
මාක්ස් සහ එංගල්ස් “අවතාරය” යන උපමාව තෝරාගත්තේ ඉතාමත් දේශපාලනික සහ සාහිත්‍යමය අර්ථයක් ඇතිවය. 1848 වන විට යුරෝපයේ කොමියුනිස්ට් රාජ්‍යයක් නොතිබුණ ද, එම අදහස ගැන රජවරු, ප්‍රභූවරු, පල්ලිය සහ ධනපති පන්තිය බියෙන් කතා කරමින් සිටි බැවින් එය හැම තැනම ඇවිදින අවතාරයක් ලෙස නිරූපණය විය. අවතාරයක් යනු සෑම විටම නොපෙනෙන නමුත් එහි පැවැත්ම දැනෙන දෙයක් වන අතර, කොමියුනිස්ට්වාදය යනුද එවැනි මතවාදයක් බවත්, එය සමාජය තුළ පැතිරෙමින් පවතින නිසා පාලක පන්තියට එය නොසලකා හැරිය නොහැකි බවත් මාක්ස්ගේ අදහස විය.

“අවතාරය” යනු භූතයක් යන්නෙන් නොව, පැරණි සමාජ ක්‍රමය අභියෝගයට ලක් කරන නව ඓතිහාසික බලවේගයක සංකේතයක් වූ බැවින්, කම්යුනිස්ට් ප්‍රකාශනය ආරම්භ කරමින් ඔවුන් සඳහන් කළේ ** යුරෝපය පුරා අවතාරයක් හොල්මන් කරයි – ඒ කොමියුනිස්ට්වාදයේ අවතාරයයි.** යනුවෙනි. ඊට පසු ඔවුන් “පැරණි යුරෝපයේ සියලු බලවේග මෙම ‘අවතාරය’ පලවා හැරීමට එකමුතු වී ඇත.” ලෙස පෙන්වා දුන්නේ කොමියුනිස්ට්වාදය සමාජයේ සැබෑ බලයක් බවට පත්ව ඇති නිසා පාලක පන්තිය ඊට එරෙහිව එකතු වී ඇති බවයි. එබැවින් මෙම ලිපියේ භාවිතයද එම මුල් අර්ථයට ගැළපෙන පරිදි, “අවතාරය” යන්නෙන් අදහස් කරන්නේ සමාජයේ පවතින ප්‍රතිවිරෝධතා නිසා මතුවන, පවතින බල ව්‍යුහයන්ට අභියෝග කරන මතවාදී සහ දේශපාලන බලවේගයක සංකේතය ලෙසය.
අද ශ්‍රී ලංකාවේද වෙනස් ඓතිහාසික පසුබිමක සිට මෙම උපමාව හරහා වර්තමාන සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රතිවිරෝධතා මැනවින් පැහැදිලි කළ හැකිය. ලංකාව පුරා මතුවන මෙම “අවතාරය” හදිසියෙන් පහළ වූවක් නොවේ. එය දිගු කාලයක් තිස්සේ ගැඹුරු වූ ආර්ථික විෂමතාවයන්, සම්පත් බෙදී යාමේ අසමානතාව, ජනතාවගේ ජීවන පීඩනය සහ බලය අතළොස්සක් අතර සංකේන්ද්‍රණය වීම පිළිබඳව මතුවන ප්‍රශ්න කිරීම් තුළින් ගොඩනැගෙන අදහසකි.
එක් පැත්තකින් ආර්ථික හා දේශපාලන බලය සීමිත කණ්ඩායම් අතර රැඳී තිබෙන අතර, අනෙක් පැත්තෙන් බහුතර ජනතාව ජීවන වියදම,විරකියාව, ණය බර, රැකියා අස්ථාවරතාව සහ මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ දෛනික අරගලයක නිරත වෙති. මෙම පරස්පරතාව නිසා පවතින ක්‍රමය පිළිබඳ විවේචන සහ දේශපාලන ගැටුම් සමාජය තුළ දිනෙන් දින වර්ධනය වෙමින් පවතී.
ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ දිගු කාලයක් බලය හුවමාරු වූයේ ප්‍රධාන ධාරාවේ සාම්ප්‍රදායික බලවේග අතරය. නමුත් ආර්ථික අර්බුද, දූෂණය සහ ජනතා විශ්වාසය බිඳ වැටීම හේතුවෙන් එම ව්‍යුහයන් දැඩි විවේචනයට ලක් වූ අතර, ජනතාව වෙනසක් අපේක්ෂාවෙන් නව දේශපාලන බලවේග වෙත යොමු වූහ. එහෙත්, පාලන බලය වෙනස් වීම පමණක් ජනතාව අපේක්ෂා කළ ගැඹුරු සමාජ ආර්ථික පරිවර්තනයක් බවට පත් නොවූ තැන, තමන්ගේ ආර්ථික අවශ්‍යතා සහ සැබෑ නියෝජනය පිළිබඳ ගැඹුරු ප්‍රශ්න කිරීම් ජනතාව අතර යළිත් මතුවන්නට විය.
