ආදර ප්‍රගීත්, 

පසුගිය ටිකේ අවිවේකී බව නිසාම ලියන එක ප්‍රමාද වුනා. අද සතුට පිරිණු ඉරිදාවක්.ප්‍රගීත් මම දැන් ඉන්නෙ පුතාල එක්ක ,එයාලගෙ නිවහනේ.ඔයාඑයාලව දැක්කොත් පුදුම වේවි. ඔයාගෙ රුව, ගුණ ඒ දෙන්න ගාව සමෝසමව…
ලංකාවෙ අතුරුදහන්කල ආදරණීයන් සොයන මට, අපට ජිනීවාවල ගෙවුනෙ බොහොම වැදගත් සතියක්.23 ජිනීවාවලට පැමිණීමත් සමග ආරම්භවූ සතිය බොහෝ හමුවීම්, රිදීම්, රිදවීම් මැද අවසන් වුනා.
මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරයට සමගාමීව රාජ්‍ය නොවන සංවිධාන කීපයක් විසින් සංවිධානය කරන ලද side event එකක උතුරෙන් සහ දකුණෙන් මාත් ඇතුළුව වින්දිතයන් කීප දෙනෙක්ට අදහස් එක්කරන්න අවස්ථාව ලැබිල තිබුණ. මේ සමග එහි මම කතා කරපු කතාව ඔයත් එක්ක බෙදාගන්නම්…

ආයුබෝවන් මිත්‍රවරුනි,
මම සන්ධ්‍යා එක්නැලිගොඩ. වින්දිතයෙක්, මානව හිමිකම් ක්‍රියාකාරිනියක් සහ නිර්මාණශීලී අරගලය වෙනුවෙන් ජීවිතය කැපකළ ගැහැණියක්. 2010 ජනවාරි 24 බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ගොදුරු වූ මගේ සැමියා ප්‍රගීත් එක්නැලිගොඩ ඔහු ගවේෂනාත්මක මාධ්‍යවේදියෙක්, කාටූන් ශිල්පියෙක්, දේශපාලන තීරු ලිපි රචකයෙක්. ඔහුගේ අතුරුදහන් වීම UN කවුන්සලය තුළ සටහන්ව ඇති විශේෂ සිද්ධීන්ගෙන් එකක්. ඒ සඳහා දේශීය යාන්ත්‍රනය තුළ මා ලද අත්දැකීම් හා එම විමර්ශනයන්ට අන්තර්ජාතික තෙරපුම කෙසේ සහය වූවා ද යන්නත්, දිගින් දිගටම ජාත්‍යන්තර යාන්ත්‍රනයක් ඉල්ලාසිටීම කෙතරම්ද සාධාරණද යන්න ඔබ හා අදහස් බෙදා ගැනීමටයි මේ උත්සාහය.
2009 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු 5 දෙනෙක්ගේ ආණ්ඩු යටතේ අපි අපේ ආදරණීයයන් වෙනුවෙන් යුක්තිය සොයමින් අරගල කරනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ තිබෙන්නේ අලුත් ආණ්ඩුවක්. ඔවුන් තවමත් අන්තර්ජාතික ප්‍රජාවේ ප්‍රසාදය ලබමින් සිටින මොහොතක් මේක. අපේ ආදරණීයයන් වෙනුවෙන් සත්‍ය හා යුක්තිය සොයා යන අපට නම් ඒක තවත් අභියෝගයක්. මා එසේ කියන්නේ රජයේ විවිධ මැති ඇමතිවරුන්ගේ විවිධ ප්‍රකාශයන් සහ ඔවුන් තුළ තිබෙන පරස්පර විරෝධී ගැටලුකාරී මතයන් විසින් අප තුළ ඇති කරන්නෙ බියක්.
මම 2010 සිට මේ දක්වා ලංකාවේ දේශීය යාන්ත්‍රණ හා ගැටෙමින් මගේ සැමියාට යුක්තිය සොයනවා. ශ්‍රී ලංකාවේ දේශීය යාන්ත්‍රනය ක්‍රියාත්මක වන්නේ පොලීසිය, නීතිපති, අධිකරණය යන පද්ධතිය හරහා. රටතුල කිසියම් රාජ්‍යය‍ බලය සහිත පුද්ගලයන්ගේ උවමනාව මත සිදුවූ අපරාධ වලට මෙම ආයතන ක්‍රියාත්මක ‍ වීමට නම් දේශපාලන අධිෂ්ඨානය සහ ශක්‍යතාවය ‍ වැදගත් සාධකයක් බව අත්දැකීමෙන් මම දන්නවා. 2010දී පොලිසිය මානව හිමිකම් කොමිසම පැමිණිල්ලි භාර ගැනීම ප්‍රතික්ෂේප ‍ කිරීමත් 2015-2019 කාලය අපරාධ නඩුවක් බවට පත් වූවත් , තවමත් එය විශේෂ ත්‍රිපුද්ගල මහාධිරණයක වුවත් අවසන් නොවී තිබීම හොඳම උදාහරණයක්. සමහර විට දීර්ඝ නඩු විභාගයකින් පසු අධිකරණයකින් වරද කරුවකු බවට පත්කර දඩුවම් දුන් පුද්ගලයෙකුට වුවත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයකුට ජනාධිපති සමාව ලබාදීමට හැකි වීමත් තවත් අපේ රටේ ලක්ෂණයක්.
