මානසික සෞඛ්‍ය අර්බුදය සහ ධනවාදය

ලෝකය පුරාම ආර්ථික අර්බුදය වගේම යුධ අර්බුදය එන්න එන්ටම ත්‍රීව්‍ර වෙමින් පවතින මොහොතක් තුල තවත් එක භයානක අර්බුදයක් නොපෙනීම නොඇසීම වර්ධනය වී තිබෙනවා, එය මානසික සෞඛ්‍ය අර්බුදයයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව 2019 දී ලෝකයේ මිලියන 970ක් පමණ මිනිස්සු ප්‍රමාණයක් මානසික රෝගාබාධ වලින් පෙළෙන අතර එයින් බහුතරයක් රෝග වන්නේ “විශාදය” (Depression) සහ සමාජ භීතිකාව (Social Anxiety) වේ. 2021 වසරේදී මිනිසුන් 727 000 ක් පමණ සියදිවි නසාගැනීම හේතුවෙන් මරණයට පත්ව තිබෙනවා. අවුරුදු 15 ත් 29 ත් අතර පිරිස්ගේ මරණ වලට බලපාන තුන්වැනි සාධකය වන්නේ සියදිවි නසාගැනීමයි. එසේම පසුගිය කාලයේ ශ්‍රී ලංකාවෙන් සොයාගනු ලැබුවේ මෙරට ජනගහනයෙන් 10%ක් මානසික රෝග වලින් පෙලෙන බවත් මෙරට නව යොවුන් වියේ ජනගහනයෙන් 18%කට විශාදය (Depression) පවතින බවයි. ඇමරිකා එක්සත් ජනපදය තුල පවා තනිකම අර්බුදයක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබෙනවා. එසේම බ්‍රිත්‍යාන්‍ය තුල සියදිවි නසාගැනීම වැලැක්වීම පිළිබඳ අමාත්‍යවරයෙකු පවා පත් කර තිබීමෙන් අද දවසේ මානසික සෞඛ්‍ය අර්බුදයේ රුදුරු බව මොනවට ඔප්පු වේද? ඉහත සඳහන් කලේ ඉතාම සීමිත දත්ත සහ තොරතුරු ප්‍රමාණයකි. මෙය මීට වඩා විශාලය. මෙසේ අර්බුදයක් පැවතියත් ඊට විසඳුම් නම් තවම ලැබී නැත. Depression වැනි මානසික ව්‍යාකූලතාවයන්ට මොළයේ රසායනික අසමතුලිතතා, හෝමෝන ක්‍රියාකාරීතිවය වැනි ජීව විද්‍යාත්මක පැතිකඩක් තිබෙන බව සත්‍යයකි. එනමුත් මෙම මුළු අර්බුදයම ජීව විද්‍යාවට ලඝු කිරීම වැරදි සහගත වේ. සමාජයේ ඇති වී තිබෙන මෙම මානසික අර්බුදයට එමෙන්ම තනිකමට බලපානු ලබන ආර්ථික සාධක ද පවතී. විශේෂයෙන්ම සමාජයේ පවතින ආර්ථික අර්බුදය, තරඟකාරීත්වය, පරත්වාරෝපණය වැනි සාධක ද ඊට බලපායි. එනමුත් මානසික සෞඛ්‍ය වෙනුවෙන් පිහිටුවා ඇති බොහෝ ආයතනයන් මෙම ආර්ථික, සමාජීය පැතිකඩ මුළුමනින්ම පාහේ නොසලකා හැර ඇති අතර ඔවුන් මානසික සෞඛ්‍ය අර්බුදය ජීව විද්‍යාවට පමණක් ලඝු කරමින් සිටිති. මානසික සෞඛ්‍ය අර්බුදයට බලපාන ආර්ථික සාධක සහ සමාජ සාධක විසඳන්නේ නැතිව නම් මෙම අර්බුදය කිසිවිටකත් පාලනය කල නොහැක.