සමාජයේ පවතින මෙම අර්බුද හමුවේ වාමාංශික, සමාජවාදී සහ පන්තිමය දේශපාලන අදහස් පිළිබඳ සංවාදය නැවතත් ඉදිරියට පැමිණ තිබේ. ඒ සමඟම එම අදහස්වලට එරෙහි මතවාදී ප්‍රතිචාරද විවිධ සමාජ මාධ්‍ය ලිපි සහ සාකච්ඡා තුළ වර්ධනය වෙමින් පවතින අතර, සමාජවාදී රටවල ඓතිහාසික අත්දැකීම් සහ එම අදහස් පිළිබඳ විවිධ විවේචනාත්මක විග්‍රහයන්ද ඒ අතර වෙයි. මෙම මතවාදී ගැටුම් හදිසියේ මතුවන දේවල් නොව, ඒවා සමාජයේ පවතින බල සම්බන්ධතා සහ ආර්ථික ප්‍රතිවිරෝධතා සමඟ මතුවන සංවාදයන්ය.
2022 ශ්‍රී ලංකාවේ ඇති වූ ජනතා අරගලය හුදෙක් ආණ්ඩු වෙනසක් සඳහා වූ ඉල්ලීමක් පමණක් නොව, දිගු කලක් තිස්සේ ගොඩනැගුණු ආර්ථික පීඩනය සහ අසමානතාවට එරෙහි ප්‍රකාශනයක් විය. එම අර්බුදයෙන් පසුවද ජනතාව මුහුණ දෙන මූලික ගැටලු සම්පූර්ණයෙන් විසඳී නොමැති බැවින්, ආර්ථික ක්‍රමය සහ බලය තීරණය වන ආකාරය පිළිබඳ ප්‍රශ්න කිරීම් පවතී. මාක්ස්වාදී විග්‍රහයකින් බලන විට, මෙවැනි තත්ත්වයන් ශ්‍රමය මත ජීවත් වන බහුතරය සහ ආර්ථික බලය හිමි කණ්ඩායම් අතර පවතින පන්තිමය ප්‍රතිවිරෝධතා මනාව පෙන්නුම් කරයි.
අද කොමියුනිස්ට්වාදය සහ සමාජවාදය පිළිබඳ සංවාදය හුදෙක් වම සහ දකුණ අතර දේශපාලන තර්කයකට සීමා වන්නේ නැත. එය සම්පත් බෙදී යාම, ආර්ථික බලය හිමිවන්නේ කාටද සහ ශ්‍රමයේ වටිනාකම තීරණය වන්නේ කෙසේද යන්න වටා ගොඩනැගෙන පන්තිමය ප්‍රශ්නයකි. කෙසේ වෙතත්, “අවතාරය” උපත ලබන්නේ සමාජයේ පවතින ප්‍රතිවිරෝධතා තුළින් වුවද, එයට දේශපාලන ස්වරූපයක් සහ සංවිධානාත්මක බලයක් ලබා ගැනීමට පැහැදිලි දැක්මක් සහ නායකත්වයක් අත්‍යවශ්‍ය වේ.
වර්තමාන ශ්‍රී ලංකාව තුළ දිග හැරෙමින් පවතින්නේ හුදෙක් මැතිවරණ දේශපාලනයක් පමණක් නොව, සමාජයේ කුමන පන්තියේ අවශ්‍යතා දේශපාලන තීරණ තුළ ප්‍රමුඛත්වය ලබන්නේද, බලය ක්‍රියාත්මක වන්නේ කාගේ අවශ්‍යතා අනුවද යන්න පිළිබඳ මූලික සංවාදයකි. මෙම තත්ත්වය තුළ දේශපාලන රේඛා වඩාත් පැහැදිලි වෙමින් පවතින අතර, තමන් වාමාංශික යැයි හඳුන්වා ගන්නා සියලු බලවේග සැබවින්ම කුමන පන්තියේ අවශ්‍යතා නියෝජනය කරන්නේද යන්න ප්‍රායෝගික දේශපාලනය තුළ වඩාත් පැහැදිලිව හෙළිදරව් වනු ඇත. එසේම, ධනේශ්වර බලවේග සහ ඒවාට අනුගත වන ප්‍රවණතාද එම ක්‍රියාවලිය තුළ වඩාත් පැහැදිලිව වෙන්කර හඳුනාගත හැකි වනු ඇත.
අද “කොමියුනිස්ට්වාදයේ අවතාරය” යනු හුදෙක් එක් දේශපාලන පක්ෂයක හෝ මතවාදයක නාමයක් පමණක් නොව, සමාජයේ පවතින අසාධාරණතා, ආර්ථික විෂමතා සහ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ මතුවන ප්‍රශ්න කිරීම්වලින් ගොඩනැගෙන දේශපාලන සංවාදයකි. එය ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවී, ලෝකය පුරා පවතින සමාජ හා ආර්ථික ප්‍රතිවිරෝධතා තුළින් නැවත නැවත මතුවන සංවාදයකි.
“යුරෝපය පුරා අවතාරයක් හොල්මන් කරයි – ඒ කොමියුනිස්ට්වාදයේ අවතාරයයි.”
— කාල් මාක්ස් සහ ෆ්‍රෙඩ්රික් එංගල්ස්, කොමියුනිස්ට් ප්‍රකාශනය (1848)
BY WAGIRA PRIYASHANTHA
![]()