මෙසේ දේශීය අධිකරණ පද්ධතිය තුළ සිදුවන නඩු ප්‍රමාද කිරීම් වැළැක්වීමට පිළියමක් සඳහා වර්තමාන රජය ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම පිළබඳ කතිකාවක් ගොඩ නැඟී ඇත. එය යහපත් යෝජනාවක් වුවත් දිගු කාලයක් පුරා හමුදාවට ලැදියාවක් දක්වන ශ්‍රේෂ්ඨාධිකරණ ‍විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සභාපති ලෙස නම් කිරීම අපට පිළිගත හැකිද? මක්නිසාදයත් අපේ මිනිසුන් අතුරුදහන් කිරීම් වලට චෝදනා ගොනුවන්නේ හමුදා නිළධාරීන්ට බැවිනි.
ජිනීවා රෙසලූෂන්ස් ගරු මහකොමසාරිස්වරුන්ගේ වාර්තා, ප්‍රශ්ණ ‍කිරීම් ලංකාවේ ආණ්ඩු වලට කරන ජාත්‍යන්තර තෙරපුම සෘජුව අපට යුක්තිය ලබා නොදුන්නත් ලංකාව තුළ සිදුවන නෛතික කාර්යයන් සඳහා ලබාදෙන පිටුවහල විශාලයි. මා එසේ කියන්නේ ලංකාවේ නීතිමය ආයතන වලට ලියන ලියුමකට පිළිතුරු ලැබීමට එම ලියුමේ පිටපත බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ ක්‍රියාකාරී කමිටුවට යොමු කිරීම ‍ප්‍රමානවත් බව මගේ අත්දැකීමයි.
ලංකාවේ ආණ්ඩු විසින් පමාකරන හෝ නොසලකා හරින මානව හිමිකම් උල්ලංඝනයන් වෙනුවෙන් ගෙනෙන මෙම යෝජනා වලට ලංකාවේ ආණ්ඩු වල ප්‍රතිචාරය මත ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය පිලිබදව දැක්මක් ඇතිකර ගැනීමට පුළුවන් බව මගේ අත්දැකීමයි. එවකට සිටි ආණ්‌ඩුව 2012 රෙසලූෂන් එක එන අවස්ථාවේ ජිනීවා වලදී පවා අපට දුන් පීඩනය පිළිබඳ සමහර විට ඔබලාටත් මතක ඇති. ඔවුන් අපව රාමුගත කර ප්‍රසිද්ධ කළේ රට පාවාදෙන දේශද්‍රෝහීන් ‍ලෙස.
2015 – 2019 කාලයේ ආණ්ඩුව මා.හි.කවුන්සලයේ යෝජනා වලට එකඟතාවය හා සමදායකත්වය ලබාදීම අතුරුදහන් කිරීම් වලට එරෙහි UN කන්වෙන්ෂන් එක අපරානුමත කිරීමටත්, සංක්‍රාන්තික යුක්ති යාන්ත්‍රනය ‍පටන් ගැනීමටත්, සමහර ආයතන පටන් ගැනීමටත් අවශ්‍යය දේශපාලන ශක්‍යතාවය හා අධිෂ්ඨානය ඇතිබව මුලදී ඔවුන් පෙන්වූවත්, පසුව සංක්‍රාන්තික යුක්ති යාන්ත්‍රණය ‍ පූර්ණ කර දණ්ඩ මුක්තිය අවසන් කර වින්දිතයන්ට යුක්තිය ලබාදීමට අපොහොසත් වීම තුල ලංකාවේ දේශීය යාන්ත්‍රනය පීලිබද යලි සිතා බැලීමට කාරනා ඇතිබව මගේ හැඟීමයි
ප්‍රධාන කුලුණු හතරක් කේන්ද්‍ර ‍ කරගෙන පිහිටුවන ලද සංක්‍රාන්තික ‍ යුක්ති යාන්ත්‍රණයේ ‍ලංකාවේ පිහිටුවන ලද ප්‍රථම ‍ආයතනය වන්නේ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයයි. මෙය ආරම්භයේදීම වින්දිතයන්ගේ විශ්වාසය පලුදු කර ගත් ආයතනයක්. තවමත් ඔවුන් උතුරේ වින්දිත පවුල් වල විශ්වාසය දිනා ගැනීමට අසමත් වූ ආයතනයක්. වින්දිත පවුල්වල