වැඩ කරමින් ඉගෙන ගන්නවා – ඉගෙන ගනිමින් වැඩ කරනවා !
මාක්ස්ගේ 11 වන තීසිසය –
දාර්ශනිකයන් ලෝකය විවිධ ආකාරවලින් අර්ථකථනය කර ඇත, නමුත් වැදගත් වන්නේ එය වෙනස් කිරීමයි. *****
සමාජ සංසිද්ධීන් පිළිබඳ කතිකාවලට සහ විචාරවලට පමණක් සීමා වීම ප්‍රමාණවත් නොවේ. අප ලබාගත් න්‍යායික අවබෝධය ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයක් බවට පරිවර්තනය කරමින්, පවතින සමාජ ක්‍රමවේදයන් වෙනස් කිරීමේ අරගලයට අවතීර්ණ වීම අත්‍යවශ්‍යය.
සමාජය ගැන කතා කරමින්, විග්‍රහ කරමින්, තවත් තවත් පොත් කියවමින් සිටීමෙන් පමණක් සමාජය වෙනස් වන්නේ නැත. අපි තේරුම් ගත් දේ සමාජය තුළ භාවිතාවට ගෙන යා යුතුය. ජනතාව අතරට ගොස්, ඔවුන්ගේ සැබෑ ගැටලු සමඟ වැඩ කරමින්, ඔවුන් සංවිධානය කරමින්, ඒ භාවිතාව තුළින්ම අපගේ අවබෝධයද වර්ධනය කරගත යුතුය.
විප්ලවය ගැන ඉගෙනගෙන, සියල්ල අවසන් වූ පසු විප්ලවය කිරීමට යා හැකි යැයි සිතීම වැරදිය. විප්ලවය ඉගෙනගත යුත්තේද විප්ලවීය භාවිතාව තුළමය. අපි දන්නා දේ භාවිතාවට ගෙන යන විට එහි සීමාවන් හෙළි වේ. ජනතාව සමඟ වැඩ කරන විට අලුත් ප්‍රශ්න මතු වේ. ඒ ප්‍රශ්න හමුවේ අපගේ අවබෝධය නැවත පරීක්ෂා කරගැනීමට සිදුවේ. ඒ ආකාරයට ඉගෙනීමත් භාවිතාවත් එකිනෙකින් වෙන් කළ නොහැකි එකම ක්‍රියාවලියක් බවට පත්වේ.
ඒ නිසා ප්‍රශ්නය
ඉගෙනගෙන ඉවර වෙලා වැඩ කරන්නේ කවදාද?
යන්න නොවේ.
ප්‍රශ්නය වන්නේ
ඉගෙනීමත් භාවිතාවත් එකිනෙකින් වෙන් නොකර, අද සිටම සමාජය තුළ අපි කරන්නේ කුමක්ද? යන්නයි.
න්‍යාය භාවිතාවෙන් වෙන් වූ විට එය පොතක් තුළ සිර වූ දැනුමක් පමණි. භාවිතාව න්‍යායික අවබෝධයෙන් වෙන් වූ විට එය දිශානතියක් නැති ක්‍රියාකාරීත්වයක් බවට පත්විය හැකිය. එබැවින් න්‍යායත් භාවිතාවත් එකිනෙක පෝෂණය කරමින්, ජනතාවගේ සැබෑ අරගල තුළින් සංවිධානය ගොඩනැගීම අත්‍යවශ්‍යය.
ලෝකය අර්ථකථනය කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. එය වෙනස් කිරීමේ වැදගත්ම කාර්යය පැවරී ඇත්තේ අපටය. ඒ සඳහා ඉගෙනීමත් භාවිතාවත් එකට ගෙන, ජනතාව අතර සංවිධානය ගොඩනඟමු.
වජිර ප්‍රියශාන්ත විසිනි

