ස්ටීවන් හෝකින්ගේ ‘මහා විදාරණ විශ්වය’

‘කාලය පිළිබඳ කෙටි ඉතිහාසයක්: මහා විදාරණයේ සිට කළු කුහර දක්වා’ (A Brief History of Time: From the Big Bang to Black Holes) නමැති කෘතිය භෞතික විද්‍යාඥ ‒ මහාචාර්ය ස්ටීවන් හෝකින් (1942-2018) විසින් ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද්දේ 1988 වසරේදීය. විශ්වයේ ආරම්භය, සම්භවය, විකාශනය සහ එහි ව්‍යුහය පිළිබඳව හෝකින් මෙම කෘතියේදී, ස්වාභාවික විශ්වය ගැන භෞතිකවාදී විග්‍රහයක් ඉදිරිපත් කරයි. අවකාශය සහ කාලය වැනි මූලික සංකල්පවලින් ආරම්භය → වර්ධනය → නිෂේධනය යන විශ්වයේ ස්වාභාවික පැවැත්මද ස්ථීර කරයි. නවීන භෞතික විද්‍යාවේ පදනම වන ගුරුත්වාකර්ෂණ නියමය (theory of gravitation), සාපේක්ෂතා නියමය (theory of relativity) සහ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව (quantum mechanics) යන න්‍යායන් තුන හෝකින් විසින් ‘මහා විදාරණ විශ්වයේ’ ආරම්භය පැහැදිලි කිරීමට යොදා ගනියි.
මෙහිදී හෝකින්, එඩ්වින් හබල් (1889-1953) විසින් විශ්වය පිළිබඳ කළ නිරීක්ෂණ දත්තද යොදා ගෙන තිබුණි: “අප ජීවත්වන ‘කිරි සයුර මන්දාකිනිය’ (Milky Way Galaxy) විශ්වයේ එකම මන්දාකිනිය නොවන බවත්, විශ්වය තුළ තවත් මන්දාකිනි විශාල ප්‍රමාණයක් පවතින බවත්, හබල් 1924දී නිරීක්ෂණ දත්ත ඉදරිපත් කර තිබුණි. 1925දී හබල් තවත් නිරීක්ෂණයක් ඉදිරිපත් කළේ: “මන්දාකිණි අතර දුර ප්‍රමාණය එක් දිසාවකට ඈත්වෙමින් — විශ්වය එක දිසාවකට ‘ප්‍රසාරණය’ (විදාරණය) වෙමින් පවතින බව පෙන්වා දී තිබුණි.” විශ්වය තුළ සොයාගත් වැදගත්ම කරුණ වූ ‘මහා විදාරණක්’ සිදුවන කරුණ මගින් පැහැදිලි මතයක්, එවිට උද්ගත විය. දැනට විශ්වයේ පවතින මන්දාකිනි සියල්ල එකිනෙකින් ඈතට විසිරී යමින් පවතී නම්, අතීතයේදී ඒ සියල්ල එකිනෙකට වඩා සමීපව පිහිටා තිබිය යුතුයි යන භෞතිකවාදී නිගමනයට පදනම වැටුනේ එළෙසිනි. මෙම ප්‍රසාරණය ප්‍රමාණවත් තරම් දුරකට ආපස්සට ගෙන ගියහොත්, මුළු විශ්වයම අතිශය උණුසුම් හා ඝන තනි ලක්ෂ්යයකින් විදාරණය වන බව විද්‍යානුකූලව උපකල්පනය කිරීමට අවකාශය සැලසුනි.
