ජන අරගලය ද ? පංති අරගලය ද ? : ජන අරගලයේ සීමාවන් පිළිබඳ ලෙනින්වාදී විවේචනයක්

පසුගිය කාලය පුරාවටම සමහර වාමාංශික ව්‍යාපාරයේ කොටස් විසින් “ජන අරගලය”, “මහජන අරගලය” සහ “පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන්” උත්කර්ෂයට නැංවුනා. ඔවුන් එසේ කරන අතරතුර ම විප්ලවවාදී දේශපාලනයේ ප්‍රධානම කර්තව්‍ය අමතක කොට එයට කුඩම්මාගේ සැලකිලි දැක්වීමක් අපට පෙනෙන්ට තිබෙනවා. එම විප්ලවවාදී අවබෝධය නම්, නිර්ධන පංතිය පංතියක් වසයෙන් සංවිධානය කිරීම සහ නිර්ධන පංතික පංති අරගලය සමාජවාදී අරගලයක් දක්වා සංවර්ධනය කිරීමයි. ලෙනින් කිසිම මොහොතක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන් නොසලකා හැරියේ නැත. ඒ වෙනුවට ඔහු ඒවා තුල ඇති වටිනාකම සහ නිර්ධන පංතික අරගලය ප්‍රවර්ධනය කරන්නට එහි තිබෙන අවකාශය දකිනු ලැබුවා. නමුත් ඔහු ඒ ගමන්ම දැඩිව අවධාරණය කෙරූ දෙයක් නම්, නිර්ධන පංතික විප්ලවවාදී ව්‍යාපාරය සෑම විටම පුළුල් බහුජන ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන්ගේ සීමාව හෙළිදරව් කළ යුතු බවයි. නිර්ධන පංතික නායකත්වයෙන් සහ නිර්ධන පංතික අරගලයෙන් වෙන්වූ ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී ජන අරගලයන් සෑම විටම නවතින්නේ මෙම පවතින ධනේශ්වර ක්‍රම රාමුව තුල පමණි. අද දවසේ වාමාංශිකයි කියාගන්නා බොහෝ ව්‍යාපාර මෙම සීමාව බොඳ කිරීමට හා මෙම සීමාවන් ප්‍රතික්ෂේප කරමින් ජනතාවදයට සහ සුළු ධනේශ්වර මායාවන් වලට වැටී ඇත.

ජන අරගලය සහ පංති අරගලය ගැන ලෙනින්:

ලෙනින් කිසිඳු මොහොතක කිව්වේ නෑ නිර්ධන පංතිය සහ එහි විප්ලවවාදී ව්‍යාපාර ප්‍රජාතන්ත්‍රවාදී ජන අරගලයන් වලට සහභාවී නොවී ඉන්ට කියලා. ඒ වෙනුවට ඔහු පැවසුවේ නිර්ධන පංතිය එවැනි අරගල වලට ද සහභාගී විය යුතු අතර නමුත් එය කළ යුත්තේ එවැනි අරගලවල සීමාවන් ගැන පැහැදිලි අවබෝධයකින් යුතු බවයි. “විප්ලවවාදී නිර්ධන පංතියේ ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් (1905)” ග්‍රන්ථයෙහි ඔහු අවධාරණය කරන්නේ,

“දේශපාලන නිදහස නොමැතිව නූතන ධනේශ්වර සමාජයේ නිෂ්පාදන බලවේගවල පූර්ණ සංවර්ධනය, පුළුල්, නිදහස් සහ විවෘත පන්ති අරගලයක් සහ නිර්ධන පංතියේ ජනතාවගේ දේශපාලන අධ්‍යාපනය, පුහුණුව සහ පෙළගැස්වීම සිතාගත නොහැකිය.”

(ලෙනින්, 1905)

දේශපාලන නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන් නිර්ධන පංතියේ අරගලයට අවශ්‍යම සාධකයක් වන්නේ ඒවා විසින් නිර්ධන පංතියේ අරගලයට සහ උද්ඝෝෂනයට වඩාත් හිතකර අවකාශයක් නිර්මාණය කරන බැවිනි. නමුත් ලෙනින් කිසිම මොහොතක මෙතනට පමණක් සීමා වූයේ නැත. “ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය තුළ සමාජ-ප්‍රජාතන්ත්‍රවාදයේ උපක්‍රම දෙකක්” හි ඔහු පැවසුවේ, නිර්ධන පංතිය සහ එහි ව්‍යාපාරය ප්‍රජාතන්ත්‍රවාදී ජන අරගලයන් වලට සහභාගී වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රණයන් වලින් අරගලය නැවතීමට නොව, නමුත් නිර්ධන පංතියේ අරගලයට සහ එහි විප්ලවයට ගැඹූරින් මෝරා යෑමට ඒවා පිටුවහලක් කරගැනීමට ය.

