ධනේෂ්වර වෙළෙද පළ කඩා වැටෙන මොහොතක, නිර්ධන පන්තිය යළි ස්ථාපිත වේද ?

සමාජ ක්‍රමය යම් නිශ්චිත මොහොතක කඩාගෙන වැටීම ධනේෂ්වර ක්‍රමයට නෛසර්ගිකව අදාළ ලක්ෂණයකි. එය සිදුවන්නේ තවදුරටත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදා හැරීම තුල්‍යතාවකින් යුතුව නිදහස් වෙළෙද පළට කළ නොහැකිවිට ය. එම කඩා වැටීම තුළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදාහැරීම තවදුරටත් කරගෙන යෑම සදහා වෙළෙද පළ ස්ථාවර කර ගැනීමට ආර්ථික, දේශපාලන හා සමාජීය වශයෙන් ව්‍යුහාත්මක වෙනසක් අවශ්‍ය වේ. ඒ සදහා වැඩ කරන ජනතාව මූලික කර ගත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් හා බෙදාහැරීමක් අවශ්‍ය බව මාක්ස්වාදයේ කිය වේ. 

පීඩිතයන් සහ වැඩ කරන ජනතාව

කාල්මාක්ස් තම දැනුම් පද්ධතිය ලොවට ප්‍රකාශ කරන විට “වැඩ කරන ජනතාව” ලෙස හැදින්වූයේ පීඩිතයන් ය. එනම් නිර්ධන පන්තියේ ජනතාව ය. එනම් ජීවත්වීම සදහා ශ්‍රමය අළෙවි කිරීම හැර වෙනත් වත්කමක් නොතිබුණ ජන කොටස ය. 

වැටුප් ලබන අතර මැදි පංතිය

එහෙත් ධනේෂ්වර සංවර්ධනය සිදුවන විට කාල් මාක්ස් අර්ථ නොදැක්වූ සමාජ කොටසක් නිර්මාණය විය. ඔවුහු අතරමැදි පන්තිය ලෙස හැදින්විය හැකිය. ඒ අතරමැදි පන්තිය තම ශ්‍රමය අළෙවි කරමින් වැටුප් ලබනවාට අමතරව ඉපයූ ධනයෙන් කොටසක් කොයි ආකාරයෙන් හෝ ආයෝජනය කරමින් ආදායමක් ලැබූහ. එවිට මේ සමාජ තීරුව තවදුරටත් නිර්ධන පන්තිය නම් අර්ථ දැක්වීමට අයත් නොවීය. ඊට හේතුව ශ්‍රමය අළෙවි කරමින් වැටුප් ලබනවාට අමතරව වෙනත් මාර්ගයන් වලින් ද ඔවුන් ආදායම් උපයන බැවිනි.

වැඩ කරන ජනතාව සහ වාමාංශිකයන්

දැන් වත්මන් වාමාංශිකයෝ සමාජය සංවිධානය කරන විට “වැඩ කරන ජනතාවගේ” අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරති. මේ කියන වැඩ කරන ජනතාව කාල් මාක්ස් කිව් නිර්ධන පන්තිය නොවේ. ඒ අතර බහුතරය අතරමැදි පන්තියයි. වෛද්‍ය වැඩ වර්ජන අවස්ථාවන්හි දී සමහර වාමාංශිකයන් විසින් වෛද්‍යවරුන්ව “වැඩ කරන ජනතාව” ලෙස හැදින්වුවද ඒ වැඩ කරන ජනතාව ධනපති සැබෑ පීඩිත පන්තියට අයත් වන්නන් නොවේ. එසේ වන්නේ  පන්තිය  නිවැරැදිව අර්ථ දක්වා ගැනීමට වාමාංශිකයන්ට ඇති නොහැකියාව නිසා ය. 

වර්තමානයේ අමාරුවේ වැටුනු වාමාංශිකයන්

කෙසේවෙතත් කාල් මාක්ස්ගේ අර්ථ දැක්වීම අනුව පවතින සමාජ ක්‍රමය තුළ නිර්ධන පන්තියට අයත් ජන කොටස ඉතා සීමිත බව සත්‍යයකි. මේ සීමිත බව ඇති වන්නේ කෙසේදැයි විග්‍රහ කර නොගෙන අතරමැදි පන්තිය ද පීඩිතයන් ගොඩටම දමා ඔවුන් සමග දේශපාලනය කරන්නට යෑම නිසා වත්මන් වාමාංශිකයෝ විශාල අමාරුවක වැටී ඇත. නමුත් කළ යුතුව ඇත්තේ නිර්ධන පන්තිය, සමාජය ක්‍රමය, අර්බූදය ආදිය නිසි ලෙස අර්ථ දක්වා ගනිමින් දේශපාලනිකව ඒවා කියවා තේරුම් ගැනීමයි.

නිර්ධන පංතිය සංඛ්‍යාත්මකව හඳුනාගත හැකිද?

ධනේෂ්වර සංවර්ධනයේ එක් මොහොතකට පසුව නිර්ධන පන්තිය ක්ෂය වෙමින් අතර මැදි පන්තියේ ප්‍රසාරණයවීමක් සිදුවේ. එය තීව්‍ර වන අවස්ථාවක නිර්ධන පන්තියක් සංඛ්‍යාත්මකව හදුනා ගත නොහැක. නමුත් ධනේෂ්වරය කඩා වැටීමකට ලක්වන ක්‍රියාවලියට සමාන්තරව අතරමැදි පන්තිය ද ක්ෂයවීම ආරම්භ වේ. එය නිර්ධන පන්තියේ යළි නිර්මාණය  ආරම්භ වන මොහොතයි.

දේශපාලනය කළ යුත්තේ කා සමගද?

ධනේෂ්වරය කඩාවැටීමක් නොවුන ද ලංකා ආර්ථිකය බිද වැටෙන මේ මොහොත තුළ අතරමැදි පන්තිය ද බිදවැටෙමින් පැවතීම මේ ප්‍රපංචය තේරුම් ගැනීමට හොද අවස්ථාවකි. දැන් පීඩිත සමාජ තීරුව ප්‍රසාරණය වෙමින් තිබේ. ධනේෂ්වර ක්‍රමය බිද වැටෙන මොහොතක අතරමැදි පන්තිය ක්ෂය වන්නේත් නිර්ධන පන්තිය යළි ස්ථාපනය වන්නේත් සමහර විට රැයක් එළිවෙන කාලය තුළ විය හැකිය. ඒ නිසා මාක්ස්වාදී ව්‍යාපාරයක් දේශපාලනය කළ යුත්තේ අතරමැදි පන්තිය සාවද්‍ය ලෙස පීඩිතයන් ලෙස හදුන්වා ගනිමින් නොවේ. එම ව්‍යාපාරය ඉලක්ක කර ගත යුත්තේ ධනේෂ්වර වෙළෙද පළ බිද වැටීමත් සමග යළි නිර්මාණය වන නිර්ධන පන්තියයි. දේශපාලනය කළ යුත්තේ ද ඔවුන් සමගයි. එසේ නොකරන සියල්ලන් සුළු ධනේෂ්වර දේශපාලනයට තල්ලුවීම  වැළැක්විය නොහැක.

විමුක්ති හඬ (ශ්‍රී ලංකාව)

Loading