‘මහා විදාරණ විශ්වය’ (Big Bang universe) යනු 1927දී කතෝලික පූජකවරයෙක් වූ ජෝසප් ලෙමෙට්රේ (1894-1966) විසින් විශ්වය තුළ සිදුවුණ පිපිරීමක් ලෙස අර්ථ දක්වන ‘මහා පිපිරුම් න්‍යාය’ (Big Bang theory) නොවේ. ‘මහා විදාරණය’ යනු විශ්වය ප්‍රසාරණය වීමක් වන අතර, එය සෑම තැනකම එකවර සිදුවන්නකි. මන්දාකිනි අවකාශය හරහා වේගයෙන් විශ්වයෙන් පිටතට ගමන් කරන්නේ නැත; ඒ වෙනුවට ඒවා අතර ඇති අවකාශය එක් දිසාවකට පමණක් ප්‍රසාරණය වෙමින් පවතී. පිම්බෙන බැලූනයක මතුපිට කේන්ද්‍රයක් හෝ දාරයක් නොමැතිවාක් මෙන්ම, මෙම ප්රසාරණයටද කේන්ද්‍රයක් හෝ දාරයක් නොමැත.
එසේම “විදාරණය ආරම්භ වූයේ කුමන ස්ථානයකින්ද?” යන ප්‍රශ්නයට පිළිතුරු ගැන, භෞතික විද්‍යාඥයන් අතර සාකච්ඡාවට බදුන් වෙමින් නොතිබුණි. එවිට එම ප්රශ්නය ප්‍රහේලිකාවක් බවට පත් වී තිබුණි. මන්ද යත්, විශ්වයේ අවකාශය ස්වාභාවික නම් — මන්දාකිනි විදාරණය ස්වාභාවික චලනයක් නම් — කාලයද ස්වාභාවික නම් — විශ්වයේ ස්වාභාවික භෞතික දැනුම මත පදනම් වෙමින් විශ්වයේ ආරම්භය සිදුවූයේ කෙසේද යන්න විසඳීමට හෝකින් වෙහෙසුනේ එළෙසය.
‘මහා විදාරණ විශ්වය’ යනු හුදු අනුමානයක් නොවේ. එය භෞතිකවාදී සාක්ෂි මාලාවකින් සංෂිප්ත වී ඇරඹෙන්නේ විශ්වය ගැන කළ නිරීක්ෂණ සහ සාක්ෂි මගිනි. එහිදී වඩාත් කැපී පෙනෙන නිරීක්ෂණයක් වූයේ, විශ්වය පුරාම ‘විශ්වීය ක්ෂුද්‍ර තරංග විකිරණය’ (cosmic microwave background) මගින් මඳ ආලෝකයක් විහිදුවමින් පවතින බව 1965දී ඇලන් පෙන්සියාස් (1933-2024) සහ රොබට් විල්සන් (1936-) සොයාගනු ලැබීමත් සමගය. විශ්වයේ ආරම්භක අවධියේදී උණුසුම්ම කාල පරිච්ඡේදයේ සිට සිසිල් වූ පසු-දීප්තිය අතිශය සවිස්තරාත්මකව ඔවුන් දෙදෙන විසින් සිතියම්ගත කරන ලදී. සරලව කිවහොත්, එම සිතියම විශ්වය ආරම්භක අවධියේ ගත් ඡායාරූපයක් වැනිය.
මෙහිදී හෝකින් 1970 දශකයේ අගභාගයේදී රොජර් පෙන්රෝස් (1939-) සමග එක්ව කටයුතු කරමින්, ප්‍රසාරණය වන විශ්වය සඳහා සාපේක්ෂතා නියමය සමග ගණිතමය මූලධර්ම සැකසුවේය. ඔවුන් විසින් ඔප්පු කරන ලද ‘ඒකත්ව ප්‍රමේයයන්’ (singularity theorems) මගින් පෙන්නුම් කළේ, සාමාන්‍ය සාපේක්ෂතා නියමය නිවැරදි නම් සහ අප නිරීක්ෂණය කරන පරිදි විශ්වය ප්‍රසාරණය වන්නේ නම්, එය අනිවාර්යයෙන්ම ‘එක තැනකින්’ (singularity) ආරම්භ වී විදාරණය විය යුතු බවයි. ඒකත්වය යනු ඝනත්වය සහ අවකාශය සහ කාලය අතර වක්‍රතා නියමයන් භෞතික විද්‍යාවේදී ක්‍රියාත්මක වන මොහොතකි.
