“විඥානය” නමැති වචනය මාක්ස්වාදී භාවිතයෙන් ඉවත් කරමු

ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපරය 1935දී නිල වශයෙන් ආරම්භ වූ අතර, 2026 වන විට අවුරුදු 91ක කාල පරාසයක් හිමි ව්‍යාපාරයකි. අවුරුදු 91ක කාලය ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරය විවිධ හැල හැප්පීම් මැද වත්මන දක්වා පැමිණ ඇත. එම කාලය තුළ මාක්ස්වාදී ව්‍යාපාරයේ පාවාදීම්, බිඳ වැටීම්, මතවාදී වෙන්වීම් දක්වා විශාල දෘෂ්ටිමය පසුබැසීම් වපසරියකටද ගමන් කළේය. එමගින් මාක්ස්වාදී ව්‍යාපරය පක්ෂ කීපයකට කැඩීම යාම වගේම කුඩා කණ්ඩායම්වලට කැඩී යාම දක්වා ඇමීබාකරණයකට ලක්විය. සමස්තයක් ලෙස මේ කාලය තුළ සිදු වූ ගැටුම් ‒ ගැටලු වගේම, අතිවිශාල සාධනීය පැති ප්‍රමාණයක්ද මාක්ස්වාදී ව්‍යාපාරය මගින් ලාංකීය සමාජටය ඉතිරි කර තිබේ.

මාක්ස්වාදී ව්‍යාපාරය විසින් ගොඩනැගූනු අතිවිශාල සාධනීය පැති අතරින් — විශාලතම සාධනීය පැත්ත වන්නේ මාක්ස්වාදී සාහිත්‍ය සම්ප්‍රදායක් බිහි කිරීමය. 1935ට පෙර සිටම මාක්ස්වාදී සාහිත්‍ය සම්ප්‍රදාය දේශපලය, ආර්ථිකය, දර්ශනය, විද්‍යාව සහ කලාව වැනි විෂය පරාසයක ව්‍යාප්තියක් අත් කර ගත්තේ එම කාලය තුළදීය. එය මාක්ස්වාදී ව්‍යාපාරය තුළ සිටි පරිත්‍යාගශීලී සහ ක්‍රියාකාරී සහෝදර ‒ සහෝදරියන්ගේ දායකත්වයෙන් ගොඩනැගුනු සම්ප්‍රදායකි. උදාහරණයක් ලෙස ලංකාවේ අග්‍රගණ්‍ය ගත්කරු ලෙස හඳුන්වන මාටින් වික්‍රමසිංහ (1890 –1976) ලියූ ‘බුදු සමය හා සමාජ දර්ශනය’ (1947) නමැති කෘතිය ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපරය තුළ පළ වූ පළමුවන ස්වතන්ත්‍ර දාර්ශනික කෘතිය ලෙස ඉතිහාසයට එකතු වී ඇත. එම කෘතිය තර්ක භෞතිකවාදය (dialectic materialism) {අපෝහක භෞතිකවාදය} ගැන ඔහු මාක්ස්වාදී දාර්ශනික විග්‍රහයක යෙදෙයි. එම කෘතිය ගැන, අද මටද (චමිල් ජයනෙත්තිට) ගැටලු තැන් බොහෝ තිබුණත් — ඔහු ගත් දෘෂ්ටිවාදී ප්‍රබෝදය මම ආරක්ෂා කරන්නේ — ලංකාවේ මාක්ස්වාදී දාර්ශනික දැනුමට සාහිත්‍යමය ආලෝකයක් ව්‍යාප්ත කිරීමට එම කෘතිය සමත් වූ බැවිනි. වත්මනේ මාක්ස්වාදී ව්‍යාපරය තුළ සිටින සමහරුන් එම කෘතිය විවේචනය කිරීමටද ඉඩ තිබේ. ඒ කාලයත් සමග අදහස්වල ඇති වන වෙනස් වීම නිසා, එසේ සිදුවිය හැකිය. එවැනි සාහිත්‍යක් අපට උරුම කර දීමට එදා සිට අද දක්වාම මාක්ස්වාදී ව්‍යාපරය තුළ සිටි ක්‍රියාකාරීන් ඉතිරි කර ගිය “දැනුම් පද්ධතිය” වත්මනේ ජීවත් වන මාක්ස්වාදීන්ට එය “දැනුමේ භාණ්ඩාගාරයකි.” 

ඒ වගේම අනෙක් විෂය පථයන්වලද අතිවිශාල සාහිත්‍යමය ගොඩනැන්වීමක් සිදු වූ බව, ඒ ඇසුරෙන් ලිය වුණු මාක්ස්වාදී කෘති පරිශීලිනය කරන විට හඳුනාගත හැකිය. ඒවා හැදෑරීම වගේම, ඒවායේ සමහර පැති නව්‍යකරණය කිරීම වගේම, දෝෂ සහිත තැන් නිවැරදි කරගැනීම වත්මන් කටයුත්තක් ලෙස මාක්ස්වාදී ව්‍යාපාරයට පැවරී ඇත. එම කටයුත්ත ගැන අපි මෙතැන් සිට විමසා බලමු:

ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයේ භාවිතා වූ සමහර වචනවලින් ඇති වන දෝෂ සහිත තැන් කීපයක් හඳුනාගත හැකිය. එහිදී, 1922දී වී. අයි ලෙනින් (1870-1924) විසින් ලියූ ලිපියක් ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සිටි ප්‍රධාන පරිවර්තකයින් දෙදෙනෙකු වූ දැදිගම වී. රුද්රිගු (1929-1888) සහ පියසේන මානිල්ගම විසින් එම ලිපිය කෘති දෙකකට පරිවර්තනය කර ඇත. එම කෘති දෙක වන්නේ: “1) දැදිගම වී. රුද්රිගු වීසින් පරිවර්තනය කරන ‘ලෙනින් තෝරාගත් කෘති වෙළුම දොළහ’ (1981) කෘතිය සහ පියසේන මානිල්ගම විසින් පරිවර්තනය කරන ලද ‘ලෙනින්ගේ ආගම ගැන’ (1983) කෘති දෙකයි. එහිදී ලෙනින් ‘On the Significance of Militant Materialism’ (1922) යන ලිපිය රුද්රිගු පරිවර්තනය කරන්නේ ‘සටන්කාමී දව්‍යවාදයේ වැදගත්කම’ ලෙස සහ මානිල්ගම විසින් පරිවර්තනය කරන්නේ ‘සටන්කාමී භෞතිකවාදයේ වැදගත්කම ගැන’ යන ලිපි ලෙසය. දැන් මේ පරිවර්තන දෙකම Materialism ලෙස සඳහන් වන ඉංග්‍රීසි වචනය රුද්රිගු විසින් ද්‍රව්‍යවාදය සහ මානිල්ගම විසින් භෞතිකවාදය ලෙස පරිවර්තනය කිරීම නිසා පාඨකයාට සංකල්ප දෙකක් ගම්‍ය වන්නේය. මේ ලිපි දෙකම එක් පාඨකයෙක් විසින් පරිහරණය කළ විට සංකල්ප ගැටලුවක් ඔහු තුළ නිර්මාණය වනවා නිසැකයි. ඒකට හේතු වන්නේ Materialism යන ඉංග්‍රීසි වචනය ලංකාවේදී භාවිතාවන සිංහල වචනය භෞතිකවාදය යන්නයි. එය ද්‍රව්‍යවාදය යනුවෙන් පරිවර්තනය වූ විට Substancism යන වචනය — ඉංග්‍රීසි භාෂාවේදී භාවිතා නෙවන වචනයකින් — ලංකාවේදී ද්‍රව්‍යවාදය යනුවෙන් වචනයක් නිර්මාණය වී පවතී. වත්මනේදී අපි ද්‍රව්‍යයක් හඳුනාගන්නේ පදාර්ථ ව්‍යුහයේ සිට යම් වස්තුවක් දක්වාය. අපි කාබන්ඩයොක්සයිඩ් (CO2) ලෙස හඳුන්වන කාබන් පරමාණු එකක් ඔක්සිජන් පරමාණු දෙකක් සමග එකතු වූ විට එම සම්බන්ධය අපි පදාර්ථයක් ලෙස හඳුනාගන්නෙමු. එවිට කාබන්ඩයොක්සයිඩ් පදාර්ථය (අණුව) ද්‍රව්‍යයකි. එවිට ප්‍රශ්නය මතුවන්නේ සමස්තය විග්‍රහ කරන විට Materialism වචනයෙන් භෞතිකවාදය නමැති දර්ශනය හඳුනාගැනීම කළත්, ද්‍රව්‍යවාදය වස්තු ක්‍රියාවලියක් හඳුන්වන අර්ථකථනයකට ගිය විට සංකල්ප පද්ධතිය තුළ ගැටලුවක් මතවන්නේය. විශ්වයේ භෞතිකය (material universe) හෝ විශ්වයේ ද්‍රව්‍යය (material universe) ලෙස හැඳින් වුවහොත් අර්ථකථන දෙකක් වගේම තේරුම් දෙකක් ලෙස පාඨක පරිකල්පනයට ගමන් කරන්නේ එලෙසය. එවිට පාඨක මනස ගැටළුවකට මැදි වන බව පැහැදිලියි. 

මෙලෙස වචන භාවිතාව විසින් අදහස්වල කැළඹීමක් ඇති වීම පසුගිය කාලයේ මාක්ස්වාදී ව්‍යාපාරය තුළ ප්‍රශ්නයක් වී නොතිබුණ නමුත්, වත්මන වන විට ප්‍රශ්නය මතු වී තිබේ. ඒ පරිවර්තකයන් දෙදෙනාට දෝෂාරෝපනයක් හෝ අපහසුතාවයට පත් කිරීමක් හෝ චෝදනාවක් ලෙස ඉදිරිපත් කිරීමක් හෝ නොවන බව සලකන්න. ලංකාවේ කොමියුනිට් පංක්ෂයෙන් කළ ඒ කර්තව්‍ය, අපි අගය කරන්නේ ඉමහත් සතුටිනි. මොකද අද ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයට ඉතිරි වී ඇති එම මාක්ස්වාදී සාහිත්‍යමය කෘති මගින් ඉතිරි කළ “දැනුමේ භාණ්ඩාගාරය” ගොඩනැගීමට ගත් උත්සාහයේ කොටසක් ඔවුන්ටද හිමි බැවිනි. ඒ ගත් ක්‍රියාදාමයට දෝෂ පවරනවා නොව සිදු වී ඇති වැරැද්දි ‒ නිවැරදි කරගැනීමට ගන්නා උත්සාහයකට අදහසක් ඉදිරිපත් කිරීමකි ‒ මේ ලිපිය. 

