබල දෙමින් මෙම දරු දැරියන් විසින් සිදුකළ අතර, පසුව මුස්ලිම් ප්‍රජාවට විරුද්ධව පල වූ හිංසනය හරහා තවදුරටත් තහවුරු කරන ලදී.
කැළණි නාගයා කතාව වැනි අන් කතා මතු ව ආ තවත් අවස්ථා දෙකක් පිලිබඳ මගේ කියවීමේ දී සටහන් කරමි. එයින් එක් අවස්ථාවක් නම්, මුස්ලිම් ප්‍රජාව විසින් සිංහල-බෞද්ධයන් වඳ කිරීම වෙනුවෙන් ආහාර සහ ඇඳුම් යොදාගන්නා බවට වූ ප්‍රචාරණය යි. එසේම දැන් “එක රටක්-එක නීතියක්” නම් ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි, ගලගොඩඅත්තේ ඥානසාර හික්ෂුව ඇරඹි “හලාල්” භාණ්ඩ වර්ජනය කිරීමේ යෝජනාව හේතුවෙන්[5] මෙම මුස්ලිම් විරෝධය තව දුරටත් ව්‍යාප්ත විය. එවිට මා රුහුණු විශ්වවිද්‍යාලයේ සේවයේ නිරත වී සිටි අතර, එම විශ්වවිද්‍යාලය තුල එක් යෝගට් වර්ගයක් ද විකිණීම වර්ජනය කරනු ලැබුවේ එහි වූ හලාල් සහතිකය මතය. නමුත් එම වර්ජනය සිදුවන විට, විශ්වවිද්‍යාල ප්‍රජාව “හලාල්” යනු ආගමික පදනමක් මත වන ප්‍රමිතිකරණයක් බව නොදැන සිටි අතර, බහුතරය එය මුස්ලිම් ප්‍රජාව විසින් ශ්‍රී ලංකා සිංහල බෞද්ධ දේශය තුල සිදු කරන වෙළඳ උපක්‍රමයක් යයි විශ්වාස කළහ. මම හලාල් මිත්‍යාවේ ම දිගුවක් ලෙස පසුව මතු වූ කැළණි නාග කතාව හඳුන්වමි. ඉතිහාසයේ පෙර මොහොතේ දී මිත්‍යාව වෙත විරුද්ධ නොවී පසු මොහොතේ දී මිත්‍යාව වෙත විරුද්ධ වීම සාධනීය ලක්ෂණයක් වුවද, එම විරෝධාකල්පය සමස්ථ මිත්‍යාවට ම සහ මිත්‍යාව ප්‍රතිනිෂ්පාදනය කරන කර්තෘන් වෙත නොව තෝරාගත් මිත්‍යා වෙත පමණක් කේන්ද්‍ර වීම ගැටළුවකි.
එසේම කැළණි නාග මිත්‍යා ආකෘතිය නැවත මුණ ගැසෙන අවස්ථාවක් නම්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි සහ බෞද්ධ අධ්‍යනාංශයේ සේවයේ නිරත වූ මැදගොඩ අභයතිස්ස ඇතුළු භික්ෂූන් විසින් 2017 ශ්‍රී ලංකාවේ රැදී සිටි අවතැන් වූ රෝහින්‍යා ජනයා ට එරෙහිව ත්‍රාසය සහ භීතිය මුදාහැරීම වේ[6]. එහිදී එම භිෂණය වෙත විරෝධය පළකිරීම වෙනුවට විශ්වවිද්‍යාල සුජාත දරු දරුයන් නිහඬ පිළිවෙතක් දැරුවේ, මෙම අවතැන් ජනයා මෙරට භුමියේ ආරක්ෂාව වෙත තර්ජනයක් එල්ල කරන බවට පට්ජුරා තිබූ මිත්‍යා විශ්වාසය මත පදනම් ව බව මගේ මතය වේ. අවතැන් ජනයා විසින් ජාතික රාජ්‍යක භූමියක් අත්පත් කරගනු ඇති බවට විශ්වාස කිරීම සහ ඒ අනුව භීතිය වැපිරවීම ට අවකාශය ලබාදුන් සුජාත දරුවන් සිටින රටක කැළණි නාග වස්තුවේ කතා නායක කුලපති ලෙස පත් කිරීම දේශපාලන වැරදීමක් හෝ අහම්බයක් ලෙස මම නොදකිමි. එය හුදෙක් වාර්ගික අනෙකා පීඩනයට පත් කල මිත්‍යාවකම තවත් දිගුවකි.
ලිපිය අවසන් කිරීමේ දී මම අවධානය කරනු ලබන කරුණ වන්නේ, දැනුම් නිෂ්පාදනයේ සුජාත දරු දැරියන් ගේ ප්‍රශ්නය නම්, ඔවුන් වගාකරන ලද වාර්ගික දැනුමේ ප්‍රතිලාභ මේ මොහොතේ ලැබෙන බව වටහා නොගැනීමය. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල යනු ම වාර්ගය, කුලය, ආගම, ලිංගික සහ ප්‍රාදේශීය පක්ෂපාතිභාවයන් කිසිදු හිරිකිතයකින් තොරව පවත්වා ගනු ලබන කෙන්ද්‍රස්ථාන බව මගේ යෝජනාව වේ. එවැනි කෙන්ද්‍රස්ථාන වෙත වඩාත් ම සුදුසු කුලපතිවරු ලෙස වූ මෙම පත්කිරීම් පිලිබඳ විශ්මයට පත්විය යුතු නැති වන අතර, මෙම ග්‍රාම්‍ය ලක්ෂණ ඉවත් නොකර නව දේශපාලන පුනර්ජීවනයක් ලෙසට පරිවර්තනය නොවන දැනුම් නිෂ්පාදනයේ සුජාත කේන්ද්‍රස්ථාන හේතුවෙන් අනාගතයේ දී ද මිත්‍යා ව හරහා රාජ්‍ය බලය ලබාගැනීම සහ පවත්වාගැනීම වැළැක්විය නොහැකිය.
සටහන්
[1] https://www.youtube.com/watch?v=cTe6TUdFBT0&t=17s
[2] https://www.ugc.ac.lk/index.phpoption=com_content&view=article&id=31&Itemid=195&lang=en
[3] https://apnews.com/article/49d640d05be4402d8c771716ee3bf278
[4] https://www.dailymirror.lk/latest_news/Colombo-Uni-Students-Union-opposes-Ven-Murutthettuwe-Anandas-appointment-as-new-Chancellor/342-223950
[5] https://www.tamilguardian.com/content/sri-lankans-call-“halal-boycott”
[6] https://www.reuters.com/article/us-myanmar-rohingya-sri-lanka-idUSKCN1C22A7