මෙය හුදු කතන්දරයක් නොව, සැබෑ භෞතික විද්‍යාත්මක ප්රතිඵලයකි. ගුරුත්වාකර්ෂණය පිළිබඳ අප සතු හොඳම න්‍යාය මගින්, මූලික අර්ථයෙන් ගත් කල, විශ්වයට ආරම්භයක් තිබිය යුතු බව තහවුරු කෙරිණි. ‘මහා විදාරණය’ යනු තවදුරටත් හුදු අනුමානයක් පමණක් නොවීය; සාමාන්‍ය සාපේක්ෂතාවය යටතේ එය අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක් බවට පත්විය.
එබැවින්, හෝකින් වෘත්තීය ජීවිතයෙන් වැඩි කාලයක් වෙන් කළේ විශ්වයේ ආරම්භය විස්තර කිරීමටය. එම උත්සාහයේ වඩාත්ම ප්‍රසිද්ධ ප්‍රතිඵලය වන්නේ ජේම්ස් හාර්ට්ල් (1939-2023) සමග එක්ව සංවර්ධනය කරන ලද ‘සීමා-රහිත යෝජනාව’ යි (no-boundary proposal). විශ්වයට පැහැදිලි ආරම්භක සීමාවක් තිබිය යුතු බවත්, මහා විදාරණයට “පෙර” තිබුණේ කුමක්දැයි විමසීමට හැකි බවත් එමගින් දත්ත විශ්ලේෂණය කරන ලදී.
ආරම්භක විශ්වයේ පැවති ක්ෂුද්‍ර ක්වොන්ටම් විචලනයන් (quantum fluctuations), එහි මුල්කාලීන වේගවත් ප්‍රසාරණය හරහා මන්දාකිණිවල බීජ බවට — එනම් වත්මනේ මහා පරිමාණ මන්දාකිනි සහ සෞරග්‍රහ මණ්ඩල වැනි ව්‍යුහයන් බවට — පත් වූ ආකාරය පිළිබඳවද ඔවුන් වැදගත් පර්යේෂණ සිදු කළේය. එමගින් විශ්වයේ ආරම්භය විසඳා ගැනීමට ඔවුන්ට හැකිවිය. එහිදී හෝකින්ගේ පර්යේෂණ මගින් විශ්වයේ ආරම්භය සහ එහි පරිණාමය පිළිබඳ ගැඹුරු අවබෝධය ‘කාලය පිළිබඳ කෙටි ඉතිහාසයක්: මහා විදාරණයේ සිට කළු කුහර දක්වා’ (1988) කෘතියෙන් පැහැදිලි ලෙස ගෙන ඒමට සමත් විය. විශ්වයේ ව්‍යුහය සහ එහි වර්ධනය පිළිබඳ අපගේ අවබෝධය දියුණු කිරීමෙහිලා හෝකින් ‘විශ්වයේ ස්වාභාවික භෞතිකය’ ගැන ප්‍රධාන ලෙස පැහැදිලි කළේය. ‘මහා විදාරණ විශ්වය’ පිළිබඳ හෝකින්ගේ න්‍යාය මගින් භෞතිකවාදී දාර්ශනික සාකච්ඡාවටද විශාල දායකත්වයක් ලැබුණි.
හෝකින්ගේ ‘මහා විදාරණ විශ්වයේ’ ආරම්භය ඒක් ස්ථානයකින් ‒ උෂ්ණත්වයකින් ‒ ආරම්භ වූ බවට පැහැදිලි කිරීමට ඔහු ඇල්බට් අයින්ස්ටයින්ගේ (1879-1955) සාපේක්ෂතා නියමය යොදා ගත්තේය. හෝකින් පසුකාලීන වසරවලදී, ක්වොන්ටම් ගුරුත්වාකර්ෂණය ගවේෂණය කළ අතර, විශ්වයට කාලය තුළ සීමාවක් තිබිය නොහැකි බව යෝජනා කළ අතර, එය ක්වොන්ටම් (quantum) උච්චාවචනයන් හරහා කිසිවක් නොමැතිව ස්වයංසිද්ධව මතු වූ බවද යෝජනා කළේය. මෙම ‘සීමා රහිත’ යෝජනාව අවකාශයේ සහ කාලයේ ආරම්භක දැක්ම හෝකින් නැවත අර්ථකථනය කළේය.