කාල් මාක්ස් ලියූ පරිදි ධනේශ්වරය තුල මිනිසුන් තමාගේම ශ්‍රමයෙන්, අන් අයගෙන් සහ මනුෂ්‍යත්වයෙන් යනාදී ලෙස පරත්වාරෝපණයට ලක් වේ. වර්තමානයේ නව-ලිබරල් ආර්ථිකයේදී මෙම පරත්වාරෝපණය අන්තවාදී ලෙස වර්ධනය වී ඇත. මේ නිසයි ඔබ සමහර ධනවාදී ආණ්ඩු වල මහත්වරු මානසික සෞඛ්‍ය වැලැක්වීමට, සියදිවි නසාගැනීම වළකාලීමට ආණ්ඩුවේ අමාත්‍යධූර පවා නිර්මාණය කරන්නේ. බහුතරයක් මිනිස්සු තම කාලය ගෙවා දමන්නේ කිසිම තේරුමක් නැති වැඩ කරමින් ය. තමන්ට පාලනය කල නොහැකි සමාගම් වලට තමන්ට අයිතිවත් නැති භාණ්ඩ නිෂ්පාදනය කරමින් ඔවුන් කාලය ගෙවා දමයි. ශ්‍රමය නිර්මාණශීලිත්වයේ ප්‍රකාශනයක් නොවී එදා වේල පිරිමසා ගැනීමට තමන් කල යුතුම නීරස දෙයක් බවට පත්වී ඇත.

මෙන්න මේ තත්ත්වය විසින් ගැඹුරු මානසික තුවාලයන් ඇති කරනු ලබනවා. වැටුප් ශ්‍රමිකයා ඔහුගේ ජවයෙන් පමණක් නොවේ ඔහුගේ ජීවිතයේ සාරයෙන්ද අර්ථයෙන්ද තේරුමෙන්ද සිඳී ඇත. ඔහු ජීවිතය දකින්නේ ඒකාකාරී, අර්ථයක් නොමැති, මනුෂ්‍ය උණුසුමක් පවා නොමැති වැදගැම්මකට නැති දෙයක් ලෙසිනි.

අනාරක්ෂිතභාවය රජයන සමාජයකි ධනවාදය. රැකියාවන් අවිනිශ්චිත වීම, විරැකියාව, ණය සහ තමා අසාර්ථක වේ යන සැම වෙලේම අපේ ඔලුවේ කැකෑරමින් පවතින බිය විසින් සාංකාවේ (Anxiety) සංස්කෘතියක්ම නිර්මාණය කර තිබේ. මිනිසුන්ගේ පැවැත්ම සහ සාර්ථකත්වය තහවුරු කරගැනීමට ඔහුට, ඔහුගේ පංති කාමරයේ මිතුරන් සමඟ, සගයන් සමඟ, කාර්‍යාලයේ වැඩ්බිමේ සහෝදර මිනිසුන් සමඟ සහ තමන්ගේම මිතුරන් සමඟ පවා තරඟ වැදිය යුතුය.

මෙන්න මේ සමාජ සැකැස්ම තුල මානසික රෝගාබාධ යනු අතාර්කික ඉල්ලුමක තාර්කික ප්‍රතිඵලය වේ. මෙම අතාර්කික ඉල්ලුම නම් “සාර්ථකත්වය” යි. හැම මිනිසෙකුටම සාර්ථක වීම්ට අවශ්‍යතාවයක් ඇත. නමුත් ලාභය අරමුණු කරගෙන නිෂ්පාදනය කරන, ශ්‍රමය සූරාකනු ලබන, සමාජමය නිෂ්පාදනයේ ඵල සමාජයේ ඉතාම සුළු පිරිසක් අත්පත් කරගන්න, පංති විෂමතා ඇති ලෝකයක සියලු දෙනාම සාර්ථක වීම යනු අතාර්කික සහ විය නොහැක්කකි. ධනවාදය අපට මිරිඟුවක් පෙන්වයි. එනම් සාර්ථකත්වයේ මිරිඟුවයි. මිනිසුන් එය හඹායයි නමුත් එය නොලැබෙයි. එවිට සාංකාව, විශාදය ඇති වේ. තනිකම ඇති වේ. හිස්බව මතු වෙයි. එවිට ධනවාදය නැවතත් පවසනුයේ “ඔබ තුල ඇති හිස්බව පුරවන්නට මාව හඹා එනු” ලෙසයි. මිනිසුන්ගේ ආකල්පය අවංක වුවත් මෙම සමාජ සැකැස්ම තුල නම් ඔවුන්ට විමුක්තිය ලැබිය නොහැක.