මෙවැනි තවත් අවස්ථාවක් අපට හමුවන්නේ “විඥානය” නමැති වචනය භාවිතයේදීය. විඥානය යන වචනය මාක්ස්වාදී භාවිතාව තුළින් මාක්ස්වාදී සංකල්ප ව්‍යාකූල කිරීමට සමත් වී තිබේ. ඒ “ඥානය” ට “වි” එකතු වීම නිසා “විඥානය” යන වචනය සැදුනු විට ලංකාවේදී භාවිතා වන සිංහල තේරුම “ආත්මයට විශේෂ වූ ඥානය” ලෙසය. ඒවගේම මාක්ස්වාදයට ප්‍රතිවිරුද්ධ දර්ශනවාදය හඳුන්වන විඥානවාදය යන වචනය “ආත්මයක් ඇතැයි විශේෂ වූ ආත්මවාදය” ලෙස හඳුන්වයි. විඥානය හෝ විඥානවාදය යන වචන ලංකාව තුළ පාවිච්චි වන්නේ ඓතිහාසික විඥානවාදී දාර්ශනික වචන ලෙස හෝ ඓතිහාසික පාරභෞතිකවාදී වචන ලෙසය. නමුත් විඥානය යන වචනය මාක්ස්වාදී ව්‍යාපාරය තුළ භාවිතා වන්නේ, Consciousness යන ඉංග්‍රීසි වචනය සිංහලට පරිවර්තනය කිරීම මගින් ලංකාවේදී මාක්ස්වාදී ව්‍යාපාරයේ වචනයක් බවට පත් වීම හෝතු කොට ගෙනය. ලංකාවේදී විඥානය යන වචනය මාක්ස්වාදී ව්‍යාපාරය තුළ: “පංති විඥානය, ස්වයං-විඥානය, විඥානය (මනස)” යන වචන ලෙස භාවිතා වූවා සේම — මාක්ස්වාදී ව්‍යාපාරය තුළ වර නැගීමද පසුගිය කාලය පුරාම සිදුවිය. එවිට “ආත්මයට විශේෂ වූ ඥානය” ලෙස ‘විඥානය’ යන විඥානවාදී වචනය මාක්ස්වාදී ව්‍යාපාරය තුළද භාවිතා විය. ආත්මය නමැති සංකල්පය මාක්ස්-එංගල්ස් ගොඩනැගූ මාක්ස්වාදී දර්ශනය තුළදී දැඩි ලෙස ප්‍රතික්ෂේප වූ සංකල්පයකි. ආත්මීය ඥානය ලෙස අර්ථ දක්වන “විඥානය” නමැති වචනය භාවිතාව මගින් මාක්ස්වාදී ව්‍යාපාරය සුනුවිසුනු කරන භාවිතාවක් වත්මන වන විට ලංකාව තුළ ඇති වෙමින් පවතී. ආත්මීය සංකල්පයෙන් වෙන් වුණ මාක්ස්වාදී ව්‍යාපාරය නැවත ආත්මීය නිර්වචනයකට මාක්ස්වාදී ව්‍යාපාරය ගෙන යාමට උත්සාහක් එමගින් සිදු වෙමින් පවතින නිසාය. එවිට වැරදි වචන භාවිතාව මගින් එක වචනයකට සම්පූර්ණයෙන්ම ව්‍යාපාරයක් බංකොලොත් කර දැමිය හැකිය. 

ආත්මය යනු කුමක්ද? 