හෝකින්ගේ ‘මහා විදාරණ විශ්ව’ න්‍යායට අනුව විශ්වය ආරම්භ වන්නේ ‘එක් ලක්ෂ්යයකින්’ ය (singularity); එනම් භෞතික විද්‍යා නියමයන්ට අනුව, ආරම්භක ආලෝක ධාරාවකින් යුක්ත ඝන උෂ්ණත්වයකින් යුත් මොහොතකිනි. පළමුවැනි ගුරුත්වයේ කොන්ටා නියමයෙන් (ආරම්භක ආලෝක ධාරාව) ආරම්භ වූ අවස්ථාවේ විශ්වයේ තාපය අපරිමිත මට්ටමක පැවති බවත් — ඉන් තත්පරයකට පසු මහා විදාරණය ඇරඹුණු බවත් — ඉන්පසුව විශ්වයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන දහසක් පමණ පහත වැටුණ බවත් — හෝකින් සඳහන් කරයි. එම අවස්ථාවේ විශ්වය සමන්විත වූයේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන හා නියුට්රෝනවලිනි. එබඳු අවස්ථාවක ඉලෙක්ට්‍රෝන හා ප්‍රතිඉලෙක්ට්‍රෝන බහුල ලෙස ප්‍රෝටෝන නිර්මණය කරන්නට ඇති. එහෙත් නියුට්‍රෝන හෝ ප්‍රතිනියුට්‍රෝන හෝ එකිනෙක හා ඉතා දුබල ප්‍රතික්‍රියාවක් දක්වන නිසා ඒවා එකිනෙක ගැටී විනාශ නොවී ඉතිරි වන්නට ඇති. එහි ප්‍රතිඵලය වූයේ අදත් ඒවා විශ්වයේ ඉතිරිව තිබීමයි. එවිට ගුරුත්ව කොන්ටා නියමයෙන් ඇරඹුණු විශ්වය ගැන මුල් අවස්ථාවේ පැවති ස්වරූපය නිරීක්ෂණය කළහොත් පැහැදිලි චිත්‍රයක් නිර්මාණය කරගත හැකි යැයි හෝකින් පවසයි.
මහා විදාරණයෙන් තප්පර 100කට පසු විශ්වයේ උෂ්ණත්වය තවත් පහත වැටුනි. මෙම උෂ්ණත්ව මට්ටමේදී විකීරණ ශක්තියේ බලපෑම ඉක්මවා යාමට අවශ්‍ය තරම් ශක්තියක් නොමැති ප්‍රෝටෝන හා නියුට්‍රෝන එකිනෙක බැඳෙමින් ඩියුට්රියම් (Deuterium) හෙවත් බර හයිඩ්රජන් පරමාණු න්‍යෂ්ටි නිර්මාණයට අවශ්‍ය පසුබිම සැකසුණි. මෙම න්‍යෂ්ටිය එක් ප්රෝට්රෝනයකින් හා නියුට්‍රෝනයකින් සමන් විත නම්, ඊළඟට මෙම ඩියුට්රියම් න්‍යෂ්ටි තවත් ප්‍රෝටෝන හා නියුට්‍රෝන සමග ඒකාබද්ධ වී හීලියම් න්‍යෂ්ටි නිර්මාණය වන්නට ඇති. හීලියම් න්‍යෂ්ටියක් ප්‍රෝටෝන දෙකකින් හා ලිතියම් හෝ බෙරලියම් හෝ සුලු ප්‍රමාණයකින් සමන්විත වෙයි. මහා විදරණ අවස්ථාවේ විශ්වයේ වූ ප්‍රෝටෝන හා නියුට්‍රෝන සාමාන්‍ය හයිඩ්රිජන් පරමාණුවලින් සමන්විත ප්‍රෝටෝන හා නියුට්‍රෝන 25%ම හීලියම් න්‍යෂ්ටි බවටද ඉතිරි ඒවා නියුට්‍රෝන සාමාන්‍ය වූයේ නම්, විශ්වයේ ආරම්භය පිළිබඳ මෙම න්‍යායෙන් විශ්වය විදාරණ අවස්ථාවේ පැවති අධික තාපය අද දක්වා ප්‍රෝටෝන ස්වරූපයෙන් පවත්නා බවත් — එය සෙල්සියස් අංශක 273කට වඩා මදක් ඉහළ මට්ටමක තිබිය හැකි බවත් හෝකින් ප්‍රකාශ කරයි.