සියලු දෙයටම හුවමාරු වටිනාකමක් දෙන සියලු දෙයම වෙළෙඳ භාණ්ඩකරණය කරන ධනේශ්වරය “සතුට” ද “මානසික සුවය” ද මිලදී ගත හැකි දෙයක් යන මිත්‍යාව අපට විකුණයි. පදික වේදිකාවේ සුළු වෙළෙදකරුවන් අපට ඔවුන්ගේ භාණ්ඩ විකිණීමට දත කන ආකාරයටම ධනේශ්වරය ද එම මිත්‍යාව අපට විකිණීමට දත කයි. Advertising සහ Marketing අපට පවසන්නේ අලුත් ඇඳුම් වලට, අලුත් ජංගම දුරකථනයකට සහ අලුත් ජීවන විලාසයකට අපගේ අභ්‍යන්තර හිස්කම සහ අපේ තනිකම නැති කල හැකි බවයි. එනමුත් පරිභෝජනය අපට ලබාදෙනුයේ ඉතාම තාවකාලික කෙටි සහනයකි. එම සහනය හීනවීමත් සමඟ පෙර පැවති හිස්බව ද තනිකම ද පෙරටත් වඩා ප්‍රබලව නැවත පැමිණෙයි. පරිභෝජනවාදයේ තර්කය මෙසේය: සාමූහිකත්වය, මනුෂ්‍ය සම්බන්ධතා තුලින් නොව වෙළඳ භාණ්ඩ හරහා අපේ සතුට සොයා යෑමට පෙළඹවීම.

David Matthews විසින් “Capitalism and Mental Illness” මැයෙන් Monthly Review සඟරාවේ ලියූ පරිදි, “ඒකාධිකාරී ධනවාදය යටතේ මානසික සෞඛ්‍ය ප්‍රතිකාරයම වෙළඳ භාණ්ඩකරණය වේ”. මානසික පීඩනයේ විශාදයේ මූලයන් හඳුනාගෙන ඒවා පරිවර්තනය නොකර ධනේශ්වරය විසින් අපට මිල අධික ඖෂධ, Therapy Apps, Motivational පොත් පත් වැනි තව බොහෝ දේ විකුණයි. ලාභය අරමුණු කරගෙන නිෂ්පාදනය කරන සමාජයක විකිණීම සඳහා Depression වලට ඖෂධ නිෂ්පාදනය කරන සමාගමක් කිසිම විටකත් Depression නැමති රෝගය තුරන් කිරීමට පෙළඹෙන්නේ නැත. ඒ වෙනුවට එහි අරමුණ වන්නේ ඉල්ලුම වැඩි කොටගෙන ලාභය තරකර ගැනීමයි.

මේ නිසා මානසික සෞඛ්‍ය අර්බුදය සැබෑවටම විසඳීමට අවශ්‍ය නම් ධනේශ්වරයේ ලාභයේ සහ පුද්ගලිකවාදයේ තර්කණයෙන් අප ඔබ්බට යා යුතුය. සමාජවාදී සමාජයකදී මිනිසුන් දෙස ධනේශ්වරයේදී මෙන් ඕනෑනම් බැහැර කළ හැකි හුදු ශ්‍රම ශක්තියක් ලෙස, ලාභය නිර්මාණය කරන හුදු යන්ත්‍රයක් ලෙස පමණක් නොදකී. ඒ වෙනුවට වටිනාකමක් සහිත නිර්මාණශීලී ජීවින් ලෙසට මිනිසුන් දෙස බලයි. නිෂ්පාදනය පෞද්ගලික ලාභය සඳහා නොව සමාජ අවශ්‍යතාවයට අනුව සංවිධානය කරයි. අධ්‍යාපනය විසින් මිනිසුන්ට තරඟකාරීත්වය නොව මිනිසුන්ට සහයෝගීතාවය උගන්වයි. ගුණාත්මක සහ නිදහස් සෞඛ්‍ය සේවයක් ආරම්භ කරයි.