විශ්වාසය දිනා ගැනීම වෙනුවට ඔවුන්ව ප්‍රශ්න ‍ කරන අයට ඔවුන් කරන්නේ උත්සව වලට පවා කැදවීම් නොකිරීම,වෙනස් කොට සැලකීම,පවුල් අතර අසමගිය ඇතිකිරීම ආදියයි. මේ සඳහා මට ඇති ආසන්නතම සිද්ධිය වන්නේ 2025 අගෝසතු 29 ඔවුන් විසින් අග්‍රාමාත්‍යයතුමියගේ නිල නිවසේ පවත්වන ලද ජාත්‍යයන්තර අතුරුදහන් වූවන්ගේ දින සැමරුමට මම තවත් බොහෝ (එහි පැමිණිලි කරුවන්වූ) අයට ආරාධනා නොකර සිටීමයි. OMP එක විසින් සිතාමතාම කරන අගතිගාමී සහ අසාර්ථක බොහෝ තැන් තිබෙන නමුත් එයට සීමා සහිත කාලය වැය නොකරමි. ඔවුන් OMP පනතේ මූලික වගන්ති පවා උල්ලංඝනය කර ඇති බවට ඔවුන්ට අභියෝග කරමි.
ඔබලා දන්නව මා සමඟ සිටින උතුරේ සහෝදරියන් දිගින් දිගටම මානව හිමිකම් කවුන්සලය තුළ ඉල්ලා සිටින්නේ යුක්තිය සඳහා ජාත්‍යන්තර ‍ යාන්ත්‍රණයක අවශ්‍යතාවය. මෙයට ආණ්ඩුවල තිබෙන පරස්පර විරෝධී අත්තනෝමතික ප්‍රකාශ හා දකුණේ ආණ්ඩුවල ඇති ජාතිකවාදී ලැදියාව හේතු කාරණා විය හැක. මෙවැනි පරස්පර විරෝධී ප්‍රකාශ ‍ අද ද මා අත්දකිනවා.ජිනීවා කවුන්සිලයේ අය අපේ මිතුරන් ලෙස දකිනවා කියා කීවත් විජිත හේරත් ඇමතිතුමා මෙවර යෝජනාව ප්‍රතික්ෂේප කරනව කියල ප්‍රකාශ කරනවා . Slap තොරතුරු එකතු කිරීමට විරුද්ධ වන බව ප්‍රකාශ කරනව.
2000 වර්ෂයට පෙර අතුරුදහන්වීම් 10,000 ක් පමණ යළි විමර්ශනයන් ආරම්භ කරන බවත්, එම ක්‍රියාවලිය සඳහා රු. මිලියන 375 ක් වෙන් කර ඇති බව වර්තමාන අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පුවත්පතකට ප්‍රකාශ ‍කර තිබුණ.ලංකාව තුළ බිහි වූ සියලු යාන්ත්‍රනයන් බිහි වීමට දායක වූයේ 2009පසු උතුරේ මව්වරුන්ගේ නොනවතින අරගලය බව එතුමාට අමතක වීම සුලුකොට සිතිය හැකිද?
වර්තමාන රජයේ ආරක්ෂක නියෝජ්‍ය ඇමති ලංකාවේ යුධ අපරාධ සිදු නොවූ බවත්, සිදුව ඇති සිදුවීම් යුද්ධවල සිදුවන සාමාන්‍යය සිදුවීම් බවත් ප්‍රකාශකර තිබුණ. හමුදාවට බාරදුන් මිනිස්සුන් අතුරුදන්කිරීම මෙසේ සාධාරණිකරණය කිරීම කළ හැකිද? මෙවන් ප්‍රකාශ යළි යළිත් ජාත්‍යයන්තර යුක්ති යාන්ත්‍රණයකට යොමු විය යුතු බවට බල කෙරෙන ඉගි නොවේද
සාමය සංහිඳියාව සේම ආදරණීයයන් සොයන අපගේ තුවාල වූ හදවත් සුව වීමට නම් සත්‍ය හා යුක්තිය අත්‍යවශ්‍ය වෙනවා. සමස්ත අතුරුදහන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර නෛතික යාන්ත්‍රණයක ලබාදෙන ලෙස ඉල්ලීමට කැමැත්තෙමි.
ස්තූතියි.
@highlight Ekneligoda Forum – එක්නැලිගොඩ සංසදය Free Prageeth Ekneligoda Sandya Priyangani Ekneligoda වදන් රස්තියාදුව

Loading

Related posts