ඉන්දීය වෛදික යුගයේ (ක්‍රි.පූ. 1500-1000) ‘ආත්මය’ පිළිබඳ සංකල්පය, “හින්දු ආගමේ” පැරණිතම ශුද්ධ ග්‍රන්ථ ලෙස සැලකෙන වේද ග්‍රන්ථ තුළ කර්මය යන සංකල්පය සමග ආත්මන් (Atman) {ආත්මය} යන සංකල්පය ගැඹුරින් සාකච්චාවට ලක් වෙයි. ආත්මය සනාථ කරන වේදක සංස්කෘත භාෂාවෙන් රචිත වේද ග්‍රනථ හතරක් ඇත: එනම් ඍග්වේදය, යජුර්වේදය, සාමවේදය සහ අථර්වවේදයයි. මෙම එක් එක් කෘති තුළ යථාර්ථයේ ස්වභාවය, විශ්වය සහ පුද්ගල ආත්මය පිළිබඳව විමර්ශනය කරන ස්තෝත්‍ර, මන්ත්‍ර සහ දාර්ශනික සාකච්ඡා දක්වා එම ග්‍රන්ථ තුළ අන්තර්ගතය. එම ග්‍රන්ථ තුළ විශ්වයේ සිට මෙලොව මැවූ ‘බ්‍රහ්මන්’  (Brahman) ප්‍රධාන දේව පුත්‍රයා ලෙසද සඳහන්ය. මෙලොව ව්‍යසන මෙහෙය වන දේව පුත්‍රයා වන ශිව ගැනද සඳහන්ය. මෙලොව බේරගන්න දේව පුත්‍රයා වන විෂ්ණුගේ ක්‍රියාවෙනි යනුවෙන්ද සඳහන්ය. එම දෙවිවරුන් තිදෙනාගේ මෙලොව සමග සම්බන්ධ වන්නේ ආත්මයේ අද්වෛත (එකම) ස්වභාවයකිනි යන අදහස එම ග්‍රන්ථ තුළ පැහැදිලිව සඳහන් වෙයි. මෙම වෙනස මගින් චාරිත්‍ර-වාරිත්‍ර මත පදනම් වූ අනන්‍යතාවක සිට සැබෑ ආත්මය (ආත්මන්) අවබෝධ කර ගැනීම විමුක්තිය (මෝක්ෂය) සඳහා ආධ්‍යාමික ජීවිතයට නැඹුරු වීම ප්‍රධාන සාධකය ලෙසද වේද ග්‍රන්ථ තුළ හඳුන්වා දී ඇත. මේ අනුව, ආත්මය පිළිබඳ වේද යුගයේ අවබෝධය පෞද්ගලික මෙන්ම ලෞකික සීමාවන් ඉක්මවා යන (අතික්‍රමනික) ස්වභාවයකින්ද යුක්ත පුරාණ ඉන්දියානු සමාජය තුළ ඇති කරගත් සංකල්ප එකල සිට වත්මන දක්වා නියෝජන වෙමින් පවතී. චාරිත්‍ර වාරිත්‍ර, විශ්වීය ක්‍රමවත්භාවය (cosmic order), පුනරුත්පත්තියේ විමුක්තිය (liberation from Rebirth) ආත්මය මගින් සිදු වන පරිවර්තන කරුණු ගැනද වේද ග්‍රන්ථ මගින් අවධාරණය කෙරේ. ශරීරය, මනස සහ හැඟීම්වලට බ්‍රහමන්ගේ සදාතනික සහ වෙනස් නොවන සම්බන්ධය ආත්මය (හෝ ‘ආත්මන්’) ලෙස මානවයාට ලැබෙන  බව එම ග්‍රන්ථ තුළ විග්‍රහ වෙයි. එවිට දෙවියන් සමග ආත්මීය සම්බන්ධය සංකල්පයක් ලෙස වෛදික යුගයේ සිට ඉන්දියාවේදීද ක්‍රියාත්මක විය.

ඉන්දීය වෛදික යුගයෙන් පසුව, ඉන්දියානු යුග පෙරළියේ ඊළඟ යුගය වන උපනිෂද් යුගයේදී (ක්‍රි.පූ. 1000-400) ප්‍රධාන ග්‍රන්ථ වන උපනිෂද් ග්‍රන්ථ තුළ ‘අනාත්ම’ (ආත්මයක් නැත) යන දාර්ශනික සංකල්පය ආරම්භ කළේ බ්‍රිහස්පති (ක්‍රි.පූ 1000-900) දාර්ශනිකයා විසින් බව සඳහන්ය. ඔහුගෙන් ආරම්භ වුණ අදේවවාදී (දෙවියෙක් නැත) දර්ශනය ඉන්දියාවේ උපනිෂද් යුගය පුරාම නියෝජනය වුණි. ඔහුගෙන් පසු කපිල (ක්‍රි.පූ. 700-600) දාර්ශනිකයා විසින් අනිත්‍ය (නිත්‍ය නැති) ‒ කර්මය (චලිතය) ‒ අනාත්ම (ආත්මයක් නැති) “පදාර්ථ විශ්වයක” පැවැත්ම පිළිබඳ දර්ශනයක් ගොඩනගන ලදී. ඉන් අනතුරුව කණාඩ (ක්‍රි.පූ 600-) දාර්ශනිකයා ද්‍රව්‍ය ‒ ගුණ ‒ කර්මය (ක්‍රියාව/චලිතය) ‒ අනාත්ම (ආත්මයක් නැති) යන ප්‍රස්තූත මගින් “ස්වාභාවික පරමාණු විශ්වය” පිළිබඳව දාර්ශනික විග්‍රහයක් ඉදිරිපත් කරන ලදී. නමුත් උපනිෂද් යුගයේ බිහි වූ ආගමික සම්ප්‍රදායන් (ජෛන ආගම, ආජීවික ආගම) තුළද අදේවවාදී සහ අනාත්ම සංකල්ප ගැන ඔවුන්ගේ දාර්ශනික විග්‍රහවල පැහැදිලිව සඳහන් වෙයි. නමුත් බෞද්ධ දර්ශනයක් බිහි කළ සිදුහත් ගෞතම (ක්‍රි.පූ. 563-483) විසින් — පසුව ආගමක් බවට පත් වූ බුදුදහම තුළද — අනිත්‍ය (නිත්‍ය නැති) ‒ දුක්‍ඛය (රූප, වේදනා, සංඥා, සංඛාරා හා විඥාන) ‒ අනාත්ම (ආත්මයක් නැති) යන සංකල්ප දාර්ශනිකව පැහැදිලි කර තිබුණත්, පුණරුප්පත්තිය සමග පුද්ගල ආත්මය පිළිගන්නා බව සිදුහත් ගෞතමගේ අභිධර්ම පිටකය නමැති ග්‍රන්ථයේ සඳහන්ය. ඇතැමුන් එය පුණර්භවය ලෙසද හඳුනාවනු ලැබේ. ආත්මය යම් පුද්ගලයෙකුගේ මරණයේදී විනාශ නොවී මෙලොවින් පරලොවට ගියත් ‒ ආත්මය මොලොව තුළ විඥානය ලෙස සැරිසරණ බව බුද්ධාගමේ නිර්වචනය කරයි. එවිට ආත්මය පුණරුප්පත්තියට සම්බන්ධ චවන සම්ප්‍රදායකි. ආත්මීය ඥානය ලෙස විඥානය යන වචනය ලංකාව තුළ භාවිතා වූයේ බෞද්ධ ආගමික වචනයක් ලෙසය. එම වචනය ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපරයටද පැමිණ ඇත.