වසර ලක්ෂ ගණන් විශ්වය මෙසේ විදාරණය වෙමින් පැවතුණි. ඉන් අනතුරුව උෂ්ණත්වය අංශක දහස් ගණනක් දක්වා පහත වැටුණු විට න්‍යෂ්ටි හා ඉලෙක්ට්‍රෝන එකිනෙක බැඳ තබාගත් ශක්තිය හීන වී විද්‍යුත් චුම්බක ශක්තිය මගින් ඒවා එකිනෙක හා බැඳෙමින් පරමාණු (atoms) {අංශු} නිර්මාණය විය. විශ්වය තව දුරටත් විදාරණය වෙමින් සිසිල් වීම සිදු වූ පසු විශ්වය තුළ අධික ඝනත්වය පැවති ප්‍රදේශවල විදාරණය වන වේගය විශ්වයේ ආරම්භයට වඩා අඩුවිය. එමනිසා ඇතැම් ප්‍රදේශවල විදාරණය අඩු වීමෙන් එම ස්ථානවල විශ්වය තුළටම සංකෝචනය වන ප්‍රදේශ බිහිවිය. එම ප්‍රදේශ සංකෝචනය වීමේදී එවායේ ගුරුත්වය විසින් අවට වූ පරමාණු අවශෝෂණය කරගැනීමේ කාර්යය ඇරඹුණ බැවින් පරමාණු ‒ පරමාණු අතර ඒකාබද්ධතාවයන් ඇති වෙමින් පදාර්ථ (matter) {අණු} නිර්මාණය විය. මෙම පදාර්ථ චලනයෙන් ගුරුත්වාකර්ෂණය තුළනය වීමේ ප්‍රතිඵලයක් හැටියට තැටි බඳු භ්‍රමණය වන ප්‍රාථමික මන්දාකිනි වලාවන් බිහිවීම අරඹුණි. කාලය ගෙවීයත්ම මන්දාකිනිවල ඇති හයිඩ්රිජන් හා හීලියම්වලින් සැදුණු වලාකුළු (නිහාරිකා) ගොඩනැගෙමින් ගුරුත්වාකර්ෂණයෙන් පදාර්ථ නිහාරිකා ඒකාරාශිවීමද ඇරඹුණි. එම වලාකුළු මධ්‍යයේ ඇතිවන පදාර්ථ ක්‍රියාකාරීත්වය නිසා උෂ්ණත්වය වර්ධනය වී හයිඩ්රිජන් හීලියම් බවට පරිවර්ථනය වෙමින් මුදාහරිණ උෂෟණත්වය නිසා නිහාරිකාව මධ්‍යයේ ඇතිවන පීඩනය වර්ධනයට බලපෑවේය. නිහාරිකාව තව දුරටත් සංකෝචනය වීම නවතන්නට මෙම පීඩනය හේතුවිය. මෙසේ සංකෝචනය නිසා කුඩා ‒ මධ්‍යම ‒ විශාල ප්‍රමාණයේ තාරකා (සූර්යයන්) සතු හයිඩ්රිජන් හීලියම් බවට පත් කරමින් හා ඉන් උපදින ශක්තිය තාපය හා ආලෝකය ස්වරූපයෙන් නිකුත් කරමින් දිගු කලක් පවතින්නට හැකියාව වර්ධනය කරගත්තේය. එම නිහාරිකාව සූර්යයා සහ ග්‍රහලෝක පද්ධති මන්දාකිනි තුළ (සෞරග්‍රහ මණ්ඩල) බිහිවීම ඉන් අනතුරුව සිදුවිය. ඉන් පසුව නිශ්චිත ග්‍රහලෝක තුළ සොබාදහම බිහි වී ජීවය දක්වා පරිණාමීය ක්‍රියාවලියක් සිදුවිය.