“නිර්ධන පංතිය තම ගැලවීම සොයා ගැනීමට අපේක්ෂා කරන්නේ පන්ති අරගලය වළක්වා ගැනීමෙන් නොව, එය වර්ධනය කිරීමෙන්, පුළුල් කිරීමෙන්, එහි විඥානය, එහි සංවිධානය සහ අධිෂ්ඨානය වැඩි කිරීමෙන්.”
(ලෙනින්, 1905)

මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදී ජන අරගලයන් වලට පැතිකඩ දෙකක් ඇත. එනම් පලමුව ඒවා විසින් නිර්ධන පංතියට නව අවස්ථාවන්, ශක්‍යතාවයන් සහ අවකාශයන් නිර්මාණය කරනවා. දෙවනුව ප්‍රජාතන්ත්‍රවාදී ජන අරගලයන් විසින් ධනේශ්වර ක්‍රමය ශක්තිමත් කරනු ලබනවා. මේ අනුව නිර්ධන පංතික අරගලය “ජන අරගලයට” සීමා කිරීම හරියට ඉතිහාසය සමාජවාදයට සංවර්ධනය නොකොට ඉතිහාසය ධනවාදයට සීමා කිරීමක් වේ.

ව්‍යාජ-වාම මායාවන්:

මෙන්න මේ වෙනස තමයි අද ව්‍යාජ-වාම කොටස් නොසලකා හරිනු ලබන්නේ. ඔවුන් විප්ලවවාදී ක්‍රියාවලිය “ජන අරගලයන්” වලට ලඝු කරමින් සිටිනවා හරියට මහපාරේ සිටින ඔළු ගෙඩි ගණන සමාජවාදී මාවතට තිබෙන සාක්ෂියක් හැටියට. ලෙනින් අපට මෙම සමාජවාදී දේශපාලනයේ පිරිහීම ගැන අනතුරු අඟවා තිබෙනවා. නිර්ධන පංතිය මත පිහිටන්නේ නැතුව ක්‍රියා කරන ඕනෑම විප්ලවවාදියෙක් වෘත්තීය සමිතියක ලේකම් කෙනෙක් හෝ ධනේශ්වර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙක් පමණයි. නිර්ධන පංතියේ අරගලයෙන් එලියේ පවතින ඕනෑම සමාජවාදී දේශපාලනයක් හිස් වාක්‍ය ඛණ්ඩයක් හෝ මනෝරාජ්‍යයක් පමණයි.

ආසන්නමතම උදාහරණය ගතහොත් එනම්, නේපාලයේ Gen Z අරගලය ගැන ඇති ආකර්ෂණය වැනි දේවල් මගින් මෙම අනතුර පැහැදිලිවම දක්නට ලැබෙනවා. මෙම ප්‍රජාතන්ත්‍රවාදී ජන අරගලයන් පාලක පංතීන් කෙරෙහි ඇති අසහනය ප්‍රකාශ කරනු ලැබුවත් නිර්ධන පංතියේ නායකත්වයෙන් සහ මතවාදී සුපැහැදිලි බාවයකින් තොරව මේවා ප්‍රතිසංස්කරණ සහ ලිබරල් ඉල්ලීම වලට පමණක් සීමාවී පවතිනවා. මෙවැනි අරගල වල ඇති තවත් අනතුරුදායක පැතිකඩක් නම් මේවා ලෙහෙසියෙන්ම NGO, අධිරාජ්‍යවාදී බලවේගයන් වැනි අගතිගාමී බලවේගයන් වලට නතු වීමේ හැකියාව පවතිනවා. මෙවැනි ජන අරගලයන් වලට එසේ සීමාවන් ගැන පැහැදිලි මතවාදී අවබෝධයකින් තොරව සැලකීම යනු මාක්ස්වාදී-ලෙනින්වාදට සහ නිර්ධන පංතිය පාවාදීමකි සහ ජනතාවාදයට වැටීමකි.