මේ ආත්මය සම්බන්ධයෙන් තව පැත්තක් තිබේ, ඒ ග්‍රීක දාර්ශනික සම්ප්‍රදාය තුළය. ආත්මය (soul) සංකල්පය ග්‍රීක දාර්ශනික සාකච්ඡාවට පැමිණෙන්නේ පයිතගරස්ගේ (ක්‍රි.පූ. 570-495) ආත්ම ක්‍රේන්ද්‍රවාදය නමැති දර්ශනය හරහාය. පයිතගරස්ගේ ආත්මීය සංකල්පය උපයෝගී කරගෙන ග්‍රීසියේ විඥානවාදී දර්ශනයක් බිහිකළ සොක්‍රටීස් (ක්‍රි.පූ. 470-399) විසින් තමා දෙවියන්ගේ පුත්‍රයෙක් බවත් දෙවියන් තමන් සමග ආත්මීය ලෙස සම්බන්ධ වන බවත් ප්‍රකාශ කළේය. ඉන් පසුව සොක්‍රටීස්ගේ ගෝල දාර්ශනිකායා වූ ප්ලේටෝ (ක්‍රි.පූ. 428-347) විසින් ආත්මය අමරණීය සහ දිව්‍යමය සාරයක් ලෙස අර්ථ දැක්වීම විඥානවාදී දාර්ශනික කථිකාවේ තීරණාත්මක අවස්ථාවක් බවට පත්විය; මන්ද, ආත්මය උපතට පෙර සිටම පැවති බවත් මරණයෙන් පසු පරිපූර්ණ ආකෘතිවල ලෝකය (world of perfect forms) වෙත නැවත යාමට උත්සාහ කරන බවත් ඔහු තර්ක කළේය. අනෙක් අතට, ඇරිස්ටෝටල් (ක්‍රි.පූ. 384-322) ආත්මය ශරීරයෙන් වෙන් කළ නොහැකි දෙයක් ලෙස සැලකූ අතර, එය වෘක්ෂලතාමය (vegetative), සංවේදී (sensitive) සහ තාර්කික (rational) යනුවෙන් වර්ග තුනකට බෙදා දැක්වූයේ දෙවියන් වහන්සේගේ ආත්මයෙන් පරමාණුවේ චලිතය මෙහෙවන බව ඉදිරිපත් කළ පාරභෞතිකවාදය නමැති දාර්ශනවාදය බිහි කරමිණ්ය. මෙම මුල්කාලීන ආත්මීය විශ්වාසයන් පසුකාලීන බටහිර දාර්ශනික සාකච්ඡා සඳහා පදනම වැටුනි. එහිදී ඓතිහාසික විඥානවාදී දාර්ශනික සම්ප්‍රදාය නියෝජනය කරමින් ජෝජ් හේගල් දක්වා ආත්මීය සංකල්පය පැමිණියේ “දෙවියන් වහන්සේ → ආත්මය → මනස → විඥානය” යන ආත්මීය ඥානය මානවයා සමග සම්බන්ධයක් පවතින බවට විග්‍රහ කිරීමෙනි. ඒවගේම රෙනේ ඩෙකාට්ස්ගේ (1596-1650) නව පාරභෞතිකවාදී දාර්ශනික සම්ප්‍රදායද “දෙවියන් වහන්සේ → ආත්මය → පරමාණු → සොබාදහම”  යන පරමාණුවේ චලිතය මෙහෙය වන්නේ දෙවියන් වහන්සේගේ ආත්ම විසිනි — යනුවෙන් ඉදිරිපත් කරමිණ් පාරභෞතිකවාදී ආත්මීය සම්ප්‍රදාය ඉදිරියට ගෙන ගියේය. එම ඓතිහාසික දාර්ශනික චින්තන දෙක විසින් පුරාණයේ සිට පැවති සමාජයන්වල අධිපති මතවාදය වූ ආත්මවාදී වහල් හිමියන්ගේ සම්ප්‍රදාය, ආත්මවාදී වැඩවසම් හිමියන්ගේ සම්ප්‍රදාය සහ ආත්මවාදී ධනේශ්වර පාලක සම්ප්‍රදාය හරහා ඓතිහාසික විඥානවාදී සහ ඓතිහාසික පාරභෞතිකවාදී සම්ප්‍රදාය යොදා ගනු ලැබීය.