විශ්වය ආරම්භයේදී වූ ආකූලත්වය ක්‍රමයෙන් මහා විදාරණයේදී බලවත් වී ආරම්භක ආලෝකය →පරමාණු → පදාර්ථ → මන්දාකිනි → සෞග්‍රහ මණ්ඩල → සොබාදහම → ජීවය දක්වා ආකෘති බිහිවන්නට හැකි විශ්වීය පරිණාමයක් දක්වා විශ්වය වර්ධනය විය. විශ්වය තුළ ජීවය දක්වා සිදුවන්නේ ස්වාභාවික භෞතික ක්‍රියාවලියක් බව ‘ක්වොන්ටම් න්‍යාය’ අනුව පහසුවෙන් පැහැදිලි කළ හැකි බව හෝකින් පවසයි. විශ්වය ආරම්භ වී එම කාතා පුවතට ගොවී ඇත්තේ වර්ෂ බිලියන 13.8ක් බව තාරකා විද්‍යාඥයෝ තහවුරු කරති.
‘පරමාණුවෙන් විශ්වය බිහිවිය’ යන පුරාණ ග්‍රීක භෞතිකවාදී දාර්ශනිකයන් වන ලෙයුසිපස් (ක්‍රි.පූ. 500-) ඩිමොක්‍රිටස් (ක්‍රි.පූ. 460-370) සහ එපිකියුරස් (ක්‍රි.පූ. 341-270) ද පරමාණුවෙන් ස්වාභාවික ගොඩනැගුණු විශ්වය පිළිබඳව දාර්ශනික විග්‍රහයක් ක්‍රිස්තු පූර්ව යුගවලදී ඉදිරිපත් කර තිබුණි. ඒ ගැන හෝකින් තම කෘතියේ මෙසේ සඳහන් කරයි: “…කෙසේ වෙතත්, ලෙයුසිපස්, ඩිමොක්‍රිටස් සහ එපිකියුරස් වැනි ග්‍රීක දාර්ශනවාදී චින්තකයන් විශ්වය ගැන දැරුවේ එක මතයකි; ඔවුන් විශ්වාස කළේ පරමාණු ස්වභාවයෙන්ම අංශුමය ස්වභාවයක් ගන්නා බවත්, සියල්ල විවිධ වර්ගයේ පරමාණු විශාල සංඛ්‍යාවකින් විශ්වය බිහි වීම සමන්විත වූ බවත්ය (‘පරමාණු’ – atom – යන ග්‍රීක ‘átomos’ යන වචනයේ අර්ථය වන්නේ “බෙදිය නොහැකි” යන්නයි). නිශ්චිත විද්‍යානුකූල සාක්ෂි නොමැතිව මෙම දාර්ශනික සංකල්පය සියවස් ගණනාවක් පුරා පැවත අවේය. නමුත් 1803දී බ්‍රිතාන්‍ය රසායන විද්‍යාඥයෙකු සහ භෞතික විද්‍යාඥයෙකු වූ ජෝන් ඩෝල්ටන් (1766-1844) විසින් පෙන්වා දුන්නේ, රසායනික සංයෝග සැමවිටම නිශ්චිත අනුපාතවලින් එකිනෙක හා සම්බන්ධ වන බව පරමාණු එකට එක් වී ‘අණු’ (molecules) ලෙස හැඳින්වෙන ඒකක සෑදීම පදාර්ථ මගින් පැහැදිලි කළ හැකි බවයි. කෙසේ වෙතත්, මෙම පුරාණ පරමාණුවාදීන් (atomists) ඉදිරිපත් කර තිබූ මතය ස්ථීරත්වයට පත් වූයේ 20වැනි සියවස මුල් භාගයේදීය.”