ලෙනින්ගේ උපායමාර්ගය:

මෙවැනි ගැටලු වලදී උත්තරය වන්නේ නිර්ධන පංතිය සහ එහි විප්ලවවාදී ව්‍යාපාරය මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී ජන අරගලයන් වලින් ඉවත් කිරීම නොව ඒ වෙනුවට ඒවා තුළ නිර්ධන පංතියේ ස්වාධින විප්ලවවාදී ක්‍රියාකාරීත්වය තහවුරු කිරීමයි. සමාජවාදින් සෑමවිටම ප්‍රජාතන්ත්‍රවාදී ජන අරගලයන් වලට සහයෝගය පළ කළ යුත්තේ ඒවායෙහි ධනේශ්වර ස්වභාවය සහ නිර්ධන පංතියේ නායකත්වය පවත්වාගෙන යමින් ය. ප්‍රජාතන්ත්‍රවාදී ජන අරගලයන් වල ගාමක බලවේගය වන්නේ මධ්‍යම පංතීන් සහ ග්‍රාමීය ජනතාවය. නිර්ධන පංතිය සෑම විටම මෙම මධ්‍යම පංතීන්ගේ සහ ග්‍රාමීය ජනතාවගේ ඒකාධිපතිවාදයට සහ වැඩවසම් හෝ ධනේශ්වර පාලක පංතීන්ට එරෙහි අරගලයට සහය දක්වන අතරතුරම නිර්ධන පංතියේ ස්වාධින විප්ලවවාදී සම්ප්‍රදාය ආරක්ෂා කරමින් ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් ඉටු වූ විගස මධ්‍යම පංතීන් හෝ ග්‍රාමීය ජනතාව විප්ලවයට සතුරු වුවහොත් එයට විරුද්ධව ද අරගල කිරීමට සූදානම් විය යුතුය.

මෙම දේවල් වල දයලෙක්තික ස්වභාවය අද වෙන කොට ව්‍යාජ-වාම කොටස් වල කතිකාවතෙන් බැහැරවයි පවතින්නේ. පංතියේ සහ ජනතාවගේ, විප්ලවයේ සහ ප්‍රතිසංස්කරණයේ වෙනස මුළුමනින්ම බොඳ කොට ඇත. ඉරා දමා ඇත. ප්‍රතිඵලය වන්නේ විප්ලවවාදී දේශපාලනයක් නොව සාංසිද්ධිකතාවයට වන්දනාමාන කරන ජනතාවාදයකි. නිර්ධන පංතික විඤ්ඤාණය අමතක කොට දැමීමකි.

මෙවැනි ව්‍යාජ-වාම ප්‍රවණතාවලය එරෙහි මතවාදී අරගලය අද දවසේ වැදගත්ම දෙයකි. ජනතාවගේ අරගලයන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කල යුතු නැහැ නමුත් ජනතා අරගලය ප්‍රමාණවත් නොවේ විප්ලවයට. නිර්ධන පංතිය කිසිසේත්ම “ජනතාව” නම් කොටසට ලඝූ කළ යුතු නැති යුතු අතරම සමාජවාදය ද “ප්‍රතිසංස්කරණය” වලට සීමා කළ යුතු නැත. අපේ කර්තව්‍ය වන්නේ විශාල පින්තූරය එනම් සමාජවාදී විප්ලවය අමතක කරන්නේ නැතිව දේශපාලන නිදහසේ සෑම අඟලක්ම දිනාගැනීමට මෙවැනි ජනතා අරගලයන් වලට සහභාගී වීමයි. සෑම අරගලයක්ම පංති අරගලය මුවහත් කිරීමට, පංතිය සංවිධානය කිරීමට සහ සමාජවාදී මාවතට සංක්‍රමණය වීමට යොදාගත යුතුය. මෙයයි ප්‍රධානම දේ වන්නේ අප්‍රධාන දේවල් වලට ප්‍රධාන දේ යැයි සලකා එල්බ සිටීම විප්ලවවාදී දේශපාලනය නොව ජනතාවාදයයි. මේ නිසා මෙවැනි ව්‍යාජයන්ට එරෙහිව මතවාදී අරගලය අද දවසේ අපගේ ප්‍රධානම කර්තව්‍ය බවට පත් වේ.

Sep 20, 2025
By: Dimuth Bhanuka 

Loading

Related posts