ජේසුස් වහන්සේ (ක්‍රි.පූ. 6වන වර්ෂය-ක්‍රි.ව. 33) පැහැදිලි කළ ආකාරය අනුව ආත්මය ගැන බයිබලයේ සඳහන් වන්නේ: “දෙවියන් වහන්සේ ආත්මය පිළිබඳ අවබෝධය පවතින ස්ථානය ලෙසත්, උන්වහන්සේ සමග අධ්‍යාත්මික සම්බන්ධතාවක් සහ හවුල්කාරීත්වයක් අත්විඳින තැන ලෙසත්, පුද්ගලයෙකුගේ මරණයෙන් පසුවත් නොනැසී පවතින කොටස ආත්මය බැවින්, ගැලවීම සහ සදාකාල ජීවනය සඳහා ආත්මයේ ඉරණම තීරණාත්මක වේ” යනුවෙන් සඳහන්ය. මුහම්මද් නබිතුමාණන් (ක්‍රි.ව. 570-632) ‘සූරා අල්-ඉස්රා’  කෘතියෙහි ආත්මය ගැන මෙසේ සඳහන් වෙයි: “ආත්මය යනු මාගේ පරමාධිපතිගේ කාරණයකි. තවද ඔබට {එනම් මනුෂ්‍ය වර්ගයාට} ලබා දී ඇත්තේ ඉතා ස්වල්ප ආත්ම ඥානයක් පමණි.” මෙයින් පැහැදිලි වන්නේ ආත්මයේ ස්වභාවය සහ අරමුණ පිළිබඳව මිනිසා සතු දැනුම සීමිත බවත්, ඒ පිළිබඳව පූර්ණ අවබෝධය ඇත්තේ අල්ලාහ් දෙවියන්ට පමණක් බවත්ය. මේ ආත්මය ගැන ආගමික සම්ප්‍රදාය තුළ ඇතුළත් වූ විග්‍රහයන් කීපයකි ‒ ඒ.

මේ පැමිණි ඓතිහාසික විඥානවාදී ආගමික සම්ප්‍රදාය, ඓතිහාසික විඥානවාදී දාර්ශනික සම්ප්‍රදාය සහ ඓතිහාසික පාරභෞතිකවාදී දාර්ශනික සම්ප්‍රදායෙන් කාල් මාක්ස් සහ ප්‍රෙඩ්රික් එංගල්ස් වෙන් වී ඓතිහාසික භෞතිකවාදී දාර්ශනික සම්ප්‍රදාය පෙළ ගැස්සුවේ මේ පැවති සම්ප්‍රදායන් මගින් පීඩනයට පත් කර ඇති කම්කරු පංතිය සහ අවශේෂ පීඩිත පංතීන් නිදහස් කර ගැනීමටය. (මම ලියූ ‘මාස්ගේ අපෝහක භෞතිකවාදය’ ලිපිය බලන්න ‒ මේ ලිපියට පහළින් ඇත). මාක්ස්-එංගල්ස් විසින් මාක්ස්වාදී දර්ශනය තුළ දේවවාදයක් හෝ ආත්මවාදයක් නොමැති බව (අදේවවාදය) ස්ථාපිත කිරීමට ගත් වෙහෙස අතිවිශාල වැදගත් කමකින් යුක්තය. ඒවගේම ඔවුන් ආත්මවාදය, විඥානවාදය සහ පාර්භෞතිකවාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර භෞතිකවාදය නමැති දර්ශනය ලොවට හඳුන්වා දුන්නේය. එම භෞතිකවාදී අර්ථකථනයට අනුව “විශ්වය → පදාර්ථ → සොබාදහම → ජීවය” යන නිර්වචනය මගින් “ස්වාභාවික පරමාණු විශ්වයේ” පැවැත්ම ඉදිරිපත් කළේ ඓතිහාසික භෞතිකවාදී නිර්වචනවලට අනුවය.

මෙහිදී බැලිය යතු පැති කීපයක් තිබේ. හේගල්ගේ අපෝහක විඥානවාදී දර්ශනයේ මූලික ප්‍රස්තූතය: “දෙවියන් වහන්සේ → ආත්මය → මනස → විඥානය” කියන්නේ දෙවියන් වහන්සේ ආත්මයෙන් මානව මනස තුළ ඥානය මැවූ බවයි. එවිට මානව මනස තුළ ඇත්තේ ආත්මීය ඥානය නම් එය දේවත්වය පිළිගන්නා ඥානයකි. 