තවද ධනේශ්වරය තුල පුද්ගලිකවාදයක් පවතී. එහි තර්කනය වන්නේ “අනෙකාට කුමක් වුවත් මට මොකද? මට අදාළ නෑ” යන්නයි. මේ නිසා තමන් ගැනම සිතන ස්වාර්ථකාමී සංස්කෘතියක් බිහිව තිබේ. මුල් කාලයේ ධනේශ්වරයේ ප්‍රජාතන්ත්‍රවාදීන් ගෙන ආ මූලික මිනිස් වගකීම, මූලික මිනිස් අනුකම්පාව වැනි දේවල් ද අද කුණු වී කුණු බක්කියට වැටී ඇත. සියලු දෙනාම සිතන්නේ තමන් ගැනනම් අනෙකාව අදාළ නොවේ නම් මෙවැනි සමාජයකදී අප කෙසේ මානසික සෞඛ්‍ය අර්බුදය විසඳන්නේ ද? ලංකාවේ ද ලෝකයේ ද මිනිසුන් මිලියන ගණනක් මානසික රෝග නිසා විශේෂයෙන්ම Depression නිසා රහසේම නොපෙනීම පීඩා විඳිති. ඔවුන් සිතන්නේ ඔවුන් තනිවී ඇති බවයි. ඔවුන් සිතන්නේ ඔවුන්ට කවුරුත් නැති බවයි. ඔවුන් සිතන්නේ ඔවුන්ව ලෝකයට අවශ්‍ය නොවන බවයි. අවසානයේදී එය දරාගත නොහැකි අය සියදිවි නසාගැනීම නම් මාර්ගයේ ගමන් කරයි. මේ අය යථාර්ථවාදීන් නොවේ ද? පවතින සමාජයේ යථාර්ථය මොවුන් දැක්කා නොවේ ද? තමන් ගැනම සිතන අනිත් අයව අදාළ නැති ඒ කුණු වූ ගුජුප්සාජනක අප්‍රසන්න වූ ධනේශ්වර සමාජයේ යථාර්ථය ඔවුන් දැක්කා නොවේ ද? සමාජ විද්‍යාඥයන් මෙය “Depressive Realism” යැයි හඳුන්වයි. විශාදයෙන් පෙලෙන අය විශාදයෙන් පෙලෙන්නේ නැති අයට වඩා යථාර්ථයක් දකින බව මෙයින් ඇඟවේ. නමුත් ඔවුන්ගේ යථාර්ථයේ සීමාවක් පවතී. ඔවුන්ගේ සීමාව නම් එම යථාර්ථය එහෙම් පිටින්ම භාර ගැනීමයි. කල යුත්තේ එම යථාර්ථය දැක ඊට එරෙහිව සටන් කොට නව සමාජවාදී යථාර්ථයක් නිර්මාණය කරගැනීමයි. පුද්ගලිකවාදය නොව සාමූහිකත්වය, සහයෝගිතාවය මත පදනම් වූ සමාජවාදී සමාජයක දී නම් කිසිම කෙනෙකුට තමාව ලෝකයට අයිති නැති. තමාව පිටුවහල් කරන ලද කෙනෙක් විදියට නොසිතෙයි.

සමාජවාදී සමාජයක එම තත්ත්වයන් විසින් Depression වැනි දේවල් මුළුමනින්ම තුරන් කිරීමට නොහැකි වුවත් එවැනි රෝග ඇතිවීමට පෙර ධනේශ්වරයේ බලපාන ලද සමාජ පරිසරය වෙනස් තත්ත්වයක් ගැනීම හේතුවෙන් මේවාට ප්‍රතිකාර කිරීමට උචිත තත්ත්වයක් නිර්මාණය වේ. එසේම ගුණාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවන් නිසා එවැනි දේට ප්‍රතිකාර කිරීම සමාජයේ සුළුතරයක වරප්‍රසාදයක් නොවී සියලු දෙනාටම එය ලැබෙයි.

මේ අනුව වර්තමානයේ මානසික සෞඛ්‍ය අර්බුදය යනු මොළයේ පවතින රසායනික අසමතුලිතතාවයක් පමණක් නොවන අතර එය ලෝකයේ පවතින සදාචාරමය සහ ව්‍යුහාත්මක අසමතුලිතතාවයක් ද වේ. මේ නිසා මානසික සෞඛ්‍ය අර්බුදය වසිඳීමේ මාව වැටී ඇත්තේ එම අර්බුදයට සහ තවත් අර්බුදයන් වලට හේතු වූ ආර්ථික, සමාජ සාධක විප්ලවීය පරිවර්තනයකට ලක් කීරිම ඔස්සේ ය.

“පරත්වාරෝපණය අහෝසි කිරීම යනු මිනිසා ආපසු මිනිස් සාරයට යාමය” 

BY DIMUTH BHANUKA

Loading

Related posts