ග්‍රීක පරමාණුවාදීන් ගෙන පැවත ආ ‘පරමාණුවෙන් විශ්වය බිහිවිය’ යන ප්‍රමේය හෝකින්ගේ පැහැදිලි කළ ස්වාභාවික භෞතිකවාදී විවරණය මගින් තවත් ස්ථාවරත්වයට පත්විය. විශ්වයට සීමාවක් නොමැති නම්, ඊට බාහිර හේතුවක් හෝ අද්භූත මැවීමේ ක්‍රියාවලියක් නොවේ නම්; ‘පරමාණුවෙන් විශ්වය බිහිවිය’ යනු සෑබෑම ප්රස්තූතය බවට පත්විය. එම මතයම උපයෝගී කරගනිමින් හෝකින් ක්වොන්ටම් ක්ෂේත්‍ර තුළ, පරමාණු ක්වොන්ටම් විචලනයන් (quantum fluctuations) හරහා විශ්වය ස්වාභාවිකව බිහි වූ බව: “විශ්වය බිහි කිරීමට දෙවියකු හෝ මැවුම්කරුවෙකු අවශ්‍ය නොවූ බවත්, එය ‘ස්වාභාවිකව නිර්මාණය වුණ’ (Naturally formed) විශ්වයක් බවත්” හොකින්ගේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.
විශ්වයේ ආරම්භය පිළිබඳ ප්‍රමුඛතම හා භෞතික විද්‍යාත්මක පැහැදිලි කිරීම හෝකින් ඉදිරිපත් කළ “මහා විදාරණ විශ්වය” මීට වසර බිලියන 13.8කට පමණ පෙර, උණුසුම් හා ඝන තත්වයකින් විකාෂණය වීම ඇරඹුණ අතර, එතැන් පටන් එය ප්‍රසාරණය වෙමින් හා සිසිල් වෙමින් වත්මන දක්වා පැවත ඇවිත් ඇත. හෝකින්ගේ මුල්කාලීන කාර්යයන් විශ්වයේ ආරම්භය පිළිබඳ සංකල්පය භෞතිකවාදී පදනමක් මත විද්‍යානුකූලව පිහිටුවීමට ගත් උත්සාහය නිසා ‘මහා විදාරණ විශ්වය’ යන න්‍යාය අතිශය වැදගත් කමකින් යුක්තය.
හෝකින් අදේවවාදියෙකු විය. 2011දී ඇමරිකානු ඩිස්කවරි රූපවාහිනී නාලිකාවේ (Discovery Channel) විකාශය වූ ‘Curiosity’ නම් වැඩසටහනේදී ඔහු සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී, හෝකින් මරණින් මතු ජීවිතය පිළිබඳ සංකල්පය ගැන පැවසුවේ මෙසේය: “අඳුරට බිය වන පුද්ගලයින් සඳහා වූ සුරංගනා කතාවක්” ලෙසය. හෝකින් එම වැඩසටහනේදී තවත් වැදගත් කරුණක් ඉදිරිපත් කළේ: “අපට අවශ්‍ය දේ විශ්වාස කිරීමට සෑම කෙනෙකුටම නිදහසක් ඇත. දෙවියන් කියා කෙනෙකු නොමැති වීම, මගේ සරලම පැහැදිලි කිරීමයි. දෙවියෙක් අපේ විශ්වය නිර්මාණය කළේ නැත; කිසිවෙකු අපගේ ඉරණම මෙහෙයවන්නේද නැත. මෙය මම ඔබලාගේ අවබෝධයට යොමු කරමි. බොහෝ විට ස්වර්ගයක් හෝ මරණින් මතු ජීවිතයක් නොමැත. විශ්වයේ ඇති අතිවිශිෂ්ට ස්වාභාවික භෞතිකය සොයා යාමට අපට ඇත්තේ කෙටි ජීවිතයක් පමණි.” යනුවෙන් ඔහුගේ භෞතිකවාදී දැක්ම ඉදිරිපත් කර තුබුණි.

BY CHAMIL JAYANETTI
![]()