මානව චින්තනය වර්ධනය වීමේදී භෞතික අත්දැකීම් හරහා මානව දැනුම වර්ධනය කරගැනීම පරිණාමයේදී සිදු වූ බව මාක්ස්-එංගල්ස් කෘති විශාල ප්‍රමාණයක ලියා තබා ඇත. එවිට විඥානය යනු ආත්මය සම්බන්ධ වූ ඥානය යන අතරුතෙන් මාක්ස්වාදී ව්‍යාපාරය තුළ විකෘති වචන භාවිතාවක් ලංකාවේදී නිර්මාණය වූයේ බුද්ධාගම හරහා පැමිණි වචන මාක්ස්වාදී ව්‍යාපාරයද යොදාගැනීම නිසාය. එම විඥානවාදී දාර්ශනික දෘෂ්ටිය “පංති විඥානය” ලෙස පවසන්නේ නම් දෙවියන් වහන්සේගේ ආත්මය ‒ මනස හරහා පීඩිත පංතියටද සම්බන්ධ බව හෝ — පුද්ගල ආත්මය පුණරුප්පතිතිය හරහා පීඩිත පංතිය සම්බන්ධ බව හෝ — එවිට අර්ථ ගැන් වෙයි. එවිට කම්කරු පංතිය හෝ පිඩිත පංතිය දෙවියන්ගේ ආශිර්වාදයෙන් හෝ පුණරුප්පත්තයෙන් පීඩිතයන් බවට පත් වී ඇති බව පැහැදිලි ලෙසම ගම්‍ය වන සත්‍යයක් බවට පත් වන්නේය. කම්කරු පංතිය හෝ පීඩිත පංතිය පිඩනයට පත් වී ඇත්තේ සමාජ ව්‍යුහයන්වල පැවති ආර්ථික හා දේශපාලන සමාජ ව්‍යුහය නිසාය. ධනේශ්වර සමාජයේදීද කම්කරු පීඩිත ජනතාව පීඩනයට පත් වී ඇතිතේ පවතින ධනේශ්වර ආර්ථික හා දේශපාලන ව්‍යුහය නිසාය. ධනේශ්වර ආර්ථික විසින් වැඩකරන ජනතාව පීඩිතයන් කර එයට විඥානය නමැති වචනයෙන් අර්ථ ගැන් වුණ විට වැඩකරන ජනතාව දෙවියන්ගේ ආත්මය නිසා පීඩනයට පත් වී ඇති බව මාක්ස්වාදීන් පිළිනෙගත්තත්, විඥානය නමැති වචන පැරණි මාක්ස්වාදී භාවිතය හරහා වත්මන දක්වා පැමිණ ඇත. මෙය ලංකාවේදී මාක්ස්වාදී ව්‍යාපරය විකෘති වචන අණ්ඩර දෙමළ ලෙස භාවිතාවට දැමූ නිසා ඇති වූ වින්නැහියක් වත්මනට උරුම වී තිබේ. 

ධනපති පංතිය ආත්මය තම පංතියට සම්බන්ධ බව ඔවුන් විසින්ම පිළිගනිති. ඔවුන්ට “පංති විඥානය” යනු දෙවියන්ගෙන් හෝ පුණරුප්පතියෙන් ලැබෙන වරප්‍රසාදයක් ලෙස ඔවුන් විසින්ම සලකනු ලැබේ. නමුත් භෞතිකවාදී දාර්ශනික දෘෂ්ටිය වන මාක්ස්වාදය — ආත්මීය සම්බන්ධයක් හෝ ආගමික ආත්මවාදයක් හෝ ආත්මීය විඥානවාදයට කිසිඳු සම්බන්ධයක් නොමැත. භෞතිකවාදී දාර්ශනික දෘෂ්ටිය මාක්ස්-ඒංගලස්-ලෙනින් විසින් සංවර්ධනය කර සකස් කළේ කම්කරු පංතියේ විප්ලවකාරී සාමූහික අරගලය සඳහාය. කම්කරු පංතියේ හෝ වැඩකරන පංතියේ හෝ පීඩිත පංතියේ විප්ලවකාරී භාවිතාව සඳහා ලංකාවේදී භාවිතා වන “විඥානය” යන වචනය මාක්ස්වාදී භාවිතාවෙන් ඉවත් කර, ලංකාවේ මාක්ස්වාදී පංති භාවිතාව නිවැරදි කිරීමට වත්මනේ අපට (මාක්ස්වාදීන්ට) පැවරී ඇත. ඒ සඳහා පහත නිදර්දේශ විමසා බලන ලෙසද මම සියලු දෙනාගෙන්ම ඉල්ලමි.

Class consciousness = පංති දැනුවත්භාවය

Knowledge ‒ ඥානය හෝ දැනුම, හෝ යමක් පිළිබඳ අවබෝදය හෝ නුවන (මලලසේකර ඉංග‍්‍රීසි-සිංහල ශබ්දකෝෂය).

Conscious ‒ සවිඥානක; තමා පිළිබඳවත් වටපිටාව පිළිබඳවත් මනා අවබෝධයෙන් යතු; සචේතනික; සිහිකල්පනාවෙන් යුතු (මලලසේකර ඉංග‍්‍රීසි-සිංහල ශබ්දකෝෂය).

Consciousness ‒ විඥානය; සිහි ඇති බව; දැනීම; සංජානනය; සම්ප‍්‍රජානනය (මලලසේකර ඉංග‍්‍රීසි-සිංහල ශබ්දකෝෂය).

ඉහත සඳහන් කළේ ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂ තුළ වචන අර්ථ ගැන්වීම්ය. මේ ශබ්දකෝෂ අර්ථ ගැන්වීමෙන් විඥනය යන වචනය පරිවර්තනයේදී සිදු වූ විකෘතිය නිවැරදි කර ගත යුත්තේ පහත පරිදිය.

”විඥනය” වචනය සිංහල අර්ථ ගැන්වීම

විඥානය = ආත්මයට විශේෂ වූ ඥානය (සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය).

විඥානය යනු ආත්මයට සම්බන්ධ ඥානයකි (එවිට ඥානයට ”වි” එකතු වූ විට ආත්මයට විශේෂ වූ ඥානය ලෙස අර්ත දක්වයි).

විඥානවාදය = ආත්මයක් ඇතැයි යන විශේෂ වූ ආත්මවාදය (සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය).

Class consciousness ‒ ගැන මාක්ස්වාදී විග්‍රහය ‒ සමාජ පංති පද්ධතියක කෙනෙකුගේ ස්ථානය පිළිබඳ දැනුවත්භාවය, විශේෂයෙන් (මාක්ස්වාදී යෙදුම්වලින්) කම්කරු පංති අරගලයට අදාළවය.

දැනුවත්භාවය ‒ යනු දැනුම, චින්තනය හෝ අවබෝධයක් දැනවීම ලෙස භාවිතා වේ. සිංහල තේරුම මෙය ප‍්‍රධාන වශයෙන් සාමූහික ‘අවබෝධය‘ හෝ ‘සංකල්ප ගත කිරීම‘ යන අර්ථයන් සමග සම්බන්ධ වේ. (සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය)

එවිට පංති දැනුවත්භාවය වැනි යෙදුමකින් දැනුවත්භාවය හෝ දැනුවත්කම පිළිබඳ පංති සාමූහිකත්වය ගැන විමසූ විට මාක්ස්වාදී දාර්ශනික විග‍්‍රහයට අනුව දැනුවත්භාවය සංකල්පීය වශයෙන් නිවැරදිව ස්ථානගත වෙන වචනයයි.

Class consciousness ‒ “පංති දැනුවත්භාවය” මාක්ස්වාදී දාර්ශනික අර්ථකථනය ලෙස අපි භාරගනිමු.

ඒ නිසා “පංති විඥානය” යන වචනය සම්පූර්ණයෙන්ම භෞතිකවාදී ‒ මාක්ස්වාදී භාවිතාවෙන් ඉවත් කර දමමු. “පංති දැනුවත්භාවය” යන වචනය මාක්ස්වාදී ව්‍යාපාරයේ වචනය ලෙස භාවිතාවට ගැනීමෙන් පැවති විකෘතිය නිවැරදි භාවිතාවකට හැර වීමට අවශ්‍ය පදනම ලෙස යොදාගනිමු — යන්වෙන් මම ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයට යෝජනා කරන්නෙමි. ලංකාවේ විවිධ මාක්ස්වාදී සම්ප්‍රදායන් වත්මනේදී ලංකාවේ පැවතුණත්, අපි පොදුවේ මේ වෙනස ඇති කර ගනිමු යැයි, මම සහෝදරත්වයෙන් සියලු මාක්ස්වාදී පක්ෂ සහ කණ්ඩායම්වලටද යෝජනා කරමි.

ඒවගේම යම් පුද්ගලයෙක් “පංති විඥානය” පවතින බව ඉදිරි කාලයේදී අදහස් දක්වනවා නම්, ඔවුන්ව මෙතැන් සිට විඥානවාදී දාර්ශනික ධාරාව නියෝජනය කරන කෙනෙකු ලෙස හඳුනාගත යුතු යැයිද මම යොජනා කරමි. එවිට ඔවුන් කරමින් සිටින්නේ ධනපති පංති අවශ්‍යතාවය හෝ විඥානවාදී දාර්ශනික අවශ්‍යතාවය හෝ පාරභෞතිකවාදී අවශ්‍යතාවය බව පැහැදිලි වෙයි. ඒවගේම පැරණි කෘති තුළ ඇති “විඥානය” යන වචන — එම කෘති පරිහරණයේදී හමුවන්නේ නම් — “දැනුවත්භාවය” ලෙස එම වචන සකස් කර ගන්නා ලෙස පාඨකයාගෙන් සහෝදරත්වයෙන් ඉල්ලන අතර — ඉදිරියේ ලියවෙන මාක්ස්වාදී කෘති හෝ ප්‍රකාශන හෝ ලියවිලි සඳහා “විඥානය” වචනය වෙනුවට “පංති දැනුවත්භාවය” හෝ “ස්වයං-දැනුවත්භාවය”  යන වචනය යොදාගන්නේ නම් මාක්ස්වාදී භාවිතාව නිවැරදි කරගත හැකිය. වත්මනේදී මාක්ස්වාදී සාහිත්‍ය පෝෂණය කරන සහෘද ලේඛයන්ට ආරාධනා කරන්නේ නිවැරදි මාක්ස්වාදී භාවිතාව ව්‍යාප්ත කිරීමට එකතු වන ලෙසය. අපි මාක්ස්වාදී ව්‍යාපාරය නිවැරදි මාවතට ගෙන ශක්තිමත් ව්‍යාපාරයක් ලංකාව තුළ නැවත ගොඩනගමු. 

චමිල් ජයනෙත්ති

Loading